lan englan tam

කලාවේ දිශාව තීරණය කරන සම්මාන!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහතින් දැක්වෙන්නේ නිමාවූ 30 වන සුමති සම්මාන උළෙලේ (2025) සමරු කලාපයේ “කලාවේ දිශාව තීරණය කරන සම්මාන” යන මැයෙන් පළවූ විශ්ලේෂණත්මක ලිපියකි. මෙම ලිපිය සම්පාදනය කරන ලද්දේ මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක ලක්මිණ රණසිංහ විසිනි.

30 වන සුමති සම්මාන උළෙල නිමා වුවද,

සම්මාන උළෙල හා නව ප්‍රවණතා, නිර්ණායක, නව යෝජනා.. පිළිබඳව විමසා බැලෙන මෙම ලිපිය මගින් ඉදිරි සම්මාන උළෙල සදහා ද වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරන බැවින් එය මෙසේ පළ කරමි..

 

සම්මාන යනු, ප්‍රේක්ෂකයා සහ කලා නිර්මාණය අතර ඇති ගුණාත්මක සම්බන්ධය වෙනුවෙන් බලය ලත් නියෝජිතයෙක්ගෙන් ලැබෙන ප්‍රමිති සහතිකයකි. ‍තවද, සම්මාන යනු, කලාව නම් වූ විශාල රුවල් නෞකාව ගමන් කළයුතු දිශාව තීරණය කරනු ලබන දැවැත්ත රුවලකි. ඇතැම් විටෙක කලාවේ සහ පුද්ගලයින්ගේ ඉරණම් දිශාව පවා සම්මාන විසින් තීරණය කෙරේ.

පොදුවේ බැලූ කල සම්මාන උළෙලක විශිෂ්ටත්වය තීරණය කරනු ලබන ප්‍රධාන නිර්ණායක 6ක් හඳුනාගත හැකියි.

1. ජූරියේ ස්වභාවය සහ ජූරි තීරණවල ගුණාත්මක බව

2. විධිමත්, යාවත්කාලීන වූ සම්මාන කාණ්ඩ සහ නිර්ණායක

3. ක්ෂේත්‍රය තුළ සහ බාහිර සමාජයේ ඇති පිළිගැනීම

4. සමාජයට සහ ක්ෂේත්‍රයට කරනු ලබන සාධනීය බලපෑම

5. උත්කර්ෂවත්ව සහ සාර්ථක ලෙස සංවිධානය කිරීම

6. පැවැත්වූ වාර ගණන සහ අඛණ්ඩතාව

 

ජැක්සන් ඇන්තනී නම් දැවැන්ත කලාකරුවා සම්මානයක් ලැබූ මොහොතකදී වේදිකාව මත සිටිමින් සඳහන් කළ ප්‍රකාශයක් මෙසේයි; “සම්මානයක් කියන්නෙ උත්තේජකයක්! තහනම් නොවන උත්තේජකයක්!!”. ඒ විශිෂ්ට කලාකරුවා සඳහන් කළ මේ උත්තේජකය නිවැරදි මාත්‍රාවට, නිවැරදි වේලාවට, නිවැරදි ආකාරයට, නිවැරදි දේ වෙනුවෙන්, නිවැරදි පුද්ගලයාට ලබා දීම සම්මාන ජූරි සතු අත්හළ නොහැකි වගකීමකි. එමෙන්ම මේ තහනම් නොවන උත්තේජකය නිවැරදි මාත්‍රාවට භාවිත කිරීමටත් සම්මාන දිනාගත් ජයග්‍රාහකයින් තරයේ වගබලාගත යුතුය. මන්දයත් මේ ලැබෙන්නේ ‘වසරේ’ හොඳම සම්මානය මිස, ‘සසරේ’ හොඳම සම්මානය නොවන බැවිනි.

සම්මාන උළෙලක හදවත වන්නේ ජූරියයි. සම්මාන උළෙලක මස්තිෂ්කය වන්නේ ද ජූරියයි. සැබවින්ම සම්මාන උළෙල යනු ‘ජූරි තීරණයි’. යම් සම්මානයක් විෂයෙහිලා ජූරිය විසින් ලබා දෙන එක් කුඩා වැරදි තීරණයක් හෝ වැරදි නිර්ණායකයක් හේතුවෙන් නෞකාවේ රුවල වැරදි දිශාවකට යොමු වී සම්මාන උළෙලේ විශ්වසනීයත්වය බිඳ වැටීමේ බරපතල අවධානමක් ඇත. එම නිසා ජූරි තීරණවල සාපේක්ෂ නිවැරදි බව ඉතා වැදගත් වේ.

