අපි සියලු දෙනාම නීරෝගීව ඉන්නට කැමතියි. ඒ අපගේ පැතුමයි. ඒත් නීරෝගීව සිටින්නේ කීයෙන් කී දෙනා ද? අපි බොහෝ දෙනෙක් එක්කො අධික රුධිර පීඩනයට බෙහෙත් ගන්නවා. නැත්නම් දියවැඩියාවට බෙහෙත් ගන්නව. නැත්නම් හෘද රෝගවලට, අධික කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගන්න බෙහෙත් ගන්නව.
එහෙමත් නැත්නම් ආමාශයික ප්‍රදාහය, ආමාශයික වණ සමනය කරන්න බෙහෙත් ගන්නව. තවත් ඇතැම් අය ආතරයිටිස් ඒ කියන්නෙ හන්දි ඉදිමීම, හන්දි වේදනාවට ඖෂධ දීර්ඝකාලීනව ගන්නව. තවත් සමහර අය තයිරොයිඩ් ග්‍රන්ථියෙ අවක්රියාකාරිත්වය මඩින්න තයිරොක්සීන් හෝමෝනය දීර්ඝකාලීනව ගන්නව. මේ විදිහට අපට තියෙන රෝගවල ලැයිස්තුව දීර්ඝයි නේද?
අපිට මේ තරම්ම රෝගාබාධ තියෙන්නෙ. නීරෝගීකම දුරස්වෙන්නෙ ඇයි ද කියල ඔබ මදකට සිතා බැලුව ද?
අපි ගන්නා ආහාර රටාවේ සිදු වූ වෙනස්කම්, කෘත්‍රිම ආහාර වැඩි වැඩියෙන් ගන්න එක. අධික මානසික පීඩනය, නිසි විවේකයක් නොලැබීම, වගේම සිරුරට නිසි ව්‍යායාම ලැබෙන්නෙ නැති එක මේ තත්ත්වයට ප්‍රධාන හේතු. අපි කන්නෙ තෙල් දාපු බත්. බොහෝ විට නිවුඩ්ඩ රහිත ඒවා. බත්වලටම මුද්දරප්පලම් වගේ තවත් සීනි සහිත දේවල්ද එකතුවෙනවා. මාළුනම් කන්නෙම සත්තෘප්ත තෙල් වලින් බැදල. කුකුළු මසුත් ඩෙවල් කරල හොඳටම තෙල් දාලා. බටු මෝජුවට ද හොදින්ම තෙල්, බෝතල්a ගණන්. ඒවට සීනිත් යහමින් එකතු වෙනව නේද? අලත් තෙල්දාලා. මේවට කෘත්‍රිම අහිතකර රස කාරක වර්ගද රසය වැඩිකරගන්නට එකතු කරනවා. අතුරු පස ඊට දෙවෙනි වෙන්නෙ නෑ. පලතුරු කන්නෙ ඉතාමත්ම කලාතුරකින් අය. ඒව යල් පැනගිය පුරුදු විදිහටයි සලකන්නෙ. අධිකවම සීනි අඩංගු අයිස් ක්‍රීම්, පලතුරු වල ෆක්ටෝස් වගේ හිතකර සීනි අවශ්‍ය තරම් ස්වභාවිකවම අන්තර්ගත වි තිබුණත්, අපි පිටතින් වැඩිපුර සාමාන්‍ය සීනි අධික ප්‍රමාණ වලින්ම දාලයි කන්නෙ. මේකටම සීනි අධිකව ඇති ජෙලි ද එක්කිරීම සම්ප්රදායක්. මේ විදිහට අයිස්ක්‍රීම්, ජෙලි , ෆ්ට්සැලඩ් ආහාරයට ගන්නකොට සීනි හතර පාරක් එකතුවෙලා බව ඔබ මදකට සිතුවාද?
මේ වගේ ආහාර වේලක් ගත්තහම ලෙඩ පොදි පිටින් හැදෙන එක පුදුමයක් නොවෙයි නේද? රුධිරයේ අධික සිනි මට්ටමත් ඇතිවෙලා දියවැඩියාව හැදෙනවා. මේ වගේ අධික සීනි ආහාර - අතුරුපස - කනකොට ඒ සීනි මට්ටම පාලනය කරන්න අග්න්‍යාශ එකක් නෙවෙයි. කීපයක් තියෙන්න ඕනෑ.
ආමාශයයි විශේෂයෙන්ම ග්රහනියයි අතර තියෙන්නේ සියුම් කුඩා අග්න්යාශයක් පමණයි.
