අද, ඔක්තෝබර් 10 වෙනි දිනට යෙදෙන 'ලෝක මානසික සෞඛ්‍ය දිනය' ගෝලීය මානසික සෞඛ්‍ය අධ්‍යාපන, දැනුවත් කිරීම සහ සමාජ අපකීර්තියට එරෙහිව පෙනී සිටීම සඳහා වූ දිනයක්. රටවල් 150 කට වැඩි ගණනක සාමාජිකයන් සිටින ගෝලීය මානසික සෞඛ්‍ය සංවිධානයක් වන මානසික සෞඛ්‍ය සඳහා වූ ලෝක සම්මේලනයේ මූලිකත්වයෙන් 1992 දී ප්‍රථම වරට ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලැබුවා. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව මෙවර 2019 ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී 'සියදිවි නසා ගැනීම පිළිබඳව' විශේෂ අවධානය යොමු කරනවා.
ලෝකයේ සෑම තත්ත්පර 40කට වරක් කෙනෙකු සියදිවි නසා ගන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. තවද සෑම වසරකම 800,000ක් දෙනා ලෝකයේ සිය දිවි නසා ගන්නා අතර සෑම සියදිවි නසා ගැනීමක් සඳහාම සියදිවි නසා ගැනීමට තැත් කිරීම් 20 කට වඩා වාර්තා වෙනවා . 2018 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2018දී ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් අනුපාතය ජනගහනයෙන් 100,000කින් 14.6ක් ලෙස දැක්වෙනවා.
ශ්‍රී ලංකා පොලිසියේ දත්ත වාර්තාවලට අනුව 2018 ජනවාරි 01 සිට 2018 දෙසැම්බර් 31 දක්වා මෙරට සියදිවි නසා ගැනීම් 3,281ක් සිදුව තිබෙනවා. ඉන් 2,619 දෙනෙකු (මුළු ගණනින් 80%) පිරිමින්ද, 662 දෙනෙකු (මුළු ගණනින් 20%) ගැහැණුන්ද වෙනවා. ලෝකයේ වසය අවුරදු 15-29ත් අතර පුද්ගල මරණ දෙවැනියට වැඩියෙන්ම සිදුවන්නේ සියදිවි නසා ගැනීම් මඟින්. ශ්‍රී ලංකාවේ 2018 වසරේ වයස 16-30ත් අතර සියදිවි නසා ගැනීම් 835ක් සිදුව ඇති අතර එය වාර්තා වෙන මුළු සිය දිවි නසා ගැනීම්වලින් 25.4% ක්. (2018 වසරේ සියදිවි නසා ගැනීම් දත්ත ඇතුළත් ලිපියේ ලින්කුව පහතින්.)
සියදිවි නසා ගැනීම් සහ මානසික ආබාධ (විශේෂයෙන් මානසික අවපීඩනය / Depression සහ මත්පැන් භාවිතය පිළිබඳ ආබාධ / Alcoholism) අතර සම්බන්ධය මනාව තහවුරු වී ඇති නමුත්, බොහෝ සියදිවි නසා ගැනීම් අර්බුදකාරී අවස්ථාවන්හිදී ආවේගශීලීව සිදු වෙනවා. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ මානසික ආබාධ හේතුවෙන් සිය දිවි නසා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 337 ක් වන අතර එය මුළු ගණනින් 10% ක්. තව දුරටත් අවදානම් සාධක අතර අහිමිවීම, තනිකම, වෙනස් කොට සැලකීම, සබඳතා බිඳී යාම, මුල්‍ය ගැටලු, නිදන්ගත වේදනාව සහ රෝගාබාධ, ප්රචණ්ඩත්වය, අපයෝජනය සහ ගැටුම් හෝ වෙනත් මානුෂීය හදිසි අවස්ථා පිළිබඳ අත්දැකීම් ඇතුළත් වෙනවා. සියදිවි නසා ගැනීම සඳහා ඇති ප්‍රබලම අවදානම් සාධකය වන්නේ මීට පෙර සියදිවි නසා ගැනීමේ උත්සාහයන්. 2018 වසරේ ශ්‍රී ලංකාවේ පුරුෂයාගෙන් සිදුවන හිරිහැර හෝ පවුල් ආරවුල් හේතුවෙන් තම ජීවිතයෙන් සමු ගත් පිරිස 591 දෙනෙක් (මුළු ගණනින් 18%) වන අතර නිදන්ගත රෝග හා ශාරීරික ආබාධ හේතුවෙන් 419 දෙනෙකුද (මුළු ගණනින් 13%) , පෙම් සබඳතා මඟින් ඇති වූ සිත් තැවුලෙන් 228 දෙනෙකු (මුළු ගණනින් 7%) ද සිය දිවි තමන් විසින්ම නිම කර තිබෙනවා.
