-Udithe Kahadawaarachchi-
ටිකට්පතක මිලෙහි සාපේක්ෂ වැඩිවීම හේතුකොට ගෙන මෑත කාලීන ඇතැම් දේශීය චිත්‍රපට ආදායම් වාර්තා බිඳලමින් තිරගත වුවද, ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රේක්ෂක මිලියනයේ කඩයිම පසුකිරීමට සමත් වූ අවසාන චිත්‍රපටය වන්නේ 2018 වසරේ තිරගත වූ සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ, ප්‍රේක්ෂකයින් දස ලක්ෂ තිස් පස් දෙනෙකු (1,000,035) නැරඹූ 'බිම්බාදේවී හෙවත් යශෝධරා' චිත්‍රපටයයි.
එහෙත් එකී චිත්‍රපටය මූලිකවම කාන්තා චරිතයක් ප්‍රධාන කොටගෙන ගලායන නිසාවෙන්, පුරුෂ චරිතයක් ප්‍රධාන කොටගෙන, ප්‍රේක්ෂක මිලියනය පසුකළ දේශීය සිනමාවේ අවසන් චිත්‍රපටය වන්නේ 2017 වසරේ තිරගත වූ ඉන්දීය ජාතික චෙයියාර් රවී අධ්‍යක්ෂණය කළ ප්‍රේක්ෂකයින් දස ලක්ෂ හාර දහස් පන්සිය තුනක් (1,004,503) නැරඹූ " ධර්මයුද්දය-1" චිත්‍රපටයයි.
ඒ අනුව ප්‍රේක්ෂකයින් ලක්ෂ දහයක් හෙවත් ප්‍රේක්ෂකයින් මිලියනයක් සිය චිත්‍රපටයක් තුළින් දේශීය සිනමාශාලා වෙත අද්දවාගැනීමට සමත්වූ මෙරට සිනමාවේ අවසාන රංගන ශිල්පියා වන්නේ ජැක්සන් ඇන්තනීය.
සූර්යා දයාරුවන් (තරිඳු: මෝඩ තරිඳු)
'ධර්මයුද්දය-1' චිත්‍රපටයට පසුව, පුරුෂ චරිතයක් ප්‍රධාන කොටගත් චිත්‍රපට අතුරින් ප්‍රේක්ෂක මිලියනයේ කඩයිමට ආසන්නවීමට හෝ සමත් වූයේ රංගන ශිල්පී සූර්යා දයාරුවන් ප්‍රධාන චරිතයට පණ පොවන, තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ, මේ මොහොතවන විට ප්‍රේක්ෂකයින් නව ලක්ෂ තිස් තුන් දහස් හයසිය පනස් තුනක් (933,653) නරඹා ඇති 'මෝඩ තරිඳු' චිත්‍රපටයයි.
දිට්වා සුළි කුණාටුවේ අවාසිසහගත බලපෑම හේතුවෙන් ප්‍රේක්ෂක මිලියනයේ කඩයිම පසු කිරීමේ පහසු අවස්ථාව මගහැරී ගියද, 'මෝඩ තරිඳු' චිත්‍රපටය තවමත් මෙරට සිනමාශාලා තුළ තිරගත වන නිසාවෙන් සහ එළඹෙන පෙබරවාරි 27 වෙනි සිකුරාදා සිට එහි හඬ කැවූ දමිළ පිටපත මෙරට සිනමාශාලා 25 කට අධික සංඛ්‍යාවක තිරගතවීමට නියමිත නිසාවෙන්ද, ජැක්සන් ඇන්තනීට පසුව ප්‍රේක්ෂක මිලියනපතියා වීමේ අවස්ථාව සූර්යා දයාරුවන් සතුව පවතී. එහෙත් ගෙවීගිය දස වසර තුළ ශ්‍රී ලාංකේය දමිළ චිත්‍රපට හා දමිළ හඬකැවූ ශ්‍රී ලාංකේය චිත්‍රපට නැරඹූ මෙරට ප්‍රේක්ෂක සංඛ්‍යාවන් සැලකිල්ලට ගැනීමේදී එකී ළඟා වීම එතරම් පහසු කාර්යක් නොවනු ඇත.
'මෝඩ තරිඳු' හරහා ලක්ෂ නවයකට අධික ප්‍රේක්ෂක ආකර්ෂණයක් ළඟාකරගත් සූර්යා දයාරුවන්ගේ, මීට පෙර ප්‍රධාන හෝ උප ප්‍රධාන චරිත රගපෑ චිත්‍රපට අතුරින් වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ චිත්‍රපටය වූයේ 2013 වර්ෂයේ තිරගත වූ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, ප්‍රේක්ෂකයින් හාර ලක්ෂ හැට හත් දහස් හයසිය විසි නවයක් (467,629) නැරඹූ 'සමනළ සංධවනිය' චිත්‍රපටයයි.
