ධනංජය සිරිවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න ඉතා දක්ෂ, ජනප්‍රිය චරිතාංග නළුවෙක්.
ඒ බව පසුගිය කාලය පුරාම ඔහු ඉදිරිපත් කළ රංගනයන් තුළින් පෙනෙන්නට තිබුණා.
නිමා උන වසරේ 'ඉර ගිනි මද්දහන' ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ “බණ්ඩාර” නම් පොලිස් නිලධාරියාගේ චරිතය වගේම “මදර් ලංකා” චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ “සත්‍යා” නම් සංක්‍රාන්ති ලිංගික චරිතය වෙනුවෙන් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට සහ ජනප්‍රියත්වයට ඔහු පාත්‍ර උනා.
කෙසේ වෙතත්, පසුගිය වසරේ (2025) ඔහුගේ රංගන ජීවිතයේ වැඩිම ජනප්‍රසාදය ලැබූ නිර්මාණ විකාශය වුවත්, සම්මාන සඳහා ඔහුව නිර්දේශ නොවීම සහ ජනගත නළුවන් අතර නොසිටීම ගැන ධනංජය පළ කරලා තිබුනේ මේ වගේ අදහසක්.
(උපුටා ගැනීම)
‘ජනගත නොවීම සහ සමුගැනීම’
පසුගිය වසරේ විකාශය වූ ඉරගිණි මද්දහනේ බණ්ඩාරගේ චරිතය මගේ රංගන ජීවිතය තුළ negative (දුෂ්ට, ප්‍රතිවීර) චරිතයක් වෙනුවෙන් මා ලද ඉහළම ජනතා ප්‍රසාදය ලෙස හැඳින්විය හැක.
ඊට සමගාමීව මදර් ලංකා චිත්‍රපටයේ සත්යාගේ චරිතය ද මා රංගන ජීවිතය තුළ ලද විශාලතම ඇගයීම බව සඳහන් කළ හැක.
පිරිමියකු හා ගැහැනියක (trans woman) ලෙස අන්ත දෙකක් එකම කාලයේ රංගන ශිල්පියෙකු තෝරා ගැනීම කෙතරම් අවදානමක්දැයි රංගනය ගැන අල්ප මාත්‍රයක හෝ දැනුමක් තියෙන කෙනෙකුට තේරුම් ගත හැකි බව විශ්වාස කරමි. එහෙත් එම චරිත ද්විත්වය තෝරාගැනීම ගැන කිසිදු පසුතැවීමක් නොමැත. නමුත්......
නමුත් එම රංගනය කිසිදු නිර්දේශයක් නොලැබීමත්...
පසුගිය වසරේ ජනගත නළුවන් අතරේ නොසිටීමත් හේතුවෙන්
මා රංගනයෙන් සමුගත යුතු කාලය පැමිණ ඇති බව දැනේ..
සම්මානම නෙවෙයි පවතින්න කාරණාව. ඒත් ජන ගත නොවීම එක්තරා කාරණාවකි.
එනිසා...
ඇත්තෙන්ම මෙය තීරණාත්මක අවස්ථාවකි.
(උපුටා ගැනීම අවසන්)
මෙම සටහන ධනංජය සිරිවර්ධන ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)