තෙල් දාපු ආහාර අධිකව පරිභෝජනය කරපුවහම, කොලෙස්ටරෝල් අධික වෙලා හෘදයාබාධ ඇතිවෙන එකත්, මොළයට රුධිරය සපයන ධමනි වල කොලෙස්ටරෝල් තැන්පත් වෙලා රුධිර ගමන අඩාල වෙලා අංශභාග වැනි රෝග තත්ත්වයන් ඇති වෙන්නත් හේතු වෙනව. ඊට අමතරව අධික රුධිර පීඩනයටත් හේතුවක් වෙනවා. ඒ වගේම අධික රුධිර පීඩනය ඇති වෙන්න වෑංජනවල, අච්චාරු වැනි ආහාරවල අධිකව ඇති ලුණු ද හේතුවෙනවා. ඒ වගේම තෙල් දාපු ආහාර වැඩිපුර ගත්තහම ගැස්ට්‍රයිටිස් විදිහට දැන් ප්‍රචලිතව පවතින රෝග ඇතිවෙන්නත් හේතුවෙනවා. අධික මිරිස් සහ අම්ල අඩංගු අච්චාරු, චට්නි වර්ග අපි යහමින් පරිභෝජනය කිරීමත් ගැස්ට්‍රයිටිස් වලට හේතුවෙනවා.
සාද, ප්‍රිය සම්භාෂණ. මංගල උත්සවවලදී විශේෂයෙන්ම දානමය පුන්‍ය කර්ම අවස්ථාවලදී වුවත් අපේ පිරිමි පාර්ශවය මත්පැන් යහමින් තොල ගෑමද සෞඛ්‍ය ප්රශ්නවල ආරම්භය යි.
මද්‍යසාරවල ද සීනි අඩංගුයි....
ඊට අමතරව එහි ප්‍රධාන සංඝඨකය වන එතනෝල් වලින් ස්නායු ආබාධ, අධික රුධිර පීඩනය, අක්මාවේ ආබාධ, අග්න්‍යාශයික ප්‍රදාහය , ඉදිමීම අධික මත්පැන් නිසා ඇතිවන අධික කොලෙස්ටරෝල් මට්ටම හේතුවෙන් මීට ඉස්සෙල්ලා කියපු රෝග ඇතිවෙනවා. ඒ වගේම ගැස්ට්‍රයිටිසුත් ඇතිවෙනවා. රෝග ලැයිස්තුව තවත් දීර්ඝයි. අනෙක් අතට මත්පැන් ගන්නකොට අපේ අය ගන්න අමතර කටගැස්ම තුළද අධික තෙල්, කොලෙස්ටරෝල් ගුලි, වගේම සීනි ද අඩංගුයි. ඒ නිසා තත්ත්වය තවත් බැරෑරුම් වෙනවා නේද?
අපිට මේ තත්ත්වයෙන් මිදිය හැක්කේ කෙසේද? ...
අපිට මේ කෘත්‍රිම නව යුගයේ ආහාර රටාවෙන් මිදිල හැකිතාක් දුරට සොබාදහමට සමීප ස්වභාවික ආහාර පරිභෝජනය කරල මානසිකව සැහැල්ලුව ඇති කරගන්න පුළුවන්නම් මේ රෝග ඇතිවෙන එක වලක්වාගෙන හොදින් ඉන්න පුළුවන්. ආහාර පිළියෙල කිරීමේදී සෑම එකම තෙල් දමන්න වුවමනාවක් නෑ. මාළු තෙල් දාන්නෙ නැතුව උයල වෑංජනයක් ලෙස ගන්නවනම් ඉතා ප්‍රයෝජනවත්.
ඔබට මාළු වලින් ප්‍රොටීන ලැබෙනව වගේම හෘද රෝග වළක්වා ගන්නත් කොලෙස්ටරෝල් පාලනයටත් උදව්වෙනවා.මාළු නොකැවත් ප්‍රෝටීන් ගන්න කොච්චර හොද එළවලු, ධාන්‍ය තියෙනවද ..
නමුත් මාළු ආහාරයට වඩා මස් ආහාරයට ගන්න එක තරමක් අයහපත් බව පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. මස් නිසාද ආහාර මාර්ග පද්ධතියේ පිළිකා ඇතුළු තවත් ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව මස්වලට දමන කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යද සිරුරට අයහපත්, ඒ වගේම මස් පිණිස ආහාරයට ගන්නා මේ වගේ සතුන්ට දෙන හෝමෝන වර්ග වලින්ද සිරුරට අවැඩක්මයි වෙන්නෙ. ඒ නිසා ඔබ මාළු ආහාරයට වැඩිපුර යොමුවන්න මස් ආහාර සීමා කරන්න.
