නැළවිලි ගීත ශ්‍රී ලංකාව තුළ ඈත අතීතයේ සිට පැවතියත් අද වන විට එම තත්ත්වය වෙනස් වී තිබේ. නූතන අම්මා කෙනකුගේ මුවින් සුමිහිරි නැළවිලි ගී හඬක් අද නොඇසෙන්නේ කුමන හේතුවක් නිසාද?
අම්මාගේ නැළවිලි ගායනයකට සවන් දෙමින් නිදි සුව විඳින්නට වර්තමානයේ බිහිවන දරුවන්ට අවස්ථාවක් නොලැබීම කනගාටුවට කරුණකි. නමුත් දස මස කුස දරා බිහිකළ දරුවා තම උකුලේ හොවා නැළවිලි ගීතයක් ගයමින් නැළවීම තුළින් තමන්ට සැලසෙන යහපත මෙන්ම එහි වටිනාකම දන්නේ නම් සෑම මවක්ම කොපමණ කාර්යබහුල වුවද කෙසේ හෝ නැළවිලි ගී ගයමින් දරුවා නිදි කරවීමට පෙළඹෙනු ඇත.
ගර්භණී මාතාවන් කන්කළු නිවුණු සංගීත නාද රටා ශ්‍රවණය කිරීමෙන් උපදින දරුවා නිරෝගීමත් සංවේදී මෘදු ගතිගුණ ඇති යහපත් දරුවෙකු බවට පත්වන බවද විද්‍යානුකූලව සොයාගෙන තිබේ. මිහිරි නිවුණු ගීතවලට සවන්දීම නිසා කායික මානසික හා ආධ්‍යාත්මික සෞඛ්‍ය සමබර වී නිරෝගී යහපත් සමාජයක් බිහිකිරීමට හැකියාව තිබේ. එබැවින් ළදරු අවධියේ නැළවිලි ගීතයකින් දරුවකු සැනසීම අගනා බුද්ධිමත් ක්‍රියාවකි.
තමන්ගේ ආදරණීය අම්මාව දරුවා හඳුනා ගන්නේ මවගේ උණුසුම තුළින්ය. ඇයගේ කටහඬින්ය. තම දරුවා සෙනෙහසින් තම උකුලේ හොවා නැළවිලි ගීතයක් මුමුණමින් දරුවා සනසන විට මවගේ සෙනෙහෙබර කටහඬ දරුවාගේ හදවත තුළ තැන්පත් වෙයි. දරුවා මවු සෙනෙහස විඳ ගනිමින් නින්දට සැරසෙන අතර සිත පිනවන ගීත රසය දරුවාගේ සිත තුළ ධාරණය වන්නේය.
වර්තමාන සමාජය තුළ රස වින්දනය නොහඳුනන පිරිසක් බිහිවෙමින් පවතී. අර්ථවත් නොවන බාල බොළඳ ගීත ඇසීමට සැලැස්වීම දරුවන්ට කරන ලොකු හානියකි. එමගින් මනස ව්‍යාකූල වන්නේය.
කුඩා අවධියේ දී අම්මාගේ නැළවිලි ගීතයකින් සැබෑම ගීත රසය දරුවෙකුට හඳුනා ගැනීමට හැකි වන්නේය. එබැවින් නැළවිලි ගීත භාවිතයට මවුවරු පුරුදු වීම ඉතා වැදගත් වන්නේය.
නමුත් අද මවුවරු කාර්යබහුල බැවින් ළදරු වයසේදීම දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ මිත්තණිය සමීපයේ හෝ ගෘහ සේවිකාවකගේ සමීපයේය. ඇතැම් දරුවන් අම්මා කියන්නේ මිත්තණියටය. එසේත් නැත්නම් ගෘහ සේවිකාවට අම්මා කියයි. සිය මව නොහඳුනන තත්ත්වයකට පත්වී තිබේ. මෙය සුළුවට සිතිය යුතු කාරණයක් නොවන්නේය.
