මෙරට රිදීතිරය ඔපවත් කළ, පෝෂණය කළ, අපූර්වතම නිර්මණ දායාද කළ පුරෝගාමී කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. එහෙත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයෙහි ශේෂව පවතී. ඔවුන් කළ කී දෑ හා ඔවුන්ගේ ගති ස්වභාවයන් පිළිබඳව අප දන්නේ ඉතාම අල්ප වශයෙනි. ඇතැම් විට සිනමාවේ අප දකින මේ සිහින තරු සාමාන්‍ය ජීවිතයේ ඊට හාත්පසින්ම වෙනස් චරිත රඟදැක්වූවා විය හැකිය. එසේ ඔබ ආදරය කළ සිනමා තාරකාව හෝ තාරකාවිය පිළිබඳව දැනගැනීමට සිටි බොහෝ දේ කාලයේ වැලිතලාවෙන් වැසී සැඟවීගොස් තිබෙනවා වන්නට පුළුවන. ඒත් ඒ සදා අමරණීය මතකයන් අදටත් ඔබ කුල්මත් කරනවා විය හැකිය. එසේ නම් ඔබ ඔහු ඇය පිළිබඳව ඒ නිර්මාණය සිදු වූ ආකාරය ගැන, එවන් නිර්මාණ දායාද කළ අධ්යක්ෂවරුන් ගැන, ඔබේ සිතැඟි අවදි කළ ගායකයා ගායිකාව පිළිබඳව තතු දැන ගැනීමට කෙනකු අප අතර සිටී ද?
සිටී නම් ඇය තරම් ඊට සුදුස්සකු නොවන බව නම් අපට ප්රත්යක්ෂය.
අතීත මතක දිගේ නෙක සිහින පෙළින් පෙළ අමුණන ඇය විටෙක ඔබෙත් මගෙත් සිහින කුමරිය වූවාය. රුවින් උදුල දඟකාර යෞවනියක හා පෙමින් බැඳෙන්නට අප තුළ නොතිත් ආශාවක් වී නම් ඒ ඇය මැවූ සුන්දරත්වයම නොවන්නේ ද? එසේ වී නම් අන්ජලීකරණීය වී ඇස අග නතර වී සිත වශී කළ ඇය කවුරුන් ද? ඕ වෙනකකු නොව මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාය. ඇගේ අතීත මතක එකින් එක පෙළ ගැසී වචන බවට පෙරළුණු කතාව මෙසේ ඔබ වෙතට ගෙන එන්නෙමු.
මෙරට සිනමා අඹරේ පෑයූ විශිෂ්ට සිනමා තරුවක් වූ ඩොමී ජයවර්ධන (1927–1979) නළුවකු මෙන්ම ගායකයකු විය. දුෂ්ටයාගේ චරිතයට පණපොවමින් ඔහු රසික හදවත් දිනාගත්තේය. 1927 වසරෙහි ජූනි මස 25 දින අම්බලන්ගොඩදී උපන් ඩොමී ජයවර්ධන සිනමාවට හාපුරා කියා අත්පොත් තබන්නේ 1953දී තිරගත වූ ‘සුජාතා‘ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙමිනි. විකී නමැති සිය ප්‍රථම රංගනයෙන්ම (සල්ලාල චරිතයට පණ පොවමින්) රසික හදවත් තුළ සදා නොමැකෙන මතකයක් සනිටුහන් කළ හේ සිංහල සිනමාවේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්ටතම දුෂ්ඨ නළුවා යැයි පැවසීම ගැන කිසිදු සිනමා තරුවක් උරණ නොවනු ඇත. දුෂ්ට චරිතයෙන් ඇරඹෙන ඔහුගෙ සිනමා ගමනේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එවකට පැවති දකුණු ඉන්දියානු ආභාෂයෙන් පිටමංව කිසිවකු අනුකරණය නො කර තමන්ටම ආවේණික වූ රංගන ශෛලියක් ඔහු විසින් ගොඩනඟා ගැනීම යි. තමන් සතු වූ පෞරුෂය නිසාම විටෙක ඔහු ප්‍රධාන නළුවා පවා අභිබවා ගියේය. ඊට හොඳම උදාහරණය වන්නේ ද ‘සුජාතා‘ චිත්‍රපටයේ රඟපෑ විකී ගේ චරිතයයි. ඔහු මේ චරිතය නිරූපනය කරමින් මෙරට සිනමා රංගයට දුෂ්ට චරිත නිරූපනයේ වෙනස් මානයක් විවර කළේය. ඔහු සිනමා රංගනයට ප්රවිශ්ට වීමට ප්‍රථම වේදිකා නාට්‍ය කීපයකම රඟපා තිබිණ. ‘විදුර’, ‘අසෝකමාලා’, ‘සිහිනය’, ‘දිව්‍ය ප්‍රේමය’ ඉන් කිහිපයක් පමණි. පසු කලෙක ‘සුභද්‍රා’ නමින් සිනමාවට නැඟුණේ මේ ‘සිහිනය’ වේදිකා නාට්‍යයයි. අනතුරුව චිත්‍රපට රැසක සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කිරීමට ඔහුට ඉඩ ප්රස්ථා විවර විය. ‘වරද කාගෙද’, ‘රදල පිළිරුව’, ‘දුප්පතාගේ දුක’, ‘සූරසේන’, ‘දෙයියන්ගේ රටේ’,‘සැමියා බිරිඳගේ දෙවියාය’, ‘චණ්ඩියා’, ‘සැපත සොයා’, ‘හතර මහා නිධානය’, ‘රුහුණු කුමාරි’, ‘ළඳක මහිම’, ‘පුංචි බබා’, ‘කවුද හරි’, ‘ආත්ම පූජා’ ... ඉන් කීපයකි.