උත්සව අවස්ථාවලදීත් වෙනත් අවස්ථාවලදීත් තෙල් දමාපු ෆයිඩ් රයිස් ගන්නෙ නැතුව සාමාන්‍ය බත් ආහාරයට ගන්න. නිවුඩ්ඩ සහිත සහල් නම් වඩාත් හොඳයි.
එමෙන්ම ඔබ සෑම ප්‍රධාන ආහාර වේලකටම පසුව පලතුරු සහිත අතුරු පසකට යොමු වන්න. සාද අවස්ථාවලදීත් අනෙකුත් අවස්ථා වලදීත් ගත්ත කෘත්‍රිම අධික තෙල් සීනි අඩංගු අයිස් ක්‍රීම්, ජෙලි, පුඩින්, වටලප්පන් වලින් හැකිතාක් වැලකී සිටින්න. මේ වගේ අතුරු පස ගත්ත සාදයක් මාසෙකට තිබුණහම මේ රෝග සියල්ලම ඇතිවීමට විශාල බලපෑමක් කරනව. ඒ වගේම ඔබ පෘට්සැලඩ් ආහාරයට ගන්නාවිට සීනි නොදමා ආහාරයට ගන්න. පලතුරුවලට සොබාදහමෙන්ම නියමිත ප්‍රමාණවලට හිතකර සීනි දමා තිබෙනවා. ඊට අමුතුවෙන් පිටින් සීනි දැමීම අවශ්‍ය නෑ.
ඇත්තෙන්ම පලතුරු කියන්නේ සොබාදහමේ විශිෂ්ට දායාදයක්...
මහඟු නිර්මාණයක්. වෛද්‍යවරුන්ද අද කාලයේ කෑම වේලකට පසු පලතුරු ආහාරයට ගන්නා ලෙස නිතර නිතර උපදෙස් දෙන්නේද ඒ නිසයි. පලතුරු වල අඩංගු විටමින් වර්ග (A, C ,වැනි ප්‍රතිඔක්සිකාරක විටමින් වර්ග ) ආහාර දිරවීමට අදාළ එන්සයිම හොදින් ක්‍රියාත්මක කිරීමට ආධාර වෙනවා. එමෙන්ම ඛනිජ ලවණ ද සිරුරට සපයනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා සිරුරේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමද අවම කරනවා. අනෙක් අතට පලතුරුවල ද්‍රව්‍ය තන්තු අඩංගු නිසි එහි වැදගත්කම තවත් වැඩියි.
එළවළු /පලතුරු වල අඩංගු තන්තු ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවිය හැකි පිළිකා වර්ග වළක්වනවා.
තන්තු සිරුරේ සිනි හා කොලෙස්ටරෝල් පාලනයටද ආධාර වෙනවා.
ඒ වගේම අපි තේ පානය කරන කොට ඒකට සීනි තේ හැඳි කීයක් දානවාද? චීනයේ නම් (තේ පැන් කලාවේ ආරම්භය සිදු වු රට) තේ පානය කරන්නේ සීනි නොදමා. තේවල යම් ඖෂධීය ගුණයක් අඩංගු බව හෙළි වී තිබෙනවා. එහි අඩංගු හෙළිෆි කෝල් සංයෝග ඖෂධීය සංඝටයක්. විෂබීජ ආසාදන දුරුකිරීමට, රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් පාලනයට වගේම දන්ත රෝග වළක්වා ගැනීමටද ඒවා හේතුවෙනවා. එහෙත් තේ වලට අධික සීනි එක්කිරීමෙන් එහි අඩංගු ඖෂධීය සංඝඨක ග්ලයිකොසිලේෂන් නම් වූ ප්‍රතික්‍රියාවට භාජනය වන නිසා ඒවායින් නිසි ප්‍රයෝජන ලැබෙන්නෙ නෑ. ඒ වගේම තේ වලට සීනි දැමීමෙන් සීනි මට්ටම පාලනයට බාධා ඇතිවෙනවා වගේම දන්ත රෝග ඇතිවීමටද මංපෙත් විවර කරනවා එබැවින් ඔබ තේ පානය කරන විට සීනි නොදමා හෝ සීනි හැකිතාක් දුරට අවමව යොදා භාවිත කරන්න. එලෙස පුරුදු වූ විට එය ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණයි. අනෙක් අතට ඔබ යම් රෝගයකට ඖෂධයක් ගත්තේ නම් ඖෂධ ගන්නා වේලාව ආසන්නයේදී තේ පානයෙන් වළකින්න. තේ නිසා ඖෂධ සිරුරට උරා ගැනීමට බාධා පැමිණෙනවා.