කෙසේ වුවත් ජූරි තීරණ පිළිබඳව විවිධ පුද්ගලයින්ගේ චින්තන පරාසයට සාපේක්ෂව විවිධ වූ අදහස් තිබීම සාමාන්‍ය දෙයකි. මන්දයත් ගුණාත්මක ගණනය කිරීම යනු ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂ කරුණක් වන බැවිනි.

සම්මාන ජූරියක් විසින් සලකා බලනුයේ යම් කලාකරුවෙක් හෝ තාක්ෂණික ශිල්පියෙක් තමන්ගේ හැකියාව තමන් විශ්වාස කරනු ලබන දිශාවට මෙහෙයවීමෙන් අත්කරගත් සාර්ථකත්වයේ ප්‍රමිතියයි. කලාව තුළ අපි ‘ගමන් කළේ කුමන දිශාවකටද?, ගමන් කරමින් සිටින්නේ කුමන දිශාවකටද? සහ ගමන් කළ යුත්තේ කුමන දිශාවකටද?’ යන ප්‍රශ්නවලට ප්‍රමිතිගත පිළිතුරු සම්මානවල අන්තර්ගත වේ. තවද, කලාවේ උපරිම ප්‍රමිතියට සෘජුව සම්මාන ලැබෙද්දි, කලාවේ අවම ප්‍රමිතිය ද ඉහළට එසවීම සඳහා මෙම සම්මාන වක්‍රව දායක වේ.

කලාවේ දැනට පවතින ගුණාත්මක බව අනුමත කරනවාට අමතරව, ‘නව ප්‍රවණතා’ දිරිගැන්වීම සහ ඇගයීමත් සම්මාන ලබා දීම මඟින් සිදුකළ යුතුය. මේ සඳහා සුමති ටෙලි සම්මාන ඇසුරෙන් ගත හැකි ආසන්නතම උදාහරණයක් ලෙස, පසුගිය වසරේදී මිනි සීරීස් ටෙලිනාට්‍ය සංකල්පය සඳහා සම්මාන සහ ඇගයීම් හිමිවීම හැඳින්විය හැකියි. එම ඇගයීමෙන් පසුව අති විශිෂ්ට නිර්මාණාත්මක ප්‍රමිතියෙන් යුත් අඩු කොටස් ගණනක ටෙලි නිර්මාණ රැසක් බිහි විය. ‘සම්මාන මඟින් කලාවේ දිශාව තීරණය කරනු ඇත’ යන අදහසට මෙය කදිම නිදසුනකි.

සම්මාන ලබාදීමේදී ඒ සඳහා වන නිර්ණායක විධිමත්ව දක්වා තිබීම ක්ෂේත්‍රයේ ප්‍රමිතිය වෙනුවෙන් සිදුකළ හැකි තවත් ප්‍රබල දෙයකි. එවිට කලාකරුවන්ට නිශ්චිත ඉලක්කයක් හිමිවේ. විශේෂයෙන්ම මෙය නවක ශිල්පීන්ට ඉතා වැදගත් වේ.

සියලුම ජූරි සභිකයින් සහ සංවිධායකයින් ලෝකයේ පවතින නව ප්‍රවනතා මෙන්ම දේශීයත්වයට ගැළපෙන නව සංකල්ප හඳුනාගනිමින් දේශීය සම්මාන උළෙලවල් වඩාත් නූතනවාදී කළ යුතුය. එය අනාගත කලාව උදෙසා කරනු ලබන දැවැන්ත ආයෝජනයකි.

ඉදිරි වසරවලදී ටෙලිනාට්‍ය සඳහා වන, ‘හොඳම නාමකරනය, හොඳම නාමකරන නිර්මාණය (Best title design), හොඳම නළු-නිළිවරණය (Best casting), හොඳම පූර්ව ප්‍රචාරක පටය’ යන අංශ සඳහා ද සම්මාන ලබා දීමට හැකි නම් එය මෙරට සම්මාන උළෙල විෂයෙහිලා නූතනවාදී පියවරක් ලෙස හැඳින්විය හැකියි. ලෝක මට්ටමින් ගත් කළ 2025 සිට ජාත්‍යන්තර ඔස්කා සම්මාන උළෙලේ ද ‘හොඳම නළු-නිළිවරණය’ සඳහා සම්මානයක් අලුතින් හඳුන්වා දී ඇත.

 

Sumathi 2025 image cover

 

2024 ටෙලිනාට්‍ය වෙනුවෙන් ලබාදෙන සුමති ටෙලි සම්මානයන්හී ප්‍රධාන අංශ කිහිපයක් වන ‘හොඳම නිළිය, හොඳම තිරපිටපත, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම ටෙලිනාට්‍ය’ යන අංශ සඳහා වන නිර්දේශ නාම මාගේ පෞද්ගලික නිරීක්ෂණයට අනුව 100%ක් නිවැරදිය. එය මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේ මා දකින අතිශය සාධනීය ලක්ෂණයකි.

පෙර වර්ෂයන්ට වඩා 2025 වර්ෂයේ සුමති සම්මාන අතිශය තරගකාරී බව කිව යුතුමය. 2024 දී විකාශය අවසන් වූ Take Care, වියළි, බැක්සයිඩ්, තප්පරයක් දෙන්න, සුසුම් රස්තියාදුව, චණ්ඩි කුමාරිහාමි සහ මී මැස්සා යන විශිෂ්ට ටෙලි නිර්මාණ 7 අතරින් 6ක්ම මෙවර තරගයට ඇතුළත් වීම එකී තරගකාරී බව තීව්‍ර කිරීමේ තීරණාත්මක සාධකය වී තිබෙන බව මාගේ නිරීක්ෂණයයි.

හුදෙකලාව තනිව කරන තරගයකින් හෝ දුර්වලයින් සමග කරන තරගයකින් ලබාගන්නා ජයග්‍රහණයට වඩා අතිශය තියුණු, දැඩි තරගකාරීත්වයකින් යුත් ප්‍රබලයින් සමග උරෙනුර ගැටෙමින් ලබාගන්නා ජයග්‍රහණයේ වටිනාකම ඉතා ඉහළය. ඒ අනුව මෙවර සුමති සම්මානයේ වටිනාකම ද ඉතා ඉහළ මට්ටමක ඇති බව කිව යුතුමය.

නිදසුනක් ලෙස මෙවර ‘හොඳම නිළිය’ සම්මාන අංශය සඳහා ඇත්තේ අන් කවරදාකවත් නොතිබුනු තීරණාත්මක තරගයකි. මෙහිදී රෙබෙකා දිල්රුක්ෂි, චාන්දනී සෙනවිරත්න, තරින්දි ප්‍රනාන්දු සහ දිනක්ෂි ප්‍රියසාද් යන ශිල්පිණියන් ස්වකීය රංගනයන් කරට කර ඉදිරිපත් කර තිබීමත්, පිටපත සහ අධ්‍යක්ෂණයෙන් අදාළ චරිත හතරම අති විශිෂ්ට පරාසයක ගොඩනගා තිබීමත් මේ තරගකාරීත්වය තීව්‍ර කිරීමට බලපෑ ප්‍රධානතම සාධකයයි. හොඳම නිළිය අංශයට අදාළව වඩාත් නිවැරදිම නිර්දේශ නාම ඉතාමත් බුද්ධිමත්ව හඳුනාගැනීම සම්බන්ධයෙන් ජූරියට ගෞරවනීය ස්තූතිය හිමිවිය යුතුමය. මෙම අංශයෙන් නිර්දේශ නාම 3ක් වෙනුවට නිර්දේශ නාම 4ක් ඉදිරිපත් කිරීමට ගත් ඉතා නිවැරදි ජූරි තීරණය තුළින්ද ප්‍රකට වනුයේ මෙම අංශයේ ඇති අතිශය තරගකාරීත්වයයි.

අවසාන වශයෙන්, මෙවර නිර්දේශ වූ සහ ජයග්‍රහණය කළ සියලුම දෙනාගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරමි. ඔබ නිර්දේශ වූ සම්මාන අංශයට, මීට පෙර වසරවලදී නිර්දේශ වූයේ කවුරුන්ද යන්න සොයා බලන්න. එමෙන්ම, ඔබගේ සම්මාන අංශයෙන් මීට පෙර වසරවලදී මෙම සම්මානය ස්පර්ෂ කර ඇත්තේ කවුරුන්ද යන්නත් සොයා බලන්න.

ඔබ මේ ස්පර්ෂ කරනුයේ අද්විතිය වූද අති දැවැන්ත වූද අසීමිත දක්ෂතාවලින් ප්‍රතිභාපූර්ණ වූද මහා නිර්මාණවේදීන් රැසකගේ ස්පර්ෂයේ පහසින් ගෞරවනීය වූ ‘සුමති ටෙලි සම්මානයයි’. එබැවින් ඔබ මේ සම්මානය ස්පර්ෂ කරනවාත් සමගම, ගුණාත්මක සහ ජනගත ප්‍රමිතියෙන් යුත් කලාවක් ගොඩනැගීමේ අසීමිත වගකීම ද ඔබට හිමිවන බව තරයේ මතක තබාගත යුතුමය.

 

217650699 4757575867605043 4807348825720843340 n 1

ලක්මිණ රණසිංහ

මාධ්‍ය සහ නිර්මාණ විශ්ලේෂක

Creative Group Head

(Publicis Sri Lanka)

2025 ජූලි 12

kemadasa

shungara

Back to top
Go to bottom