2009 ජුනි 25 වැනිදා මයිකල් ජැක්සන් හදිසි මරණයකට පත් වෙයි. තමන් අලුතින් එලි දැක්වීමට නියමිත ගීත ඇල්බමය සහ ඒ ආශ්රිත ලෝක සවාරිය සඳහා සූදානම් වෙමින් සිටි ඔහු, එදා සවස වන තෙක්මත් එහි පුහුණු කටයුතු සඳහා සහභාගී වී තිබේ. එදින දවස නිම වුයේ ඔහුගේ මිහිකත ගීතය (earth song) නව ආරකින් යුතුව පුහුණු වීමෙනි. එදා රාත්‍රියේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරින් ඔහු මරු තුරුලට යන්නේය. එනම් ඔහු තමන්ගේ ජීවිතයේ අවසන් වරට ගායනා කරන ලද්දේ මේ ගීතයයි.
එදා මෙදාතුර ලොව එලිය දුටු වඩාත්ම බලපෑම සහගත, පාරිසරික තේමාවකින් යුත් කළා නිර්මාණය ලෙස සැලකෙන්නේ මයිකල් ජැක්සන් විසින් 1995 දී එලි දක්වන ලද මේ ගීතයයි. මිහිකත මුහුණ දෙන සියළු පාරිසරික අර්බුධයන් සහ ඒ ආශ්‍රිතව උද්ගත වී ඇති මානව අර්බුධයන් විනාඩි කිහිපයක් තුල ඉතා චිත්තාකර්ශනීය ලෙස ගෙන හැර පෑමට මෙම ගීතය සහ ඒ සඳහා නිර්මාණය වූ දර්ශණ පටය සමත් විය.
මයිකල් ජැක්සන් කොහොමත් දේශපාලනික පැති මානයන් ස්පර්ශ කෙරෙන ගීත නිර්මාණයෙහි දක්ෂයෙකි. ඔහු කුඩා දරුවකුව සිටියදීම නිකුත් කල "got to be there" ගීත ඇල්බමයේ අඩංගු " in our small way" ගීතය ඔහුගේ මේ වර්ගයේ ගීත වල ආරම්භය ලෙස සැලකිය හැකිය. එයින් කියවෙන්නේ විප්ලවය යනු සැම විටම මහේශාක්‍ය දෙයක් වීම අනිවාර්යය නොවන අතර, තමන්ගේ මට්ටමින් යහපත් දෑ කුඩාවට වුවත් සිදු කිරීමද විප්ලවීය බවයි. මෙයින් පසුව 1985 දී ඔහු විසින් Lional Richie සමග එකතු වී නිර්මාණය කල We are the world ගීතය ලෝකයා සලිත කල ගීතයක් විය. අප්‍රිකානු මහාද්වීපයේ එවකට හට ගත් මහා සාගතයට හසු වූ මිනිසුන් වෙනුවෙන් ආධාර එකතු කිරීමේ වැඩපිළිවෙලකට ආධාර රැස් කිරීම උදෙසා නිර්මාණය වූ මෙමගින් එක්සත් ජාතීන්ගේ සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මේ සඳහා වෙන් කෙරුණු මුදල මෙන් කිහිප ගුණයක මූල්‍ය ආධාර එකතු කිරීමට සමත් වුවා පමණක් නොව, අප්‍රිකානු මහාද්වීපය තුල සිදු වූ ඇමෙරිකානු අතපෙවීම් වලද වෙනසක් සිදු කිරීමට සමත් වූ බව කියැවේ. මින් පෙර රචනා වූ Man in the miror සහ 1991 දී රචනා වූ Heal the world ගීතද මේ ප්‍රවර්ගයේම ගීත වෙයි. Heal the world ගීතයේ සාර්ථකත්වය කූටප්රාප්තියට පත් වුයේ එනමින්ම පිහිට වූ සංවිධානයක් බිහි වීමෙන් සහ ලොව පුරා දිළිඳු කම මැඩ පැවැත්වීම වෙනුවෙන් අනුපමේය කාර්යය භාරයකට එය මැදිහත් වීමෙනි. අවසාන වශයෙන් ඔහු ගායනා කල Gone too soon ගීතයෙන් කියවුනේ AIDS රෝගය වැළඳුනු මනුෂ්‍යන්ගේ අයිතීන් පිලිබඳවය.