ඒ වගේම ව්‍යායාම නිසිලෙස නොලැබීම රෝග රැසක ආරම්භයක්. අද සංකීර්ණ තරගකාරි කාර්ය බහුල සමාජයේ ව්‍යායාම කිරීමට කාල වේලාවක් නැති සෙයකි. නමුත් දැන් දැන් ව්‍යායාම කිරීමට යම් ප්‍රබල නැඹුරුවක් පවතින බව පේනවා. වෛද්‍යවරුන් විසින් නිතර නිතර ශාරීරික ව්‍යායාම වල වැදගත්කම ප්‍රකාශ කිරීම ඊට ප්‍රධාන හේතුවක්.
ව්‍යයාම නිසා කොලෙස්ටරෝල් පාලනය වන අතර දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටමද අඩු කරනවා.
අධික රුධිර පීඩනය සහිත අයටද සුදුසුයි. ඒ වගේම මනා පාලනයකින් යුතු ව්‍යායාම හෘද රෝගීන්ටද මහඟු ප්‍රතිඵල අත්කර දෙන්නක්. ගත සිත දෙකම ප්‍රබෝධමත් කිරීමට ව්‍යායාම සතු හැකියාව ඉතා ඉහළයි. එබැවින් ඔබ කෙසේ හෝ දිනකට සුළු වේලාවක් ගෙන ව්‍යායාම වලට යොමුවන්න. දිනපතා උදෑසනම ව්‍යායාම වල නිරත වීම දවස පුරාම ප්‍රබෝධමත්ව කාර්යක්ෂමව සිටීමට හේතුවෙනවා.
උදෑසන අපහසුනම් සවස් වරුවේ හෝ ව්‍යායාම වල යෙදෙන්න. යම් ව්‍යායාම උපකරණයක් භාවිතයෙන් හෝ වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම හෝ යෝග ව්‍යායාම ලෙස හැදින්වෙන ව්‍යායාම යම් අධ්‍යනයකින් පසුව සිදු කිරීම කළ හැකිය. ඔබ ඉතාම කාර්ය බහුලනම් උදෑසන නිවස වටා වට කීපයක් දහයක් හෝ විස්සක් දහදිය දමන ලෙස වේගයෙන් ඇවිදීම වුවද හොද ව්‍යායාමයකි. හොදින් දහදිය දමන තෙක් ව්‍යායාම කිරීම වැදගත්. දහදිය සමඟ සිරුරට අහිතකර විෂද්‍රව්‍ය සම හරහා පිටවෙයි. ඒ වගේම වෙහෙස වීමේදී සමට හොදින් රුධිර සැපයුම ලැබෙන බැවින් සමේ ස්නේහශ්‍රාවී ග්‍රන්ථි (Seඉaජැදමි ටක්බාs) හොදින් ක්‍රියාකාරී වී සමෙන් තෙල් වර්ග ද පිටව යන බැවින් කොලෙස්ටරෝල් මේද පාලනයටද දායකත්වයක් දරනවා. ඊට අමතරව සිරුර වෙහෙසීමෙන් කැලරිද දහනය වන අතර මේද කොටස්ද ශක්තිය නිපදවීම සඳහා දායකවන බැවින් අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනය වනවා.
ඒ වගේම අධික කාර්ය බහුල ඔබට විවේකය ලබා ගැනීමද අධික මානසික පීඩනයෙන් මිදීමට සැහැල්ලුවෙන් සිටීමද අවශ්‍ය වෙනවා. රෝග රැසක් වළක්වා ගැනීමටද ප්‍රධාන රෝග පාලනයටද එය හේතුවනවා. එබැවින් මසකට වරක් හෝ විනෝද චාරිකාවක යෙදීම, සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් සිටීම ඉතාම වැදගත්. සති අන්තයේ සැහැල්ලුවෙන් විවේකීව සිටීමද දිවියේ යහ පැවැත්මට හේතු වෙනවා.
උපුටා ගැනීමක්