ජංගම දුරකථනය නූතන සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයෙකු ළඟම තිබෙන්නාවූ මූලික උපකරණයක් වී තිබේ. මෙහි වන කැමරාව යනු එහිලා වන අත්‍යවශ්‍යම අංගය බවටද පත්වී තිබේ. ජංගම දුරකථන තාක්ණයේ නව පෙරළියක් කරමින් තම අලෙවිය වැඩිකරගැනීම සඳහා ජංගම දුරකථන නිෂ්පාදනය කරන සමාගම් එහි ඉදිරිපසටද කැමරාවක් එක් කරමින් එය සෙල්ෆි (Selfi Camera) කැමරාව ලෙසට හඳුන්වා දෙන්නට විය.
තමන්ගේ රුව තමන්ටම රිසිසේ ඡායාරූපයට ගැනීමට හැකිවූ මෙම අවස්ථාව වර්තමාන ලෝකයේ බොහෝසේ ව්‍යාප්ත විය. මෙලෙසින් තවත් අයකුගේ උදව්වකින් තොරව තමන්ටම තමන්ගේ ඡායාරූපයක් ගැනීමේ සෙල්ෆි කලාවේ වර්තමානය වන විට ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනෙක්ට තමන්ගේ රුව තමන් තුලම උමතුවක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙන බව ඔබ දන්නවාද?
ඇමරිකානු මනෝවිද්‍යා සංගමයක් වන APA හෙවත් ඇමරිකානු මනෝ චිකිත්සක සංගමය (American Psychiatric Association) විසින් සිදු කළ පරීක්ණයකදී හෙළිවී තිබෙන්නේ සෙල්ෆි ගැනීම තුළින් මිනිස් මනස තුළ ව්‍යාධියක් එසේ නැත්නම් මානසික වශයෙන් උමතු රෝග තත්ත්වයක් නිර්මාණය කරන බවයි. එය ඇබ්බැහිවීමේ තත්ත්වයක් බවද ඔවුන් විසින් තම පර්යේෂණය තුළ දක්වා තිබේ. මෙම රෝගය ඇමරිකානු මනෝ චිකිත්සක සංගමය විසින් හඳුන්වා තිබෙන්නේ සේල්ෆිටීස් (Selfities) යන නමින්ය. මෙම රෝගය තුළ මූලික අවස්ථා තුනක් දක්වා තිබේ. එනම් broderline හෙවත් මුල් අවධිය පළමු රෝගී අවස්ථාව ලෙසත් රෝගය උග්රවෙමින් පවතින අවස්ථාව දෙවැනි අවධිය ලෙසත් තෙවන අවස්ථාව ලෙස Chronic (ක්රෝනික්) හෙවත් රෝගය උත්සන්නතම අවස්ථාව යනාදී ලෙස සෙල්ෆි උමතු රෝගයේ අවස්ථාවන් දක්වා තිබේ.
ඇමරිකානු මනෝ චිකිත්සක සංගමය පවසන පරිදි සෙල්ෆිටීස් පළමු අදියර තුළ සිටින අයෙක් දවසකට සෙල්ෆි රූප 3 ක් ගනියි. එමෙන්ම එයින් එකක්වත් සමාජ ජාලා වලට එකතු නොකරන බවත් දක්වා තිබේ. මෙම අවස්ථාවේ සිටින අයෙකු මුදවා ගැනීමට පහසු ද වේ. දෙවන අදියරේ රෝග ලක්ෂණ ලෙසට දවසකට සෙල්ෆි විශාල ප්‍රමාණයක් ගන්නා අතර එයින් 1-5 ත් අතර ප්‍රමාණයක් සමාජ ජාලා වලට එකතු කරන බවට පර්යේෂණවලින් හෙළිවී තිබේ.
මෙම සෙල්ෆිටිස් රෝගයේ උග්‍රම අවස්ථාව ලෙස දක්වා තිබෙන්නේ ක්‍රොනික් (Chronic) අවස්ථාවයි. මෙහි ලක්ෂණ ලෙස දිනකට සෙල්ෆි ඡායාරූප සීමාවක් නැතුව ගන්නා අතර එයින් දිනකට 10 ක් පමණ සමාජ ජාල තුළට එකතු කරන බව සොයාගෙන තිබේ.
තාක්ෂණයේ අවභාවිතය ලොවට විනාශය කැන්දවන බව අද වන විට සියලුම දේ තුළිනුත් සනාථ වෙන විට මෙම සෙල්ෆි උමතුවද මිනිසාට එල්ලකර තිබෙන්නේ බරපතළ බලපෑමකි.
වර්තමානය වන විට සෙල්ෆි ඡායාරූප ගැනීමට යාම නිසා බෙහෝ රටවල මිනිසුන් ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ. ඒ අතරින් ඉන්දියාව ලොව වැඩිම සෙල්ෆි ඡායාරූප ගැනීමට යැම තුළ මරණ වාර්තා වන රට වේ. ගතවූ වසර තුළ ඉන්දියාවේ සෙල්ෆි නිසා ජීවිත 76 ක් අකාලේ වැළලී ගොස් තිබේ. එමෙන්ම ඉන්දියාවේ සංචාරක අමාත්‍යාංශය විසින් සෙල්ෆි ඡායාරූප ගැනීමට තහනම් කරන ලද කලාප පවා නම්කර තිබීම තුළින් පැහැදිලි වන්නේ සෙල්ෆි කලාව ලොවට මේ වන විට දරුණු සමාජ ගැටලුවක් මෙන්ම මනෝමය උන්මාදයක් ද තිබීමය.
ලංකාවේද මෙම සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේ උමතුව තිබේ. පසුගිය කාලයේ ජීවිත
රැසක්ම අකාලයේ මිළින වී ගියහ. පාලින්ද නුවර මාකෙළි ඇල්ලේදී සිදුවූ අනතුරින් ජීවිතයක් නැතිවුණි. එමෙන්ම කොල්ලුපිටිය බම්බලපිටිය දුම්රිය මාර්ගයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක්ද සෙල්ෆි ගැනීමට ගොස් දුම්රියට බිළිවිය.
දුරකථන නිෂ්පාදන සමාගම තම අලෙවිය වැඩිකර ගැනීම සඳහා යොදාගත් මෙම උපක්‍රමය වර්තමානය වන විට ජීවිත නැති කරන උමතුවක් වී තිබීම දරුණු ඛේදවාචකයකි. උසස් මනසකින් යුත් සත්ත්වයන් වන මිනිස් අප තාක්ෂණය හුදෙක් යොදාගත යුත්තේ මානව උන්නතිය සඳහා පමණි. නමුත් වර්තමානය වන විට සිදුවී තිබෙන්නේ එහි අනෙක් පැති කඩයි.
කෙසේ නමුත් මේ සියල්ල තුළින්ම වැළකී සිටිමට හැකියාවද තිබෙන්නේ මිනිසුන්ටමයි. එම නිසා ඉහත කුඩා කැමරා කාචයකට ජීවිතයක් පාලනය කිරීමට ඉඩ නොදෙන්න. මක්නිසාද යත් එමගින් ඔබේත් අනාගත පරපුරෙත් සුබ සිද්ධිය උදෙසා යහපත් ලෙස සිහිබුද්ධියෙන් යුතුව භාවිත කිරීම තුළ තාක්ෂණයේ වර්ධනයද වන අතර එමගින් මිනිස් ජීවිතද සුරකිනු ඇත.
තිලක් වනසිංහ
ජනසන්නිවේදන අධ්‍යනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය