තයිරොක්‌සින් හෝමෝනය අපට බලපාන්නේ මවු කුසේ හටගන්නා කලල අවස්‌ථාවේදී සිටයි. දරු කලලයේ මොළය වර්ධනය නිසි ලෙස සිදුවීම සඳහා තයිරොක්‌සින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය බලපානවා. එසේම තයිරොක්‌සින් හෝමෝනය තමයි අපගේ ශරීරයේ ශක්‌තිය නිෂ්පාදනය වන වේගය තීරණය කරන්නෙ.
නිරෝගීව ජීවත්වීම සඳහා පෝෂ්‍යදායී ආහාර පාන ගැනීම, ව්‍යායාම කිරීම මෙන්ම සිරුරේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වයද නිසි ලෙස සිදුවීම අවශ්‍යය. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයද නිසි ලෙස සිදු නොවුණහොත් සිරුරේ නොයෙකුත් අසාමාන්‍යතා මතු වේ.
වෛද්‍යතුමනි, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය ශරීරයට බලපාන්නේ කෙසේද?
තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් අපගේ ශරීරයට අවශ්‍ය තයිරොක්‌සින් හෝමෝනය (Thyroxine Hormone) නිපදවනු ලබනවා. මෙම හෝමෝනය මොළයේ සිට දෙපා දක්‌වා වූ ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට බලපානවා.
තයිරොක්‌සින් හෝමෝනය අපට බලපාන්නේ මවු කුසේ හටගන්නා කලල අවස්‌ථාවේදී සිටයි. දරු කලලයේ මොළය වර්ධනය නිසි ලෙස සිදුවීම සඳහා තයිරොක්‌සින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය බලපානවා. එසේම තයිරොක්‌සින් හෝමෝනය තමයි අපගේ ශරීරයේ ශක්‌තිය නිෂ්පාදනය වන වේගය තීරණය කරන්නෙ. (Basal MetabolicRate) විශේෂයෙන්ම ශරීරයේ තාපය පාලනය කිරීමටත් මෙය බලපානවා.
මවු කුසින් මෙලොව බිහිවූ දරුවාගේ ශරීරයේ සහ මොළයේ වර්ධනය සඳහා තයිරොක්‌සින් හෝමෝනය අත්‍යවශ්‍යයි. එහි ඌනතාවයක් හටගත් විට (Cretinism) දරුවන්ගේ ශරීර වර්ධනය බාල වෙනවා. එවිට උස යැම, මොළයේ වර්ධනය අඩාල වෙනවා.
වෛද්‍යතුමනි අපගේ ශරීරයේ තයිරොක්‌සින් හෝමෝනයේ වෙනස්‌කමක් ඇති වූ විට මතු වන රෝග ලක්‌ෂණ මොනවාද?
තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අඩු වූ විට කුඩා දරුවකුගේ නම් උස යැම බාල වීම, අධික ලෙස මහත් වීම, හුස්‌ම ගැනීමේ අපහසුතා හට ගැනීම, නිතර ඇස් කහ පැහැගැන්වී තිබීම බුද්ධි වර්ධනය සහ වර්ධක කඩඉම් ප්‍රමාද වීම ආදී රෝග ලක්‌ෂණ දැකිය හැකියි.
වැඩිහිටි පුද්ගලයන් තුළ තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අඩු වූ විට නිතර නිදිමත බව, අලස බව, නිතර නිදි කිරා වැටීම, සිරුර තුළින් නිතර ශීතල බවක් දැනීම, අකලට හිසකෙස් අධික ලෙස යැම, සම මත වියළි ස්‌වභාවයක් හටගැනීම, නිතර මතු වන ඇඟපත වේදනාව, මළබද්ධය වැනි රෝග ලක්‌ෂණ හටගන්නවා.
කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වූ විට ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම වැනි රෝග ලක්‌ෂණද දැකිය හැකියි.
තයිරොක්‌සින් හෝමෝනය ඉතා අධික ලෙස අඩු වූ විට හෘද ස්‌පන්දන වේගය අඩාල වෙනවා. එවිට කෝමා තත්ත්වයකට පත්විය හැකියි. (Myxoedema Coma)
තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අධික වූ විටදීද ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. විශේෂයෙන්ම ශරීරයෙන් අධික ලෙස තාපය නිපදවීම සිදුවෙනවා. එවිට නිතර සිරුරින් දහදිය පිට වෙනවා. (Heat Intolerance) ඊට අමතරව ශරීරය කෙට්‌ටු වීම, නින්ද නොයැම, නිතර අධික කෝපය, මස්‌පිඬුවල දුර්වලතාවය, හිටගෙන සිටීමේ අපහසුතාවය, මළපහ දියර ලෙස (බඩඑළිය යැම) නිතර පිටවීම ආදී අපහසුතාවන්ද මතු වෙනවා.
තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අධික වීමේ තත්ත්වය ඉතා උග්‍ර වූ විට (Thyrotoxic Crisis) මනස නොසන්සුන් වීම හෘද ස්‌පන්දනය අධික වී හෘදයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම පවා සිදුවෙනවා. ඇතැම් විට මෙම තත්ත්වයේදී පුද්ගලයා මරණයට පත්වීම සිදුවිය හැකියි.
වෛද්‍යතුමනි, තයිරොක්‌සින් හෝමෝනය ක්‍රියාකාරීත්වය ඇති වන වෙනස්‌කම් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‌ෂණ මොනවාද?
තයිරොක්‌සින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයේ මතුව ඇති වෙනස්‌කම් හඳුනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම TSH (Thyroid StimulatingHormorne) නමැති පරීක්‌ෂණය සිදුකරනවා. මෙමගින් තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අඩු වීමක් සිදුව තිබෙනවාද වැඩි වීමක් සිදුව තිබෙනවාද කියා හඳුනාගත හැකියි. මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ශ්‍රාවය වන T3 සහ T4 හෝමෝන වර්ග දෙක පිළිබඳව සිදුකරන පරීක්‌ෂණත් තිබෙනවා. මෙවැනි හෝමෝන පරීක්‌ෂණ මගින්ද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව හඳුනාගත හැකියි. මීට අමතරව තවත් පරීක්‌ෂණ තිබෙනවා.
වෛද්‍යතුමනි, මෙලෙස තයිරොක්‌සින් හෝමෝනය නිපදවීමේ වෙනස්‌කම් ඇති වීමට බලපාන හේතු මොනවාද?
හේතු රැසක් තිබෙනවා. ඉන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි වීමට බලපාන හේතුවක් ලෙස ග්‍රේවිස් තත්ත්වය (Graves Disease) බලපානවා. මෙහිදී සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියෙන් TSH හෝමෝනයේ ව්‍යූහයට සමාන ප්‍රතිදේහයක් නිපදවීමයි. එවිට TSH හෝමෝනය මගින් උත්තේජනය වන ප්‍රතිග්‍රාහකවලට මින් උත්තේජනයක් ඇති වෙනවා. එසේ වූ විට එම ප්‍රතිග්‍රාහක සිතන්නේ TSH හෝමෝනයේ වැඩි වීමක් සිදුව ඇතැයි කියාය. එසේ සිතා TSH වලට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගන්නවා. මෙසේ TSH වලට එරෙහිව ක්‍රියා කරන විට තයිරොයිඩ් ග්‍රන්ථියද TSH හෝමෝන නිපදවීම සඳහා එහි ක්‍රියාකාරීත්වය වැඩි කරනවා.
ඊට අමතරව විශේෂ හේතුවක් නැතිව තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් කොටසක් අධික ලෙස ක්‍රියා කිරීම සිදුවෙනවා. (Toxic Adenoma)
මෙම හේතුවලට අමතරව ගලගණ්‌ඩයට ලක්‌වූ තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටසක් සාමාන්‍ය පාලනයෙන් මිදී ක්‍රියාකාරී වන අවස්‌ථා තිබෙනවා. එවිටද තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම වැඩි වෙනවා. (Toxic Mulinodular Goitre)
මෙලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම වගේම එහි ක්‍රියාකාරීත්වය අඩාල වීම නිසාද තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම වෙනස් වෙනවා. මේ සඳහා බලපාන හේතුවක්‌ව පැවතියේ අයඩින් ඌනතාවයයි. වර්තමානයේ අයඩින් මිශ්‍ර ලුණු භාවිත කරන නිසා එම තත්ත්වය පාලනය වී තිබෙනවා.
නමුත් වර්තමානයේ බොහෝ විට අපට දකින්නට ලැබෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩාල වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එහි ක්‍රියාකාරීත්වයට එරෙහිව ශරීරය තුළින් හානිකර ප්‍රතිදේහ නිපදවීමයි. (Thyrodits)
මෙම හේතුවට අමතරව ශරීරයේ ඇති වන නොයෙකුත් ලෙඩ රෝග තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ ඇති වන වෙනස්‌කම් සඳහා ලබාදෙන විකිරණ අයඩින් ප්‍රතිකාරය නිසා ඇති වන අතුරු ආබාධ නිසාද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩාල වීමට බලපානවා.
වෛද්‍යතුමනි, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ මතු වන වෙනස්‌කමකදී ලබාදෙන ප්‍රතිකාර මෙනවාද?
ප්‍රතිකාර ලබාදීම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ මතුව ඇති වෙනස්‌කම් අනුව තීරණය වෙනවා.
තයිරොක්‌සින් නිපදවීමේ ඌනතාවක් පවතිනවා නම් ඒ සඳහා බාහිරින් තයිරොක්‌සින් හෝමෝන පෙති ලබාදීම සිදුකරනවා. මෙම ඖෂධ මගින් ශරීරයට කිසිදු අතුරු ආබාධයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා එය දීර්ඝ කාලීනව ගැනීමට බිය විය යුතු නැහැ.
තයිරොක්‌සින් හෝමෝනය ගැනීමේදී එය නිවැරදිව සිදු කළ යුතුයි. උදැසන හිස්‌බඩ එය ගත යුතුයි. මෙසේ හිස්‌බඩ තයිරොක්‌සින් හෝමෝන පෙති ගත යුත්තේ ඇතැම් ආහාර පාන මගින් තයිරොක්‌සින් හෝමෝනය ශරීරයට අවශෝෂණය කර ගැනීමේ බාධාවන් මතු වෙනවා. ඒ නිසා දිනපතා උදැසන හිස්‌බඩ මෙම ඖෂධය ගැනීමෙන් එම බාධාව මඟ හරවා ගත හැකියි. එසේම තයිරොක්‌සින් පෙති ගැනීමෙන් පසු පැය භාගයක් පමණ යනතුරු ආහාර පාන ගැනීම නොකළ යුතුයි. මෙය නිවැරදිව අනුගමනය නොකළහොත් දිනපතා ශරීරයට අවශ්‍ය තයිරොක්‌සින් හෝමෝන ප්‍රමාණය නොලැබී යනවා. එවිට මතුව ඇති රෝගය පාලනය වන්නේ නැහැ.
තයිරොක්‌සින් හෝමෝන ලබාදීමට අමතරව පවතින රෝග තත්ත්වය අනුව ලබාදෙන වෙනත් ඖෂධ සහ තයිරොයිඩ් ග්‍රන්ථියට සිදුකරන විකිරණ ප්‍රතිකාර හෝ සැත්කම් මගින් මතුව ඇති රෝග තත්ත්වය සුව කළ හැකියි.
ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ ඇති වන වෙනසකදී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මතුව ඇති රෝග තත්ත්වය සුව කර ගත හැකියි.
විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද