- Malintha Vithanage-
"අන්තෝනි" ලාංකේය සිනමාපටය මෑතභාගයේ මා නැරඹු අපුරු චිත්‍රපටයකි. එහි කතා පුවත ගෙන එන්නේ ලංකාවේ යාපනය ප්‍රදේශයේ ගුරුනගර් ආශ්‍රිත ධීවර ගම්මානයක සිදුවීම් පෙළකි.
"අන්තෝනි" සිනමාපටය සිනමානුරූපි ගුණයෙන් යුතු සිනමාපටයක් වන්නේ කෙසේද? යන්න අවධානය යොමු කිරීම වටී. මන්ද මෙවැනි ගණයේ සිනමාපටයක් ප්‍රේක්ෂකාගාරය එතරම් හොඳින් හඳුනාගන්නට අසමත්වන නිසාත්, මඟහැර යාමට උනන්දුවක් දක්වන නිසාවෙනි.

සිනමාපටයේ කතාව (Plot) දරිද්‍රතාවයෙන් හෙබ් එක් ධීවර පවුලක් වටායි. කතා නායකයා වන්නේ මැදිවියේ පසුවන අන්තෝනි නම් ධීවරයා වටායි. ඔහුගේ ජීවිතය දැඩ් සේ බැඳී ඇත්තේ බිරිඳ සහ කුඩා දියණියක් සමඟයි. අන්තෝනි සමාජශිලි පුද්ගලයෙකු වුවත් ඔහු තමන්ගේ පාඩුවේ ජීවත්වන අයෙකි. අන්තෝනිට එදිරිව සිටිනා අනෙක් චරිතය වන්නේ "අශෝක්" නමැති තරුණයා ය. ඔහු ක්ෂණික තීරණවලට පෙළඹෙන අයෙකි.
"අන්තෝනි" සිනමාපටය පුරා දිවෙන්නේ අශෝක් සහ අන්තෝනි යන චරිත ද්විත්වයේ පවතින ගතික ස්වභාවයන් වටායි. සිනමාපටය නරඹනවිට මතකයට නැංවෙන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ "බඹරු ඇවිත්" සිනමාපටයයි. එය ලංකාවේ ධීවර කතා පුවතක් ඇතුළත් වැදගත් සිනමාපටයකි. හදවතට ආමන්ත්‍රණය කරන දාරක ප්‍රේමය, මනුෂ්‍යත්වය සහ මානවවාදී ප්‍රේමය පිළිබඳ සියළු පණිවුඩ, අදහස් ප්‍රේක්ෂකයා හමුවට ගෙනඑන්නට සමත් වෙනවා.
චිත‍්‍රපටයේ වඩාත් සිත්ගන්නා සිනමාත්මක අංශ කිහිපයකි. ධීවර ගම්මානයේ ඇති පරිසර ස්වභාවයත්, චරිත සහ පරිසරය අතර ඇති සබැඳියාවත් මනා ලෙස රූපගත වී තිබේ. කැමරා කෝණ සහ රූප සිනමාපටය වෙත චමත්කාරයක් එක්කොට තිබේ. නිල් පැහැති මුහුදුබඩ පරිසරයත්, ධීවර නෞකා කැමරා ඇසට හසුකරගෙන ඇත්තේ දියසායම් සිත්තමක් පරිද්දෙනි.

සියළුම නළු නිළියන්ගේ රංගනය ප්‍රේක්ෂකාගාරයේ අවධානය දිනාගන්නට සමත් වේ. විශේෂයෙන් අන්තෝනි චරිතය සඳහා පණ පොවන නළුවාගේ රංග වින්‍යාසය විසින් පවත්වාගෙන යන රිද්මය සිනමාපටය අවසානය තෙක් අඛණ්ඩව පවත්වාගෙන යයි. නළු නිළියන් ලෙස කයල් වින්සන්ට්, ටී.ජේ.භානු, සුදර්ශන් රවීන්ද්‍රන්( "අධිරන්" චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළු) පැසසුමට ලක්විය යුතු ය.
"අන්තෝනි" සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ දමිළ ජාතික අධ්‍යක්ෂවරුන් දෙපළක් වන "සුකර්තන් ක්‍රිස්තුරාජා" සහ "ජෙනෝසන් රාජේශ්වර්" විසිනි. සිනමාපටයේ පසුබිමි සංගීතය ඉන්දියානු චිත‍්‍රපට සංගීතයේ ගෝඩ්ෆාදර් ලෙස සැළකෙන "ඉලෙයරාජා" විසින් සංගීතවත් කර ඇත. "අන්තෝනි" සිනමාපටය ලාංකේය සිනමා නිර්මාණයක් ලෙස නැරඹීමේ විශේෂත්වය වන්නේ දකුණු ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට දෙමළ භාෂාවෙන්ද, මලයාලම් ප්‍රේක්ෂකයන්ට මළයාලම් භාෂාවෙන්ද, ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සිංහල භාෂාවෙන් ද නැරඹිමට හැකි ය.
වසරේ සිනමාශාලාවක නැරඹිය යුතු අපුරු චිත‍්‍රපටයක් ලෙස " අන්තෝනි" සිනමාපටය ඉහළින්ම නිර්දේශ කළ හැකි ය.

සටහන - මලින්ත විතානගේ
(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)