2016 වසරේ ලෝකයේ සිය දිවි නසා ගැනීම්වලින් 79%ක් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලින් වාර්තා වෙනවා. වර්තමානයේ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු, දුගීබව හා ණය වීම හේතුවෙන් 2018 වසරේදී 238 දෙනෙකු (මුළු ගණනින් 7%) දිවි නසා ගෙන තිබෙනවා. මෙම සියදිවි නසා ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ගෙල වැළලා හෝ කෘමිනාශක පානය මඟින්. කෘමි නාශක වැඩිවශයෙන්ම භාවිතා කරන්නේ ගොවි කර්මාන්තය බහුල ග්‍රාමීය ප්රදේශවලයි. 2018 වසරේ සියදිවි නසා ගෙන ඇති අය අතර, 511 දෙනෙකු (මුළු ගණනින් 16%) කෘෂිකර්මාන්ත, සත්ත්ව පාලනය, ධීවර හා හේන් වගාවන්ගෙන් යැපෙන මිනිසුන්. සමාජ සාධාරණත්වය හා සම්පත් එකලෙස බෙදී නොගිය සමාජයක ඇතිවන ගැටළුවයි මේ. තවද විරැකියාවෙන් පෙලෙන පුද්ගලයින් 1,155 දෙනෙකුද (මුළු ගණනින් 35%) , කම්කරු රැකියාවල නියුතු වන්නන් 158 දෙනෙකු (මුළු ගණනින් 5%) සිටිනවා. 29% ක ප්‍රමාණයක් ආදායම් අඩුවෙන් ලබන මිනිසුන් අප රටේ වැඩියෙන් සිය දිවි නසා ගන්නා අය වෙන අතර එයට රාජ්‍යය හා ඒවායේ ආර්ථික ප්‍රතිපත්ති වගකිව යුතු වෙනවා. තවද සහනාධාර ලබා දීමෙන් හෝ ලබා ගැනීමෙන් පමණක් මෙම තත්ත්වය නැති නොවන බවද සිහි තබා ගත යුතු වෙනවා.
සියදිවි නසා ගැනීම අවම කිරීමට බොහෝ දේ කළ හැකි වෙනවා. ඒ අතුරින්,
සියදිවි නසා ගැනීමට හේතු අවම කිරීමට දායක වීම. -
අතිශය ප්‍රචණ්ඩකාරී හා යුද්ධමය තත්ත්වයන්ට පසුගිය දශක ගණනාවක් මුහුණ දුන් ශ්‍රී ලංකාව තුළ මේ සඳහා රාජ්‍යයේ මැදිහත් වීම මෙයට වඩා වැඩි විය යුතු බව දේදුනු සංවාද අපේ විශ්වාසයයි. විශේෂයෙන්ම උපදේශන සේවා මුළු රටේම ව්‍යාප්ත කිරීම යුද්ධය අවසන් වූ විගස සිදු කළ යුතු දෙයක් වුනද, තවමත් එය සිදුවන දෙයක් හෝ ඒ ගැන අවශ්‍යතාවයක්/අවධානයක්වත් ඇති ලෙස පෙනෙන්නට නැහැ. දිගු කාලීනව ප්‍රචණ්ඩකාරී දර්ශන, පුවත්, සැමරුම්, ව්‍යාපෘති දකින්නට, අසන්නට ලැබුන රටක ජනයාට තවමත් ඇත්තේ එම සිතුවිලිය. ප්‍රශ්නයක් විසඳා ගැනීමට පළමු පියවර ප්රචණ්ඩත්වය ලෙස ඔවුන් දකිනවා. තමන්ට ඇති වෙන මානසික පීඩාව දරා ගැනීමට නොහැකි වීමේදී 'මරණය' ඔවුන් පළමු පියවර සේ දකිනවා. සිය දිවි හානි කර ගැනීම මෙන්ම වෙන කෙනෙකුගේ දිවි නැසීම මේ රටේ සාමාන්‍යකරණිය වී තිබෙන්නේ මේ හේතු නිසාය.
රජයේ ආයතනයක් වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (National Institute of Mental Health, Sri Lanka) පෙරට වඩා ඉතා කාර්යක්ෂම හා නව මානයන්ගෙන් මෙම වෙනස්කම් සිදු කිරීමට උත්සාහ ගන්නා සෙයක් පෙනෙන්නට තිබෙනවා. ඒ පිලිබඳ අගය කළ යුතු අතරම රාජ්‍යය විසින් උපදේශ සේවා මධ්‍යස්ථාන රට පුරා ග්රාමීයව, පාසැල් මට්ටමින්, ආයතනවල ව්‍යාප්ත කිරීම සිදු කළ යුතුව තිබෙනවා.
ජීවිතයේ පීඩන සමඟ සාර්ථකව කටයුතු කිරීමට ළමුන්ට හා යෞවනයන්ට කුසලතා වර්ධනය කිරීමට උදවු කිරීම. -
පෙර සදහන් කළ පරිදි පාසැල් තුළද උපදේශන සේවා ලබා දිය යුතු අතරම ගැටළු නිරාකරණය පිලිබඳ දැනුම පාසැල් මට්ටමින් ලබා දිය යුතු වෙනවා. 2018 වසරේ ශ්‍රී ලංකාවේ වයස 8-20 දක්වා 289 දෙනෙකු (මුළු ගණනින් 9%) සියදිවි නසා ගෙන තිබෙනවා. එබැවින් ශ්‍රී ලංකාව තුළ ළමුන් හා නව යොවුන් වියේ පසුවන්නන්ද වැඩි වශයෙන් සියදිවි නසා ගන්නා බවට මේ දත්ත මඟින් පැහැදිලි වෙනවා.