Earth Song ගීතයේ දර්ශණ පටය සඳහා මහද්වීප හතරක පසුතල යොදාගෙන තිබේ. දකුණු ඇමෙරිකාවේ ඇමසෝන් වනාන්තරය පසුබිමේ දැක්වෙන කොටසේ පෙන්වන්නේ ඇත්ත වශයෙන්ම එම වනාන්තරය ආශ්‍රිතව වෙසෙන ගෝත්‍රික කණ්ඩායමක සාමාජිකයන් වන අතර එම භූමිය බ්‍රසීලියානු රජය විසින් ඔවුන්ගෙන් අත් පත් කොට ගෙන තිබුනේ විශාල කෘෂිකාර්මික කටයුතු සඳහා පවරා දීමටය. වීඩියෝවේ පෙන්වන එම ගෝත්‍රික මිනිසුන්ගේ බැල්ම සත්‍ය ලෙසම තම වාස භූමිය අහිමි වන පාරම්පරික ජන කොටසකගේ බලාපොරොත්තු කඩ වුනු අවිනිශ්චිත බැල්මයි. ඉන් පසු විශාල වෘක්ෂ රාජයින් බිම හෙලන දර්ශණ පෙන්වන අතර ඒ සත්‍ය ලෙසම එම වනාන්තරය එලි පෙහෙළි කරන අයුරුය. එහිම එක් කොටසක අකුරින් ලියා දැක්වෙන ලෙස මේ වීඩියෝව පටිගත කිරීමෙන් අනතුරුව සතියක් යෑමෙන් ඉක්බිති එම විශාල ප්‍රදේශයම එලි පෙහෙළි කොට තිබේ. ඉන් පසු දිග හැරෙන යුධ කලාපය සර්බියාවේ සිවිල් යුද්ධයට අසු වුනු ඇත්තම ප්‍රදේශයක් වන අතර එහි සිටින මිනිසුන් ඇත්ත වශයෙන්ම යුද්ධයට මැදි වුනු ප්‍රාදේශීය සිවිල් ජනයා වෙති. පසුව මේ දර්ශණ තලය යොමු වන්නේ අප්‍රිකාවේ ටැන්සානියාවේ සැවානා වනාන්තරයකට වන අතර විශාල ලෙස වන සත්ත්ව දඩයම සිදු වන , විශාල වශයෙන් නීති විරෝධී එලි පෙහෙළි කිරීම් සිදු වන භූමියක යථාර්තය මෙමගින් විදහා දැක්වෙයි. මේ ගීතයේ පෙන්වන සුප්‍රසිද්ධ "ගිනි ගත් ගොවි බිමේ " දර්ශණ තලයට කැමරාව යොමු වන්නේ මින් අනතුරුවයි. මයිකල් ජැක්සන් බිම හැපෙමින් විලාප දෙමින් කෑ ගසන්නේ දැන්වත් මේ ගමන නැවැත්විය යුතු බව කියමිනි. ලෝකයේ එක් තැනක මිනිසුන් සුළු ප්‍රමාණයක් අධික පරිභෝජනයක් සහිතව සුඛෝපභෝගී ලෙස කල් ගෙවත්දී ඒ සඳහා වක්‍රාකාරයෙන් මිල ගෙවීමට වෙනත් කොනක සිටින මිනිසුන් කොට්ඨාශයකට සිදු වෙයි. මේ ගීතයේ බරපතලම පණිවිඩය වන්නේ මේ දේශපාලනික සමීකරණයයි. මෙය පරිසර දේශපාලනයේද මුඛ්‍ය අදහස වෙයි. ලොකු කුඩා පාරිසරික දූෂණයන් සියල්ල අවසානයේ එකට කැටි වී යොමු වන්නේ එක් නාභියක් වෙතටයි. එනම් එය සම්පත් බෙදී යාම පිලිබඳ විශාල අර්බුධයකට ලෝකයා යොමු කරවන අතර අවසානයේ විශාල ප්රචණ්ඩත්වයක් ලෙස කොතනකින් හෝ පුපුරා යයි. ලොව පුරා ඇති වී තිබෙන ගැටුම් වලින් සාතිශය බහුතරයේ සැබෑ මූලය මෙයයි. පරිසර සංරක්ෂණය තිරසාර සාමය සඳහා ඇති ශක්තිමත්ම මාර්ගය වන්නේ එහෙයිනි.
ලෝකයේ වෙසෙන ජනවර්ගයන් ගණනින් කොපමණදැයි නිශ්චිත වශයෙන් කීම අතිශයින් අසීරුය. මේ සියලු දෙනා එකිනෙකට වෙනස් සංස්කෘතීන් මෙන්ම ගති ඇවතුම් පවතවා ගනිති. මේ සංස්කෘතික විවිධත්වය මානව පැවැත්මේ අනිවාර්යය අංගයකි. මේ සියලු අනන්‍යතාවයන්ට ලොව ඉඩක් සහ නියමිත පිළිගැනීමක් තිබිය යුතුය. එය එසේ තිබියදීම සකල ලෝක වාසීන්ම, තම සංස්කෘතික අනන්‍යතාවයන් ඉක්මවා ගිය පොදු වගකීමකින් සහ රීති සමුදායකින් බැඳි තිබෙයි. මෙය සරල වශයෙන් Global citizenship නැතහොත් ගෝලීය පුරවැසිකම යනුවෙන් නාමකරණය කල හැක. අපට මිහිකත උණුසුම් වීමට මුහුණ දීමට සිදු වන්නේ ගෝලීය පුරවැසියන් ලෙසටය. කාලගුණික විපර්යාසයට මුහුණ දීමට සිදු වන්නේ ගෝලීය පුරවැසියන් ලෙසය. වායු දූෂණය, ඔසෝන වියන හායනය පමණක් නොව බොහෝ තැන් වලදී ජලය පිලිබඳ ගැටළු වලට මුහුණ දීමට සිදු වන්නේද ගෝලීය පුරවැසියන් ලෙසටය. ගෝලීය පුරවැසි භාවය සංස්කෘතික අනන්‍යතාවයට ප්‍රතිමුඛව තිබෙන්නක් නොව එය තව දුරටත් මුවහත් කෙරෙන්නක් විය යුතුය. නූතන පාරිසරික දේශපාලන ව්‍යාපෘතිය යොමු විය යුත්තේ එදෙසටය. මිහිකත ගීතය මගින් සම්ප්‍රේෂණය කෙරෙන ගැඹුරු පණිවිඩය එයයි.
-දිනෙත් මල්ලිකාරච්චි-