lan englan tam

“ඊස්ට්‍රජන්”(කෙටිකතා සංග්‍රහය) - සුරේඛා සමරසේන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- Uditha Alahakoon -

ස්ත්‍රී ආශාව විවිධ අවස්ථාවල, විවිධ පරිසරයන් හා විවිධ සමාජ පංති තුළ වර නැගෙනුයේ එකම ආකාරයට නොවේ.

එහෙත් එය දෘශ්‍යමානයට පමණක් සීමාවන වෙනසකි. සැබැවින්ම මෙකී ස්ත්‍රී ආශාවේ නිහඬ රෝගලක්ෂණය බොහෝවිට සමානය. ලිංගිකත්වය එහි පදනමෙහි පැවතියද එය ඊටම ලඝු කළ නොහැකිය. එය ලිංගිකාශාව ඉක්මවා චිත්තවේගී, නිර්මාණාත්මක සහ අධ්‍යාත්මික සාක්ෂාත්කරණය සඳහා වූ ගැඹුරු අපේක්ෂාවක් දක්වා ව්‍යාප්ත වේ. ස්ත්‍රී ආශාව යනු බාහිර පිලිඹිබුවකට වඩා සත්තාවේ සහ සංතෘප්තියේ අභ්‍යන්තර හැඟීමක වගාදිගාවීමක් බව නිරූපණය කරන කෙටිකතා සංග්‍රහයක් ලෙස සුරේඛා සමරසේනගේ 'ඊස්ට්‍රජන්' හැඳින්විය හැකිය.

ස්වකීය සකලවිධ ආශාවන් වැලි සහ සිමෙන්ති තුළ (නිවසක් තැනීම) දියව යාමට ඉඩදෙන විවාහක යුවළක් ද , 'කොටු පැනීම ' හරහා ජීවිතයේ අතෘප්තිකර බව දුරු කර ගැනීමට තැත් කරන ස්ත්‍රියක්ද, සම්ප්‍රදාය හා සංස්කෘතිය නම් බාධකය හමුවේ ස්වකීය ආශාව සඟවා ගැනීමට සිදුවන ස්ත්‍රියක්ද, මහද්වීපික සිතීම හා දූපත්මය ක්‍රියාව අතර දෝලනය වන අතීරණාත්මක ගැහැනියයක්ද අනිශ්චිත ආශාවකින් පෙලෙන කාන්තාවක්ද මෙම කෙටිකතාවලදී පාඨකයන්ට මුණගැසේ.

මෙම කෙටිකතා කියවන පාඨකයෙකු හට මුලින්ම හැඟීයනුයේ මේවා අප දෛනිකව අත්දකින , අසන දකින සිදුවීම් දාමයක් ලෙසය. එහෙත් මෙම සාමාන්‍ය දිනචරියාගත බවට සුරේඛාමය ප්‍රබන්ධ තාක්ෂණය මුසුවීමෙන් විවරවන තෙවන අවකාශය අතිශය අපූර්වත්වයෙන් යුක්තය. මේ අනුව මෙම සාමාන්‍ය සිදුවීම්වල දෘශ්‍යමානය විනිවිද අදෘශ්‍යමාන හැඟීම් පද්ධතියක් වෙත පිවිසීමේ මාවත නිර්මාණය වේ. මෙහිදී කතුවරිය ස්ත්‍රීත්වය පිළිබඳ තේමාව විනිවිදීමට අගනාගරික, අර්ධනාගරික සහ ග්‍රාමීය මෙන්ම ඉහළ ,මැද සහ පහළ පාංතික වශයෙන් විවිධත්වයෙන් යුතු පසුබිම් යොදා ගනී.මෙම සමහර ස්ත්‍රීන්ට පිරිමි අපේක්ෂාවලට යටත්ව ජීවත්වීමට සිදුවේ. එහෙයින් කුටුම්බය තුළ එවන් ස්ත්‍රීන්ගේ ආශාව අවතැන් වේ. ඇතැම් විට ස්වකීය ආශාවේ ලෝකය ඔවුනට අභිමුඛ වන්නේ කුටුම්බයෙන් විතැන් වූ විටය. තවත් කෙනෙකුට සංස්කෘතියේ සහ සම්ප්‍රදායේ බැරි බර ආශාවේ අඩවිය තහනම් කලාපයක් බවට පත් කරයි.

 

 

මෙහි ඇතුළත් කෙටිකතා නම් කිරීම සඳහා සුරේඛා භාවිත කරන යෙදුම් හැඟවුම්කරණ ගුණයෙන් අනූනය. වැලි සිමෙන්ති , තොරණක්, පොට්ටු , වංකගිරිය ඊට නිදසුන් වේ. මේ අතරින් තොරණක් කෙටිකතාව ඇය ඉදිරිපත් කරන්නේ තොරණ විස්තරයක ආකෘතියෙනි. එක් අතකින් තොරණ ආගමික හැඟවුමකින් යුක්තය. අනෙක් අතින් මෙහි ප්‍රධාන චරිතයේ ' කොටු පැනීම' විදහා දැක්වෙනුයේ තොර⁣ණේ කොටුවලට අනුරූපීවය. එය කෙටිකතාවක ආකෘතිය දෘෂ්ටිවාදීව කෙතරම් ප්‍රබලද යන්න සනාථ කරන අවස්ථාවකි. පොට්ටු කෙටිකතාවේ ප්‍රධාන චරිතය ද කණ්ණාඩියකට අභිමුඛ වන සෑම විටකදී ම ඒ සමග සංවාදයේ යෙදෙයි. එය ඇයගේ අවිඥානය (ආශාව) සමඟ කරන කතාබහක ස්වරූපය ගනී. මෙහිදී ද අන්තර්ගතයට වඩා දෘෂ්ටිවාදීව සවිමත් තැනක ආකෘතිය පිහිටුවීමට කතුවරිය සමත් වේ.

සුරේඛා 'ඊස්ට්‍රජන්' කෙටිකතා සංග්‍රහය හරහා ස්ත්‍රී ආශාව සහ පිරිමි අපේක්ෂාව දෙතැනක ස්ථානගත කරමින් එකී ද්විත්වය අතර පවත්නා සංකීර්ණ දයලෙක්තිකය නිරාවරණය කිරීමට උත්සාහ කරයි. එය නිසැකවම ස්ත්‍රී ආශාවේ නිහඬ රෝගලක්ෂණය දැක ගැනීමටත් විඳ ගැනීමටත් පාඨකයාට අවකාශ සලසා දෙන පරිකල්පනාත්මක ප්‍රයත්නයකි.

 

248271087 1391720307910607 1730765699439088963 n

සටහන - උදිත අලහකෝන්

( ලේඛක හා ග්‍රන්ථ පරිවර්තක)

(මෙම සටහන 'Uditha Alahakoon' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

shungara

Back to top
Go to bottom