කපුගේ මට මුණ ගැසෙන්නේ මම ගුවන් විදුලියට සේවයට ගියාට පස්සේ. ඒ රජරට සේවයේ දී. මා එවිට සේවය කලේ මහඉලුප්පල්ලම පිහිටි මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවයේ. නිතරමට වැඩසටහන් ප්‍රචාරය සදහා රජරට සේවයට යනවා. ඒ වෙනකොට එළියේ සමාජයේ දි ඔහු මගේ වීරයෙක්. ඔහු රජරට සේවයේ වැඩ කරන කාලේ බිහිකල ගීත වලට අපි හරිම ආදරේ කලා. ඒ වගේම 1988/89 යුගයේ තරුණ ඝාතනයන්ට හා ලෙයින් යකඩින් කළ මර්ධනයන්ට විරුද්ධව ඔහු ගේ භාවිතාව අපි අගය කලා. මට මතක හැටියට මගේ ගී රචනා හතරකට හෝ පහකට ඔහු තනු නිර්මාණය කරලා ඇති. සෙනෙවිරත්න වන්නිනායක කියන රජරට ගායකයාට මා ලියූ "ලෙන්ගතුකම පිරුණ හිතක" ගීතයට තනුව නිර්මාණය කර සෙනෙවිට දෙන ගමන් ඔහු අපූරු කතාවක් කියා තිබුණා. ඒ මේ තනුව මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න එපා. මේ පදරචනයේ තියෙන හැගීමට එහෙම වුනොත් හානි වෙනවා කියලා. කපුගේ තනු නිර්මාණය කලේ පද රචනාවේ යටි පෙළ හොදින් තේරුම් අරගෙන.
ඔහු "කම්පන" ප්‍රසංගය ආරම්භ කලාට පස්සේ මුල්ම ප්රංසංග වලින් එකක් මම නැරඹුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී. ඒ ප්‍රසංගය නරඹලා මම සුනිල් මාධව කර්තෘ පදවිය දැරූ "ලක්මිණ" පුවත් පතට දිර්ඝ ලිපියක් ලීවා "කපුගේ හා කම්පන අතර විසංවාදය" කියලා. මෙය සති ගාණනක් පුරා සංවාදයක් ලෙස ඇදී ගියා. මම එහිදී උත්සාහ කලා ඒ ප්‍රසංගයේ ඇති අඩුපාඩු පෙන්වා දෙන්න. ප්‍රසංගයේ විසිරුණ අරමුණ දිශාගත කරන්නැයි ඉල්ලා සිටියා.
ඊට පස්සේ මම "කම්පන " ප්‍රසංගය බලන්නේ දෙහිඅත්තකණ්ඩිය මධ්‍ය මහා විද්‍යාලයේ ශාලාවේදී. ප්‍රසංගය පටන් ගන්නට ප්‍රථම වතුර ටැංකියක කෙටි බැම්මක් උඩට වෙලා හිටිය කපුගේ මට අඩගහලා කිව්වා "ශාන්ත, (මොන හේතුවක් නිසාද මං දන්නේ නෑ ඔහු මට ඇමතුවේ ශාන්ත කියලා.) ඔන්න අද ප්‍රසංගය බලපං අර කිව්ව අඩුපාඩු හැදිලද කියලා." ඇත්තටම ඒ ප්‍රසංගය හුගක් අප දුටු අඩුපාඩු වලින් තොර වුණා. එදා රාත්‍රියේ ඔහු අප සමග ප්‍රශ්ණයක් ඇති කරගත්තත් අපි සියල්ල පසුව අමතක කලා. පසෙකට වී විස්සෝපයෙන් ඉන්නා විට සාමාන්‍යයෙන් මධුවිතෙන් ඔද වැඩුනාම කපුගේ අයියා එහෙම තමයි කියලා මගේ කණට කොදුරලා කිව්වේ දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර
අවසාන වශයෙන් ඔහු මට හමු වන්නේ ගන්නෝරුව කෘෂි පර්යේෂණ භූමියේ පැවති නිදහස් ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශනයේ දී ප්‍රසංගයකට පැමිණි විට. වාහනයෙන් බැස්ස ගමන් ඔහු මට කිව්ව දේ ඇත්තක් වුනාද කියලා අදත් මම දන්නේ නෑ. "ශාන්ත, ඔන්න අපි බීම නැවැත්තුවා." කියලා. නමුත් එය එසේ වි තිබුණේ නැහැ.
Poetry on Desk එකමුතුවේ අප එකතුවි 2016 ඔක්තෝබර් 09 දා සවස් භාගයේ කපුගේ නම් වූ ගායකයා පිළිබද නැවත කියවිමක් සිදුකළා ජයතිලක බණ්ඩාර සහෝදරයාගේ මැදිගත් විම සහිතව කොළඹ ඔටර්ස් කලබ් එකේදී. එදා අපි කපුගේ පිළිබදව ඇති විවේචනාත්මක දේ පවා කතා කලා. එම හමුවට සහභාගිවු රවි සිරිවර්ධන, නදීක ගුරුගේ හා උපුල් ශාන්ත සන්නස්ගල එකතු කළ අදහස් කතාබහ වඩාත් හරවත් කළා. අපි කපුගේව වටහාගත යුත්තේ ඒ ආකාරයෙන් බවයි අවසානයේ සහභාගි වු සැම දෙනාගේම මතය වුණේ.
කොහොම වුනත් කපුගේ කියන්නේ ලාංකික ගීත ක්ෂේත්රයේ වෙනස් අත්දැකීමක් රසික සමාජයට කාන්දු කල කෙනෙක්. ඔහු නැතත් කපුගේ ගේ ගීත හා ඔහුගේ තනු තවත් කාලයක් රසිකයන් අතර පවතීවී. ඒ තේරුමෙන් ඔහු යමක් මේ මහපොළොවට ඉතිරි කර ගිය මිනිහෙක්.
කපිල එම්. ගමගේ/ සිතුවම : අනුර ශ්‍රීනාත්