ඩොමී ජයවර්ධන නළුවකු පමණක් නොව ගායකයෙක් ද වූයේය. ‘සුජාතා’ චිත්‍රපටයේ ගැයෙන විරිඳු ගීතයේ (මෙන්න මැණිකෝ මෙතැන ජෝඩුවක් ඉන්නවා) හඬ මුසුව ඔහුගේය. එමෙන්ම ‘රදළ පිළිරුව’ (නම්බුව සොය සොයා ධනයට යට වෙලා) ‘දුප්පතාගේ දුක’ (සේතන් අයියගේ හෝටලේ මේ) ‘සිහිනය’ (පැදපල්ලා හිතට අරන් ඔරුව අපේ නිල් දියේ) වැනි චිත්රපටද ඔහුගේ සුගායනයෙන් ඔපවත් විය.
එමෙන්ම ඔහු චිත්‍රපට අධ්යක්ෂවරයකු ද වේ. ‘දරු දුක’ (1967) ‘සිංගප්පූරු චාලි’ (1972) ඔහුගේ අදියුරුවෙන් සුපුෂ්පිත සිනමා පුෂ්පයෝය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘දරු දුක’ චිත්‍රපටයේ සහාය අධ්යක්ෂ වරයා වශයෙන් කටයුතු කළ එච් ඩී. ප්‍රේමරත්න අදියුරුවකු ලෙස සිනමාකරණයට අත්පොත් තබන්නේ ද මේ අපූරු සිනමා තාරකාව නිසාය.
භාව ප්‍රකාශන රංගනයේ අති විශිෂ්ටයකු වුවත් සිනමා ජීවිතයේ ඔහුට හිමි වූයේ සම්මාන දෙකක් පමණය. ඒ සම්මාන දෙකම ලේක් හවුස් ආයතයෙන් පිදෙන ‘සරසවිය’ සම්මාන වීම විශේෂත්වයකි.ඒ අනුව 1966 සරසවිය සම්මාන උළෙලේදී ඔහු ජනප්‍රියතම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගත්තේය. ජනප්‍රියතම සහාය නළු නිළියන් සඳහා සම්මාන පිළිගැන්වීම ආරම්භ වූයේ ඒ අවස්ථාවේ සිටය.1969 දී ‘පුංචි බබා’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේදී ඔහු විශේෂ සරසවිය තිළිණයක් දිනා ගත්තේය.
මේ අපූර්වතම රත්තරන් සිනමා තරුව ගැන ‘නිළි රැජන මාලනී‘ සිය හඬ මෙලෙස විවර කළාය. ඩොමී ජයවර්ධන මහත්මාව මට මුලින්ම හමුවන්නේ මගේ පළමු චිත්‍රපටය වන පුංචි බබා චිත්‍රපටයෙදී. මම ක්ෂේත්රයට පය තියන කොට ඩොමී අයියා සිනමා ක්ෂේත්රයේ හිටපු දැවැන්ත චරිතයක්. පළමු මුණ ගැහීමෙන්ම හරියට හිතවත් වුණා. ඔහු තමන්ගෙ ප්‍රතිභාව නිසා ඔළුව උදුම්මාගෙන සිටියෙ නැහැ. හරිම නිහතමානීව ආධුනිකයෙක් වෙච්ච මාව පිළිගත්තා. මගේ පළමු රංගනය සාර්ථක කරගන්න හුඟක් ගුරුහරුකම් එතුමා ලබාදුන්නා. සිනමාවේ කුමන චරිතයක් නිරූපණය කළත් ඊට කළ හැකි උපරිමය ලබාදෙන්න පුළුවන් විදියේ දක්ෂකමක් ඔහු සතුව පැවතුණා. අපි සිනමාවෙදි එයාව දකින්නෙ හරිම දරුණු දුෂ්ට චරිතයක් විදියටනෙ. කේන්ති ගියාම මුණවත් බලන්න බයයි. එහෙත් ඔහුගේ සැබෑ ජීවිතය ඇතුළේ ඉන්න සාමාන්‍ය මනුස්සයා හරිම සරල හරිම අහිංසක අවංක හොඳ ප්‍රතිපත්ති තියෙන මනුෂ්‍යයෙක්. හැමෝටම උදවු කරලා , ඒ අයගෙ ප්‍රශ්නවලට මැදිහත් වෙලා කටයුතු කරපු කෙනෙක් ඩොමී ජයවර්ධන කියන්නේ. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.
ඔහු සෙට් එකේ ඉන්න කොට ඔහුගේ හිනාවෙන් මුලු සෙට් එකම පිරිලා තිබුණේ. නිරහංකාර අව්‍යාජ හිනාවක් ඔහුගේ මුවග හැම මොහොතකම රැඳී තිබුණා. ඒ විතරක් නෙමෙයි ඔහු අනෙක් අයවත් මොනවහරි කියලා හිනස්සන්න හරිම දක්ෂයි. හරිම විනෝදෙන් තමයි ඔහු සෙට් එකේ හිටියේ. ඒ කාලෙ හිටිය නළුවන් හුඟදෙනෙක් සිගරට් බොන්න පුරුදුවෙලා හිටියේ. ඒක ස්ටයිල් එකක් හැටියට ජනප්‍රියවෙලා තිබුණා. ඔහු ජීවිතය දිහා බැලුවේ හරිම සැහැල්ලුවකින්.
එහෙත් ඔහු කෙන්ති ගිහින් ඔහුගේ බැරෑරැම් හඬින් කතා කරද්දි ඒක කොච්චර තාත්විකව කරනවද කිව්වොත් අපිට හිතෙන්නේ ඔහුට මේ ඇත්තටම කේන්ති ගිහින් ඉන්නෙ කියලා. කම්මුල්වලට ලේ පිරිලා ඇස් රතුවෙලා හරිම රෞද්‍ර පාටයි. අපි කවුරුවත් ළංවෙන්නත් බයයි. එයා ඒ විදියට රංඟනයේ යෙදෙද්දි එයාගෙ අනෙක් පස රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට පුදුම සහයක් ලැබෙන්නේ. මොකද ඔහුගේ රංගන සාර්ථකත්වය තුළින් අපේ තියෙන අඩුපාඩුකම් මැකීගොස් ඉබේටම අපිත් ඒ චරිතයට අනුගත වෙනවා. එය කෙනෙක් තුළ කලාතුරකින් පිහිටන පුදුම දක්ෂකමක්. එයා බලන විදියම ඇති බයවෙලා හැඬුම් එන්න. මට වෙලාවකට හිතාගන්නත් බැහැ මේ තරම් සරල අහිංසක මනුෂ්‍යයෙක් තුළ මේවගේ සැරපරුෂ රෞද්‍ර මනුස්සයෙන් ඉන්නෙ කොහොමද කියලා. ඒකෙන්ම පේනවා ඔහු කොයිතරම් චරිත නිරූපනය අතින් අති දක්ෂ නළුවෙක් ද කියන කාරණාව.
ඔහුට මුලින්ම ඉන්දියානු ආභාෂයෙන් නිර්මාණය වුණු චිත්‍රපටවල රංගනයේ යෙදෙන්න සිදු වුණා. එහෙත් ඔහු ඒ ආභාෂයෙන් මිදී ඔහුටම අනන්‍ය වුණු රංගන ශෛලියක් ගොඩනඟා ගත්තා. ඒක කොච්චර සාර්ථක වුණාද කියනව නම් වලව්වේ හාමු මහත්තයා, නැති නම් බොහෝම සූක්ෂ්ම කූඨෝපායෙන් අනෙක් අයගේ දේවල් අයිති කරගන්නා සැර පරුෂ චරිතයක් කුමන චිත්‍රපටයක තිබුණේ වී නම් ඒ චරිතය ඔහුගෙන් ගිලිහී ගියේ ඉතාම කලාතුරකින් කියන්න පුලුවන්. සමහර අධ්යක්ෂවරු ඔහුගේ චරිතය ඔලුවේ තියාගෙන චිත්‍රපට නිර්මාණය කර තිබෙනවා. මේ හැම දේකින්ම ඔප්පු වෙන්නේ ඔහු ඉතාම දක්ෂ රංගන ශිල්පියකු බව නේද? අපේ සිනමාව ඉදිරියට ආපු ගමනෙ, අපි කියනවනෙ මේ සිනමාව හැටේ හැත්තෑව දශකවල ඉතාම සාර්ථක තැනක තිබුණ කියලා. ඒකට හේතු වෙච්ච දැවැන්ත කුළුණු විදියට තමයි රුක්මණි දේවී, එඩී ජයමාන්න, ෂේෂා පලිහක්කාර, ඩොමී ජයවර්ධන, ජෝ අබේවික්‍රම, පියදාස සිරිසේන, ඩී. ආර් නානයක්කාර, වොලී නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති, ...වැනි අය සලක්න වෙන්නේ. ඒ අය තමයි අපේ සිනමාව සම්පුර්ණ කළේ. පසුකාලිනව තමයි ගාමිණී පොන්සේකා, හෙන්රි ජයසේන, ටෝනි රණසිංහ වගේ දැවැන්ත ප්රතිරූප සිනමාවේ නිර්මාණය වුණේ. කෙසේ වෙතත් ඩොමී ජයවර්ධනගේ අද්විතීය රංගනයට නිසි විචාරයක් හෝ ඇගයීමක් මේ දක්වා සිදු වී නැති බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි.
රසික කොටුදුරගේ
-සිළුමිණ-