දැයෙන් සමුගත් ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මෙනෙවියගේ අවසන් කටයුතු ඊයේ (29) දිනයේ බණ්ඩාරගමදී සිදු කෙරිණි.
ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රි විජේසිංහයන් සහ ප්‍රවීන ලේඛක චූලානන්ද සමරනායකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූ අතර අවසන් කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කළේ බණ්ඩාරගම ප්‍රදේශීය සභාවයි.
කෘතහස්ත ලේඛිකා සෝමා ජයකොඩි විසින් ලාංකීය නවකතා ක්ෂේත්‍රය, ළමා සහිත්‍ය, ගුවන් විදුලි නාට්‍ය වැනි ක්ෂේත්‍ර රැසකටම ලබා දුන් දායකත්වය අති මහත්.
ඇය නික්ම ගියද ඇය විසින් දැයට දායාද කළ එම කෘතීන් සම්භාරය තුළින් ඇය පාඨක හදවත් තුළ සදා ජීවමාන වනු ඇති.
මතු දැක්වෙන්නේ නික්මයාමට මසකට පෙර ඇයගේ අත් අකුරින් තැබූ සටහනකි.
සිය දිවි ගමනේ අවසන් සමයේද ජීවිතය පිළිබඳව කොතරම් ජීවිතාවබෝධයකින් ඇය සිටියාද යන්න මෙම සටහන සාක්ෂී දරනවා නොවේද

යා යුතුයි සිතෙන විට
ජීවිතය සිනාසෙයි
දෙපා තැබූ මහපොළොව
ආයුබෝවන් කියයි
සිහිල් මුදු මද පවන
පවන් සලමින් සිටියි
සිත දිය බිඳු පවා
යථාර්ථය රැගෙන එයි
ඉතින් යනවා මිසක්
කුමට ආපසු හැරෙන්
සුවඳ දුන් සිනාමල්
පෙති පරව බිම වැටෙයි.
(ඉහත සටහනේ ඡායාරූප ‘Chulananda Samaranayaka’ ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.)
