වර්තමානයේ මවුපිය දූ දරු සම්බන්ධතාව දුරස් වී තිබෙන අතර පටු මානසිකත්වයක් ඇති දරුවන් බිහිවී තිබේ. ළදරු අවධියේ සිටම මවගේ උණුසුම මෙන්ම නැළවිලි ගීතයකින් දැනෙන මානසික වින්දනය අහිමි වීමෙන් පරිකල්පනා ශක්තිය හීන වූ වැඩිහිටියන්ට නොසලකන, ඔවුන්ට ඇහුම්කන් නොදෙන ආත්මාර්ථකාමී ගතිවලට නැඹුරු වූ දරුවන් නිර්මාණය වෙමින් පවතී. මෙම හේතුව නිසා වෙහෙස වී මුදල් උපයා දරුවන්ට ශාරීරික පෝෂණය, උසස් අධ්‍යාපනය ලබාදීම ආදී දේවල්වලට පමණක් සිත යොමුකර දුක් මහන්සියෙන් දරුවන් හදා වඩා දරුවන්ගේ ආදරය නොලැබ අනාගතයේ දී වැඩිහිටි නිවාසයක පිහිට පැතීමට සිදු වන්නේය. වැඩිහිටි නිවාසද අද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව පෙනී යයි. දරුවන්ගේ සෙනෙහස, බැඳීම, ලැදිකම ගිලිහී යා නොදී පවත්වා ගැනීමත් වැඩිහිටියන් සතු කාර්යභාරයකි.
එබැවින් අම්මාවරුන් විශේෂයෙන්ම ඒ පිළිබඳව සිතීමට මෙන්ම උනන්දු වීමට කාලය පැමිණ තිබේ. එය ඔබේම සෙත සුව පිණිසම හේතු වන්නේය. ඉතා ජනප්‍රිය අර්ථවත් නැළවිලි ගීතයකටද අවධානය යොමු කරවීමට සිත් විය.
චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන් දූ සනසන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අසන්නට මේ නැළවිලි ගී මමයි කියන්නේ
කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ ගඟ දෙගොඩින් කිරි කොක්කු ගියා ලූ
එපා දුවේ ඒ කතා අසන්නට මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ
දූ අල්ලන්නට සැන්දැ යාමේ මල්ලක් අරගෙන බිල්ලෙකු එනවලු
වීර දුවේ මා බිය නොම වන්නේ සිහල ලෙයයි නුඹෙ සිරුරෙ තිබෙන්නේ.
මෙම ගීතයේ අර්ථය ළදරුවෙකුට වැටහෙනවාද යන්න ප්‍රශ්නයක් විය හැක. දරුවෙකුට මෙහි අරුත නොවැටහේ. එය සත්‍යයකි. නමුත් අම්මා කෙනකුගේ ප්‍රාර්ථනාව එහි අන්තර්ගත වී තිබේ.
බොළඳ දේවල්වලට නොරැවටෙන බියගුලු නොවන නිර්භීත දරුවෙකු, සත්‍ය වටහාගත හැකි, මවුකිරි හඳුනන දරුවෙකු නිර්මාණය කිරීමට දරුවා නළවමින් මවක් ගන්නා උත්සාහය එම නැළවිලි ගීතය තුළින් කියෑවේ. සෑම මවකගේම අපේක්ෂාව විය යුත්තේ එය නොවේද?
එබැවින් දයාබර මවුවරු හැකි සෑම අවස්ථාවකදීම නැළවිලි ගීතයකින් තම දරුවා නැළවීමට උනන්දුවීම වැදගත් වන අතර නැළවිලි ගීතයක් ගයමින් තම දරුවා නැළවීම ඉතා සුන්දරය. එය දරුවාට සුවයකි. අම්මාටද සතුටකි. අම්මාගේ නැළවිලි හඬින් මවු සෙනෙහස හඳුනා ගෙන මවුපියන්ට සළකන සුන්දර හදවතක් ඇති දරුවෙකු නිර්මාණය වීම ඊටත් වඩා සතුටකි.
සුරම්‍යා අතුකෝරළ