සියදිවි නසා ගැනීම් ගැන සිතන හෝ සියදිවි නසා ගැනීමට තැත් කළ අයව කල්තියා හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම, කෙටි කාලීන හා දිගු කාලීනව පසු විපරම් සම්බන්ධතා පවත්වා ගැනීම.
මානසික පීඩනයකින් පසුවන පුද්ගලයන් සැමවිටම අපට දුටු පමණින් හඳුනා ගන්නට බැහැ. අප ඕනෑම කෙනෙකු ජීවිතයේ මොන යම් අවස්තාවක හෝ මානසික අවපීඩනයකට/Depression ලක් වී තිබෙනවා. ඔබේ මුහුණට සිනා සී සිටින පුද්ගලයා සිත යටින් දුක් විඳින පුද්ගලයෙකු වන්නට පුළුවන්. ඔවුන් තමන්ට උදවු අවශ්‍ය බව ඔබට ඍජුව හෝ වක්‍රවාකාරයෙන් කියන්නට පුළුවන්. ඒ අවස්ථා හඳුනාගන්න. ඔවුන්ට ඇහුම්කන් දෙන්න. ඔවුන්ව මඟ නොහරින්න.
තවද එක් එක් මිනිසුන්ගේ විවධත්වය නිසා ඔබ ඒ පුද්ගලයන්ට නිතර වේලේ අවමන් කිරීම, විහිළු කිරීම, නින්දාවට පත් කිරීම, කොන් කිරීම, අපහාසයට ලක් කිරීම, වෙනස් කොට සැලකීම ඔබ නොදැනුවත්වම ඒ පුද්ගලයින්ව සියදිවි නසා ගැනීම් තත්ත්වයට පත් කරනවා වන්නට පුළුවන්. (උදා: LGBTIQ ප්‍රජාව, අබාධිත ප්‍රජාව, නිදන්ගත රෝග ඇති ප්‍රජාව, වයෝවෘධ ප්‍රජාව, සමාජ පිළිගැනීමක් නොලබන රැකියා කරන ප්‍රජාව වැනි). මිනිසුන්ගේ විවිධත්වය දකින්න. එයට ගරු කරන්න. අපි හැමෝම වෙනස්. යළි අවධාරණය කරන්නේ උපදේශන සේවා නොමිලේ ලබා ගැනීමට අවස්ථා ලබා දීම මඟින් මෙවන් ප්රජාවන්ටද තම සමාජය මඟින් එල්ලවන මානසික පීඩනය අවම කර ගැනීමට අවස්තාව උදා වෙනවා.
සියදිවි නසාගැනීම් පිළිබඳ වගකිවයුතු වාර්තා කිරීම සහතික කිරීම සඳහා මාධ්‍ය සමඟ කටයුතු කිරීම. -
අවාසනාවකට අප රටේ සියදිවි නසා ගැනීම අවම කිරීමට කෙසේ වෙතත් එය ප්‍රවර්ධනය කිරීමට ජනමාධ්‍ය ප්රමුඛ දායකත්වයක් ලබා දෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වුවද 'ගොසිප්' නොහොත් 'කේලාම්' කලාව අනුගමනය කරමින් සියදිවි නසා ගැනීම් අකුරෙන් අකුර විස්තර කරමින්, ඒවා නාට්‍යමය ස්වරුපයෙන් වාර්තා කරනවා. තවද උපදේශන සේවා හෝ මහජනතාවගේ මානසික සෞඛ්‍ය පිලිබඳ වාර්තා හෝ වැඩසටහන් පළ කරන්නේ නැති තරම්. ඒ වෙනුවට මනස විකෘති කරවන වාර්තා හා වැඩසටහන් බොහෝමයක් පළ කරන්නන්ට මෙම මාධ්‍ය පසුබට වන්නේ නැහැ. නිසි මාධ්‍ය අචාර ධර්ම තිබුනද, ඒවා තවත් වැඩි දියුණු කර මාධ්‍ය ආයතනවලට අනුගනමය කිරීමට බල කළ යුතු කාලය එළැඹ තිබෙනවා. අචාර ධර්ම අනුගමනය නොකරන මාධ්‍ය ප්‍රශ්න කළ යුතුව තිබෙනවා.
️ 2018 සිය දිවි නසා ගැනීම් දත්ත මුලාශ්‍ර - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්
️ මානසික උපදේශ සේවා මධ්‍යස්ථානවල දුරකථන අංක සහ විස්තර
️ 2018 වසරේ ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් දත්ත වාර්තා ඇතුලත් ලිපිය
️ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'මානසික සෞඛ්‍ය දින' වෙබ් අඩවි පිටුව
උපුටා ගැන්ම : දේදුනු සංවාද-Dedunu Sanwada
2019 ඔක්තෝම්බර් 10