පූජන දන්දෙණිය (ඩෙස්මන්ඩ්: ෆාදර්)
'ෆාදර්' චිත්‍රපටයේ පෝස්ටරයක්
ගෙවීගිය දස වසර තුළ 'වැඩිහිටියන්ට පමණක් සුදුසු' (X: SUITABLE FOR ADULTS ONLY) යන රැඟුම් පාලක මණ්ඩල වර්ගීකරණය යටතේ මුදාහළ චිත්‍රපට ඉදිරියේ සටහන්ව ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාවන් සැලකිල්ලට ගැනීමේදී, එකඳු දේශීය චිත්‍රපටයක් හෝ ප්‍රේක්ෂක මිලියනයට ආසන්නවීමට තියා, ප්‍රේක්ෂකයින් ලක්ෂ පහේ කඩයිම් සීමාව පසුකර යෑමට සමත්ව නොමැත. එවන් තත්වයක් තුළ පෙරකී "X" වර්ගීකරණය යටතේම තිරගත කළ චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ 'ෆාදර්' චිත්‍රපටය දින 40 ක් තුළ ප්‍රේක්ෂකයින් ලක්ෂ හතරේ සීමාව තුළ ස්ථානගත වීමට සමත්වීම සාපේක්ෂව ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් අත්පත්කරගැනීමකි. එහෙයින් තවදුරටත් සාර්ථක ප්‍රචාරණ ක්‍රම වේදයක් අනුගමනය කරමින් මෙකී ප්‍රේක්ෂක ආකර්ෂණ වේගය අඛණ්ඩව රඳවාගැනීමට 'ෆාදර්' චිත්‍රපටය සමත්වේනම්, ඉතා අසීරු ඉලක්කයක් වුවද චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට පණ පෙවූ පළමු අවස්ථාවෙන්ම ප්‍රේක්ෂක මිලියනපතියෙකු වීමේ අවස්ථාව පූජන දන්දෙණියට හිමිවනු ඇත.
බිමල් ජයකොඩි (හරිස්චන්ද්‍ර: ධර්මයුද්දය 2)
ධර්මයුද්දය-2' චිත්‍රපටයේ පෝස්ටරයක්
ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ දේශීය තිරගතකිරීම් තුළින් වැඩිම ආදායමක් ඉපයූ (කෝටි 48.55) චිත්‍රපටය වන 'මෝඩ තරිඳු' සතු වාර්තාව ඉතාම නුදුරු අනාගතයේදී අත්පත්කර ගනීවීයැයි අනාවැකි පළවන අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 'ධර්මයුද්ධය-2' චිත්‍රපටය, තිරගත වී දින 26 ක් පසුකරන මොහොත වනවිට ලක්ෂ පහේ ප්‍රේක්ෂක කඩයිම් සීමාව මෙන්ම කෝටි තිහේ ආදායම් කඩයිම් සීමාවද පසු කිරීමට සමත්ව තිබීම කැපී පෙනේ. තිරගත වූ දින ගණනට සාපේක්ෂව වාර්තාවන ප්‍රේක්ෂක සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී, ඉතා පහසුවෙන් ප්‍රේක්ෂක මිලියනය සීමාව පසුකර යෑමේ හැකියාව 'ධර්මයුද්දය-2' චිත්‍රපටය සතුව පවතී.
'මෝඩ තරිඳු' හා 'ෆාදර්' චිත්‍රපටවලට පෙරාතුරුව පෙරකී සීමාව පසුකිරීම සිදුවුවහොත්, 'ධර්මයුද්දය-1' චිත්‍රපටය තුළවූ 'හරිස්චන්ද්‍ර'ගේ චරිතයට පණ පොවමින් ජැක්සන් ඇන්තනී ඉදිරියේ ලියවූ ප්‍රේක්ෂක මිලියනයේ නාමය ,ඊට අට වසරකට පසු එම චිත්‍රපටයේම දෙවෙනි කොටස තුළවූ 'හරිස්චන්ද්‍ර'ගේ චරිතයට පණ පොවමින් බිමල් ජයකොඩි සතුකර ගැනීම කැපීපෙනේ. එපමණක් නොව පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයට පසුව තමන් ප්‍රධාන භූමීකාවට පණදුන් චිත්‍රපටයක් තුළින් ප්‍රේක්ෂකයින් මිලියනයක් දේශීය සිනමාශාලා වෙත අද්දවාගැනීමට සමත්වූ පළමු රංගන ශිල්පියා වීමේ භාග්‍යද බිමල් ජයකොඩි සතුවනු ඇත.
'ධර්මයුද්දය-2' හරහා මේවන විට ලක්ෂ 5 ක් ඉක්මවූ ප්‍රේක්ෂක ආකර්ෂණයකට නතුව ඇති බිමල් ජයකොඩි, පසුගිය දස වසර තුළ (2016- 2025) ප්‍රධාන හෝ උප ප්‍රධාන රංගනයන්ට පණපෙවූ චිත්‍රපට අතුරින් අවම වශයෙන් ලක්ෂ තුනේ ප්‍රේක්ෂක කඩයිම් සීමාව පසුකිරීමට සමත්ව තිබුනේ එක් චිත්‍රපටයක් තුළින් පමණකි. ඒ 2020 වසරේ තිරගත වූ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ, ප්‍රේක්ෂකයින් තුන් ලක්ෂ එකළොස් දහස් දහයක් (311, 010) නැරඹූ 'සුනාමි' චිත්‍රපටයයි.
වසර ගණනාවකට පසුව ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් ප්‍රේක්ෂක මිලියනය අත්පත් කර ගැනීමේ දුලබ අවස්ථාවට ළගා වී ඇති හා ළගා වෙමින් පවතින මොහොතක, ඒකී අවස්ථාව එක් රංගන ශිල්පියෙකුගේ චිත්‍රපටියේ නාමය ඉදිරියේ පමණක් නොලියවී, සූර්යා, පූජන සහ බිමල් යන රංගන ශිල්පීන් තිදෙනාගේම චිත්‍රපට ඉදිරියේ ලියවාගැනීමේ අවස්ථාව හිමිවේනම්, එක් ශානරකට කොටු නොවූ විවිධ ශානරයන් තුළ වූ චිත්‍රපට වෙනුවෙන් අයෝජනය කිරීමට මෙරට නිෂ්පාදකවරු පෙළඹේවි. එවිට දේශීය සිනමාව කර්මාන්තයක් ලෙස සුබවාදිව වැජඹේවී.

සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි
මෙම සටහන 'Udithe Lakmal Kahandawaarachchi' ෆේස්බුක් පිටුව ඇසුරිනි)









