මේ සටහන තබන්නේ හිරාන් අබේසේකර වෙනුවෙනි.
මේ අපේ ශ්‍රී ලාංකික රංගන ශිල්පියා මේ දිනවල ලන්ඩනයේ නැෂනල් තියටර් හීදී සුවිශේෂී වේදිකා නාට්‍ය චරිතයකට පණ පොවනවා.
ඒ “හැම්ලට්” වේදිකා නාට්‍ය නිෂ්පාදනයේ ‘හැම්ලට්’ චරිතයය සදහායි.
මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ මීට පෙර මෙම චරිතය නිරූපණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණතම නළුවන් විසින් වීමයි.
පහතින් දැක්වෙන නම් කිහිපය බලන්න එහි දැක්වෙන්නේ මීට පෙර "හැම්ලට්" චරිතය නිරූපණය කළ ප්‍රසිද්ධ චරිත කිහිපයක නාමාවලියයි.
මේ සටහනේ ඔවුන් වේදිකාවේ හෝ සිනමාවේ ජනප්‍රිය උන චරිත වල නමුත් සඳහන් කරලා තියෙනවා.
Sir Ian McKellen (ගැන්ඩල්ෆ්) – 1971 & 2021, UK Tour & Theatre Royal Windsor
Alan Rickman (ස්නේප්) – 1992, Riverside Studios, London
Ralph Fiennes (වෝල්ඩර්මෝට්) – 1995, Almeida Theatre & Broadway
David Tennant (ඩොක්ටර් හූ) – 2008, Royal Shakespeare Company
Benedict Cumberbatch (ශර්ලොක්/ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්) – 2015, Barbican Theatre, London
Andrew Scott (මොරියාටි) – 2017, Almeida & West End
Tom Hiddleston (ලොකී) – 2017, RADA
ඉතින්, ශ්‍රී ලාංකීය රංගන ශිල්පියෙකු බ්‍රිතාන්‍ය රංගනයේ ප්‍රවීණයන් නිරූපණය කළ චරිතයක් ලන්ඩනයේ නැෂනල් තියටර් හීදී (U.K's National Theatre’s Lyttelton Theatre) රඟ දැක්වීම ඉතා සුවිශේෂී අවස්ථාවක් මෙන්ම ලාංකිකයන් ලෙස අපට මහත් ආඩම්බර විය හැකි අවස්ථාවකි.
හිරාන් අබේසේකර පිළිබඳව තවදුරටත් සදහන් කරනවා නම්,
2022 වර්ෂයේ ලන්ඩනයේ ‘Laurence Olivier Awards’ සම්මාන උළෙලේදී හොඳම වේදිකා නාට්‍ය නළුවා වෙනුවෙන් පිරිනැමෙන ‘ලෝරන්ස් ඔලිවියර් ‘ සම්මානය දිනාගනිමින් “මචංලා මං උඹලට ආදරෙයි” යනුවෙන් සිය මවු රට ආදරයෙන් මතකයට නැගූ ශ්‍රී ලාංකිකයා ඔහුයි.
එදා ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහු රඟ පෑ ‘Life of Pi’ වේදිකා නාට්‍යයේ 'Pi' ග් චරිතය නිරූපණය වෙනුවෙන්.
මෙම සම්මානය සැලකෙන්නේ බ්‍රිතාන්‍යයේ වේදිකා නාට්‍ය නළුවෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය ලෙසයි. එමෙන්ම මෙම සම්මානය එදා මෙදා තුර ශ්‍රී ලාංකිකයෙකු වේදිකා නාට්‍ය රංගනය උදෙසා අන්තර්ජාතික තලයේ ලබාගත් ඉහළම සම්මානය ද මෙයයි.
මෙවර ඔහු රංගනයෙන් එක්වන " හැම්ලට්" නාට්‍ය නිෂ්පාදනය නොවැම්බර් 22 දා දක්වා ලන්ඩනයේ නැෂනල් තියටර් හීදී (U.K's National Theatre’s Lyttelton Theatre, London) පැවැත්වෙනවා.
ඉතින්, ජාත්‍යන්තර රංගනය තුළ විශිෂ්ටයෙකු බවට පත් වෙමින් ශ්‍රී ලාංකීය නාමයට අභිමානයක් වූ හිරාන් අබේසේකරට අපගේ උණුසුම් සුබ පැතුම්.











