lan englan tam

සෘතු සංහාරය - (පරිවර්තනය) කරුණාරත්න අමරසිංහ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Chulananda Samaranayake-

නූතන තාක්ෂණයේ වේගවත් දියුණවත් නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වාදෙනු ලැබීමේ වේගයත් හමුවේ අදවන විට මතුව ඇති අදහසක් වනුයේ සාහිත්‍ය පරිවර්තනය යනු අති සරල තාක්ෂණික කාර්යයක් බවයි.

ඒ අනුව තාක්ෂණ මෙවලම්හි පිහිටෙන් සාහිත්‍ය කෘති පරිවර්තනය කළ හැකි බවත් වෙළඳපලට වේගයෙන් එවන් කෘති මුදාහැරීම තුළින් පාඨක අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි බවත් බොහෝ අය කල්පනා කරති. එහෙත් මේ කිසිවකු හෝ කල්පනා නොකරන දෙයක් තිබේ. ඒ සාහිත්‍ය පරිවර්තනය යනු අතිශය සංවේදී කලාපයක් බවත් ඉන් මනුෂ්‍ය සාධකය ඉවත් කිරීම කළ නොහැක්කක් බවත්ය. මේ නව රැල්ල හමුවේ සිදුවිය හැකි ආසන්නතම පලයක් වනුයේ රසවත්භාවය සිඳ කරනු ලබනා වේගී පරිවර්තන මගින් රසිකයා කියවීමේ ලෝකයෙන් පිටමං කිරීමේ අනතුරක් හටගැනීමය.

කරුණාරත්න අමරසිංහයන් විසින් කරන ලද උක්ත පරිවර්තනය යනු සාහිත්‍ය පරිවර්තකයාගේ භූමිකාව එවන් සරල කාර්යයක් නොවන බවට පැහැදිලි සාක්ෂියකි. සාහිත්‍ය පරිවර්තකයකු සතුව කෙතරම් ප්‍රවීනත්වයක් පැවතිය යුතුද යන්නට මේ කෘතිය සාක්ෂි දරයි. සිංහල, පාලි, සංස්කෘත මෙන්ම ඉංග්‍රීසි බසෙහිද ප්‍රවීනයකු වන අමරසිංහයෝ දක්ෂ සන්නිවේදකයෙක්ද වෙති. ඔහුගේ කථනය මෙන්ම ලේඛණයද ව්‍යක්තය, සරුය, ඇවැසි තන්හී උපහාසය මෙන්ම හාස්‍යයද නොඅඩුය. එහෙයින් ඔහු හා කතා බහේ යෙදීම මෙන්ම ඔහු විසින් රචිත ලේඛන කියවීමද සුන්දර අත්දැකීමකි.

 

 

Untitled design 2024 09 23T141052.259

 

ඔහු සෘතු සංහාර කෘතිය පරිවර්තනය කරනුයේ කෘති ගණනාවක්ම පරිශීලනය කිරීමෙන් අනතුරුවය.

‘කවිකලගුරු කාලිදාසයන්ගේ ‘සෘතුසංහාර “කාව්‍යය මවිසින් සිංහල පද්‍යයට නගන ලද්දේ එහි සිංහල හා ඉංග්‍රීසි පදගතාර්ථතසන්න දෙකකට හා සිංහල පද්‍ය පරිවර්තනයකට අයත් මුල් සංස්කෘත ශ්ලෝකාවලී තුනම ගෙන ඒවා එකිනෙක සසඳා බලමිනි.’

