වෙසක් කූඩුවක් හැදීම යනු හුදු ආමිස පූජාවක් පමණක් නොවෙයි. එහි ගැඹුරු ආධ්‍යාත්මික ඉගැන්වීමක් තියෙනවා. අද කාලේ නෙලුම් මල්, තරු විතරක් නෙමේ ගුවන් යානා, නැව් වගේ වෙසක් කූඩු හැදුවත්, නියම වෙසක් කූඩුව තමයි "අටපට්ටම"
අටපට්ටමක් හදන්නේ පුංචි දරුවන් උදෙසාමයි. පුංචි දරුවන්ට කුඩා කාලයේදීම අනිත්‍යය මතක් කර දීම එහි අරමුණ බවයි සැලකෙන්නේ.
වඩාත් විචිත්‍ර ආකාරයෙන් කොළ එකතු කරලා එය හැදීමෙන් පුංචි දරුවන් ඒකට ඉතාමත් ඇලුම් කරනවා. තියෙන ලස්සන නිසාම පුංචි දරුවන් අටපට්ටම තමන්ට "ලෝකයක් වටින දෙයක්" ලෙස සලකනවා. එයට අපි සවි කරන්නේ ඉටිපන්දමක් පමණයි. එසේම එය නිවසෙන් බැහැරව සවි කරනවා.
මෙන්න දැන් අටපට්ටමේ ගැඹුරුතම ඉගැන්වීම.
අටපට්ටම හදන්නේ ත්‍රිකෝණාකාර කොටස් (පට්ටම්) 8 ක් එකතු කිරීමෙන්. අටපට්ටම යනු පුංචි දරුවෙක්ට ලෝකයක් වටින දෙයක් කියල මම මුලදී කිව්වානෙ. ඒ අනුව ලෝකය සෑදී තියෙන්නේ ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංශා, සැප, දුක් යන කොටස් 8 නිසා තමයි කියලයි පට්ටම් 8 න් පෙන්වා දෙන්නේ.
එම ත්‍රිකෝණකාර කොටස් 8 එක හා සමානව නොතිබුණොත් අටපට්ටම ඇද වෙනවා. අන්න ඒ වගේ ජීවිතයේදී අප අත් විඳින අටලෝ දහමෙන් එක් පාර්ශවයකට වැඩිපුර නැඹුරු වුවහොත් ජීවිතේ සමබර නොවන බවකුයි ඉගැන්වෙන්නේ.
අටපට්ටම මැද ඉටිපන්දමක් සවි කිරීමට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ අපගේ සිත පහන් සිලකට උපමා කර තිබීම. පහන් දැල්ල නිසා අට පට්ටම ආළෝකමත් වන්නේ යම් සේද, එසේම ප්‍රභාමත් සිත නිසා අවට ලෝකය ආළෝකමත් වෙනවා.
වෙසක් කූඩුවේ ලස්සන ඇති වෙන්නේ එහි ඉටිපන්දමේ ආළෝකය හොඳින් ලැබුණොත් පමණයි. ඒ වගේම අපේ ලෝකය ලස්සන වෙන්නේ සිත ප්‍රභාමත් වුණොත් පමණයි. සිත ප්‍රභාමත් වෙනවා කියන්නේ සිතේ ද්වේශය අඩු කරලා කරුණාව ඇති කර ගැනීම.
වෙසක් කූඩුව එළියෙන් සවි කිරීමෙන් සුළඟ නිසා එහි ඉටිපන්දම් දැල්ල ඕනෑම මොහොතක නිවී යා හැකියි. අන්න ඒ වගේ අපේ ජීවිතයත් අනිත්‍යයි.
ඉටිපන්දම් දැල්ල අටපට්ටමට ළං වුණොත් අටපට්ටම ගිණි ගන්නවා. අන්න ඒ වගේම සිත අට ලෝ දහමේ ඇලෙන්න ගියොත්, ජීවිතය විනාශ වෙන බවත් මින් ඉගැන්වෙනවා. ඒ අනුව අටලෝ දහමේ ඇලී ගැලී නොගොස් මැදහත්ව සිත තබා ගැනීමේ වටිනාකම මින් පැහැදිළි කෙරෙනවා.
වෙසක් කූඩුවේ රැළි වැඩි වෙන තරමට හුළඟ බදනවාත් වැඩියි, එවිට කූඩුව අසමබර වී ඉටිපන්දම වැටී කූඩුව ගිණි ගැනීමේ සම්භාවිතාවය වැඩියි. අන්න ඒ වගේ ජීවිතයේ විච්චූරන වැඩි වෙන තරමට "උපාදානයන්" (ඇලීම්) ඇති වෙනවාත් වැඩියි. එවිට ජීවිතය අසමබර වී ජීවිතයේ විනාශයට පත් වීමේ සම්භාවිතාවය වැඩි බවයි ඉන් ඉගැන්වෙන්නේ.
"එතේව නත්වා සතිමා සුමේධෝ
අවෙක්ඛති විපරිනාම ධම්මේ
ඉට්ඨස්ස ධම්මා න මතෙන්ති චිත්තං
අනිට්ඨ තෙ නො පටිඝාත මේ තී"
මනා සිහිබුද්ධිය ඇති නැණවතෙක් වටින් විට වෙනස් වන ස්වභාවය ඇති මේ අටලෝ දහම තේරුම් ගනී නම් ඔහු ගේ සිතෙහි තමන් කැමැති වන්නා වු දේ පැමිණීමෙන් උදම් බවක් හෝ, අරුචි දේ පැමිණීමෙන් පසුබෑමක් හෝ දොම්නසක් පහළ නොවිය යුත්තාහ.
- Buddhist-