අප මිතුරු බුලිත ප්‍රදීප් කුමාර මගේ පරණ දුරකථන අංකයකට ශෝකජනක පුවතක් එවා තිබිණි. ඒ අපේ පරණ මිතුරකු ගැනය. පූජ්‍ය කටුවන පියනන්ද හිමියෝ අපවත් වූහ යන්න ඒ පුවත විය. 1990 වර්ෂයේදී පමණ තරුණ සිත්තර භික්ෂුවක ලෙස පියනන්ද හිමියන් මට මුණ ගැසුණේ නිදහස් පත්තරකාරයකු ලෙස පුවත්පත් අර්ධකාලීන සේවයේ යෙදී සිටින විටය. එවිට උන්වහන්සේ චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක්ද පවත්වා තිබිණි. මෙම සිත්තර භික්ෂුව ගැන ලිපියක් ලියා පළ කිරීමට මම උන්වහන්සේ මුණ ගැසුණෙමි.
එකල වාර්ෂිකවම පාහේ උන්වහන්සේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත් වූ සේක. බුලිත ප්‍රදීප් කුමාර, ප්‍රභාත් ජයසිංහ, රාජිත දිසානායක, කරුණාරත්න පරණවිතාන, ලාල් රණසිංහ බණ්ඩාර, ලියනගේ අමරකීර්ති යනාදී එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වූ පිරිසක් උන්වහන්සේගේ ප්‍රදර්ශනවලට විවිධාකාරයෙන් උදව් කළහ. ඇතැම් ප්‍රදර්ශන සහ චිත්රවලට නම් පවා යෙදුවේ මේ අයගෙන් ඇතමෙකි. අද දක්ෂ ලේඛකයකු සහ මහාචාර්යවරයකු වන ප්‍රභාත් ජයසිංහ ඉතා සිත්ගන්නා නම් උන්වහන්සේගේ චිත්රවලට ලබා දුන්නේය.
භික්ෂූන් වහන්සේ කෙනකුද වූ නිසා තරුණ ගිහි කලාකාරයකුට වඩා පහසුවෙන් විවිධ සම්බන්ධතා ගොඩනගා ගැනීමට උන්වහන්සේට හැකි විය. අනූව දශකයේ මැද පමණ වන විට උන්වහන්සේ නොදන්නා කෙනකු නැති තරම්ය. විවිධ ප්‍රවීණ කලාකාරයෝ කොළඹ ධනවත් පන්සල්වල හිමිවරු අපේ කටුවන පියනන්ද හිමියන්ට ආධාර කළහ. 1994 පත් වූ ආණ්ඩුවෙන්ද උන්වහන්සේට සැලකිය යුතු උපකාර ලැබිණි. එංගලන්තයේ සහ යුරෝපයේ චිත්‍ර ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට සියලු ගමන් වියදම් එකල රජයෙන් (ගුවන් සේවා අමාත්‍යංශයෙන්) දැරුවේය. ඉංග්‍රීසි වචනයක් වත් නොදත් අපේ හාමුදුරුවන් යුරෝපයේ රටවල් ගණනාවක ප්‍රදර්ශන පවත්වා පැමිණීමේ වීර චාරිකාව එකල අපට ද ආස්වාදයක් විය. අපි පාටියක්ද දමා ඒ වීර චාරිකාව සැමරීමු.
මාතර කටුවන ගොස් උන්වහන්සේගේ දෙමාපියන්ද මුණගැසී තිබුණු මට සාමාන්‍ය ගොවි පවුලකින් පැමිණ කොළඹ කලා-දේශපාලන ලෝකය තුළ බලවත් සම්බන්ධතා ගොඩනඟාගෙන සිටි උන්වහන්සේ ගැන එක්තරා පුදුමකුත් තිබිණි.
උන්වහන්සේ වැඩවාසය කළේ උඩහමුල්ලේ ඩිපෝව අසල විහාරයකය. එහි වැඩවාසය කළ මඩුවන්වෙල සුගතනන්ද හිමියෝ දයාබර වැඩිමහල් සහෝදරයකු ලෙසින් පියනන්ද හිමියන් රැකබලා ගත්හ. අනූව දශකය අග පමණ සිට දීර්ඝ කාලයක් විදේශගතව සිටි මට පියනන්ද හිමියන් නිතර මුණගැසුණේ නැත. විටින් විට ලංකාවට ආ විට උන්වහන්සේ බැහැදැකීමට ගිය ද ටිකෙන් ටික උන්වහන්සේ කලා ලෝකයෙන් ඉවතට ඇද වැටෙන සැටි මට ආරංචි විය.
චීවරය සහ සම්බන්ධතාවලින් පමණක් කලාවෙහි පූර්ණ ප්‍රවීණත්වය ඇති කර ගැනීමටත්, කලාකරුවකු ලෙස කල් පවතින්නටත් නොහැකි අවස්ථාව පැමිණ තිබිණි. එය උන්වහන්සේ ද දැන සිටියේය. එහෙත් ආපසු හැරෙන්නටද නොහැකිය. භික්ෂු ජීවිතයට අවශ්‍ය අධ්‍යාපනය සහ පුහුණුව අතින්ද උන්වහන්සේ ප්‍රවීණයෙක් නොවූයේය. ඒවා කැපකෙරුණේ කලාව වෙනුවෙනි. වෙහෙස මහන්සි වී අධ්‍යයනය කිරීම, කියවීම ආදියට එතරම් කැපවීමක් නොතිබුණු උන්වහන්සේට එවැනි දෙයෙහි යෙදෙන්නට ඉඩ නොදෙමින් රෝගී තත්ත්වයක් ඇති විය. අධිෂ්ඨානශීලී නිර්ධන තරුණයකුගේ කලාත්මක අභිලාෂ මාර්ගයට බාධා කරමින් දෛවය සිට ගත්තේය.
පූජ්‍ය කටුවන පියනන්ද හිමියෝ චීවරයද දරාගෙන චිත්‍ර කලාමය විශිෂ්ටත්වය සොයා යන්නට තැත් කළ අහිංසක හදවතක් ඇති, මුදු බසැති තරුණ භික්ෂුවක වූහ. ආරම්භක ප්‍රතිභා ශක්තිය ඇති තරුණ කලාකරුවකුට පූර්ණ ප්‍රවීණත්වය කරා zඊළඟ පිම්මZ පනින්නට අවශ්‍ය වන්නේ මොනවා දැයි මගේ නිවසේ ඇති zපියනන්ද චිත්‍රයZ දෙස බලාගෙන මම දැනුත් කල්පනා කරමි. අරමුණු සහගතව කිසිවකු රවටා නැති, කිසිවකුට හිංසා කර නැති, විශාල ධනස්කන්ධ ගොඩගසා නැති පියනන්ද හිමියන් අනෙක් බොහෝ භික්ෂූන්ට වඩා නිර්වාණයට ආසන්න වී සිටින්නට ඇත. මම ඒ හිමියන්ට නිවන් සුව පතමි.
ලියනගේ අමරකීර්ති
සබැඳි පුවත්