ආමුඛයෙහි ඔහු කරන මේ සඳහන තමන් අතගසනා කාර්යය කෙතරම් භාරදූර එමෙන්ම අසීරු එකක්ද යන්න පිලිබඳව පරිවර්තක තුළ වන අවබෝධය කියාපායි. සාහිත්‍ය පරිවර්තකයෙකුට මේ සැලකිලිමත්බව මෙන්ම උද්‍යෝගීබවද අත්‍යාවශ්‍යය. විශේෂයෙන්ම දැනටමත් සිංහලෙන්ද පරිවර්තන කිහිපයක්ම ඇති, ලෝකය පුරාම දැඩි අවධානයට සහ පාඨක ප්‍රසාදයට පත්ව ඇති, ලොව විවිධ භාෂාවන්ට පරිවර්තනයව ඇති කෘතියක් යළි සිංහලට නැගීම යනු අභියෝගයකි. අමරසිංහයෝ ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දී සිටිති.

සර්ග සයකින් සමන්විත, ශෘංගාර රසය නොඅඩුව ගැබ්වූ මෙවන් කෘතියක් පරිවර්තනය කිරීම පරිවර්තකයාගේ භාෂා ඥාණය මෙන්ම නිර්මාණශීලී බවද පරීක්ෂාවට ලක් කරනු ලබනා බරපතල ව්‍යායාමයකි. පෙම්වතා තම සෙනෙහෙවන්තියට එක් එක් සෘතුවෙහි මනරම්බව විදහමින් කරනා විස්තර කථනයන්ගෙන් සමන්විත මේ කෘතිය ගිම්හාන, වස්සාන, ශරත්, හේමන්ත, ශිශිර සහ වසත් යන සෘතු හරහා සිදුවන මනනන්දනීය අනුරාගී චාරිකාවකි.

මේ කෘතියෙහි කැපී පෙනෙනම ලක්ෂණය වනුයේ ඒ තුළ ගැබ්වන පුරුෂමූලික දෘෂ්ටියයි. පුරුෂ මනසෙහි සිත්තම්ව ඇති ස්ත්‍රිය මෙහි නිරූපණය වනුයේ ස්ත්‍රිය යනු පිරිමියාගේ පවස නිවනා උල්පතක් වැනිය යන අදහසිනි. මේ කෘතිය පුරාම දක්නට ලැබෙනුයේ ස්ත්‍රිය යනු පිරිමියාගේ අවශ්‍යතා සහ වින්දන උදෙසා නිර් මිත එකියකය යන අදහසට බර තැබෙන ආකාරයටය.

 

ගෑ ලතු දියෙන් රතු පැහැ ගැන්වී දිළෙන

සුසිනිඳු දඟ යුවළ වට නූපුර බැඳුණ

තැබු තැබු පියවරට හසුනගෙ නද නැගෙන

නිතඹිනි දෙපා දැක දන රති මත වැඩිණ

 

ගාලා මුදු සඳුන් අඟරා කලල්ලා

හිම මුතු හරින් සැදි පියයුරු ළකල්ලා

පුළුලු උකුළ තල බැඳි රන් මෙවුල්ලා

දුටු දන මන නොවෙතිදෝ මද විකල්ලා

 

පෙම්බරයා රස විඳි තම ගත බලලා

තුටුවන ලියකි ඇගෙ තොල් දතගින් බිඳිලා

දෑසද වැසේ නිල්වන් කියඹුව සැලිලා

වසනට නිය ලකුණු ඇය දුහුලක් ඇඟලා

මේ කාව්‍ය කෘතිය පුරාම දක්නට ලැබෙනා වෙසෙස් ලකුණ වනුයේ මෙකී පුරුෂමූලික දැක්මමය. ස්ත්‍රිය යනු පුරුෂ ආලිංගනයේ විකසිත වන වස්තුවක් ලෙසත්, ඇයගේ සංතෘප්තිය මුළුමනින්ම පුරුෂයාගේ පෞරුෂය මත යැපෙන බවත් හඟවන නෙක ඉඟි මේ කවි පුරා දැකිය හැකිය. මේ කාලාන්තරයක් තිස්සේ ස්ත්‍රී පුරුෂ සබඳතාවන් සම්බන්ධයෙන් පවතින සම්ප්‍රදායික අදහසය. කාලිදාසයන් මේ අදහස තදින් සිත දරා රචනා කළ මේ කවි පුරා අපට හමුවනුයේ ස්ත්‍රියක සංතෘප්ත කිරීමේ කාර්යය උරුමයෙන් පවරාගත් පිරිමියකුගේ දැක්මයි. එහෙයින්ම මේ කවි නූතන ලෝකයේ මානව සබඳතා සම්බන්ධ සංවාදය තුළ යළි සාකච්ඡාවට ගත යුතුව තිබේ. ස්ත්‍රිය පුරුෂයාගේ මනදොල සපුරාලීම පිණිස වන පාරිභෝගික භාණ්ඩයකි යන සම්ප්‍රදායික අදහස් බලකොටු බිඳලිය යුතුව තිබේ.

පරිවර්තක ලෙස අමරසිංහයෝ මුල් කෘතියෙහි රසය නොනසා එයට සාධාරණය ඉෂ්ඨ කරමින් සිංහල පරිවර්තනය සිදුකරති. සංස්කෘත අධ්‍යයනය අභාවයට යමින් පවත්නා අද දවසේ එහෙයින් එය පැසසුම් කටයුතුය. ඔහු මුල් කෘතියට සාධාරණය ඉෂ්ඨ කර ඇති බවට සාක්ෂි සපයන පෙරවදනක් ලියන්නේද සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රමාණික උගතකු වන සමන් චන්ද්‍ර රණසිංහ සුධීමතා ය.

 

පරිවර්තනයෙහි ලා අතිශය අසීරුතම පාර්ශවය වනුයේ කාව්‍ය පරිවර්තනයයි. කවියෙහි මුල් අදහස පරිවර්තනය කළ හැකි වුවද මුල් කවියෙහි කාව්‍යාත්මක බව රැකීම ලෙහෙසි නැත. මේ අභියෝගය නිසාම බොහෝ පරිවර්තකයෝ කාව්‍ය පරිවර්තනයට මැලි වෙති. එහෙත් අමරසිංහයෝ ඊට අත ගසති. ඒ කවියකු සතු කුසලතාවද ඔහු සතු බැවිනි. භාෂා දැනුම සමගින් සිය නිර්මාණශීලීත්වයද මුහු කරගන්නා ඔහු අපට සෘතුසංහාරයේ සංස්කෘත කාව්‍යය කියවන්නට නොහැකි අඩුව සම්පූර්ණ කර දෙති. සැබැවින්ම පරිවර්තකයාගේ කාර්යභාරය වන්නේද එයමය. මේ පරිශ්‍රමය වෙනුවෙන් අප පරිවර්තකයා ඇගයුමට ලක් කළ යුතුම වන්නේ එහෙයිනි.

 

Karunarathne Amarasinghe largeප්‍රවීණ ලේඛක කරුණාරත්න අමරසිංහ  (සේයාරුව - නිශ්ශංක විජේරත්න ලබා ගනු ලැබූවකි)

 

සෘතු වෙනස්වීමත් මිනිස් හැඟුම්, භාවයන්හී ඇතිවන චලනයන් සමග පෙලට තබමින් රචිත සෘතුසංහාරය කෘතිය සිංහලට පරිවර්තනය කිරීම මගින් කරුණාරත්න අමරසිංහයෝ තමන් කල යුතුවම තිබූ කාර්යයක් සමාප්ත කරති. ඔහු අයත්වනුයේ සාහිත්‍ය ඩයිනෝසරයන්ගේ කුලකයටය. ඉදින් මේ ඩයිනෝසරයාගේ මැදිහත්වීම කෙසේ නම් නොදුටු සේ සිටින්නද?

 

 

327450950 1606072656575347 1180435109958596956 n 1සටහන - චූලානන්ද සමරනායක

(ප්‍රවීණ ග්‍රන්ථ පරිවර්තක)

 

 

 

(මෙම සටහන 'Chulananda Samaranayake' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom