එය මදුරාසියේ ප්‍රකටවූ චිත්‍රාගාරයකි. එම චිත්‍රාගාරය තුල සුවපහසු පුටුවක වාඩිවී කකුලක් පිට කකුලක් දමා ගෙන පත්තරයක් බලමින් සිටි කඩවසම් ලාංකේය තරුණයෙකි.
ටික වේලාවකින් චිත්‍රාගාරය තුල කිසියම් වූ කලබලකාරී ස්වරූපයක් හට ගති. දමිල සේවකයන් මහා කලබලයකින් එහාට මෙහාට දුවන ශබ්දය, -එතැන සිටින සියලුම අය තරමක තැති ගැන්මකින් මෙන් සිටින අන්දම -ඇතැම් විට මේ සුවපහසුව වාඩිවී පුවත් පත බලමින් සිටි සිංහල තරුණයා දකින්කට නැතිව ඇත.තවත් අතකට දකින්නටත් ඇත, ඇසෙන්නටත් ඇත. එහෙත් ඒ ගැන තැකීමක් කරන්නට නැත. අඩුම තරමින් මේ කලබගෑනියට හේතූව හෝ ඔහු කිසිවකගෙන් විමසුවේද නැත. තවමත් ඔහු කකුලක් පිට කකුලක් දමා ගෙන අර සුවපහසු ඉරියව්වෙන්ම පුවත් පත බලමින් සිටියි.
එක්වරම එම චිත්‍රාගාරයේ දම්ල සේවකයන් දෙදෙනෙක් ඔහු කරා දිවගෙන විත් , කකුල පල්ලෙහා දමා නැගිට සිටින ලෙස ඉල්ලීය.ඔහු එයට හේතුව විමසු විට ඔවුන් කීවේ ඉන්දීය මහා නලු සිවාජි ගනේෂන් දැන් මෙතැනට පැමිනෙන බවය. එවිට ඔහු එම සේවකයන්ට කිවේ, එයාට කියන්න මෙතන වාඩිවෙලා ,කකුලක් පිට කකුලක් දාගෙන පත්තරේ බලන්නේ ලංකාවේ මහා නලු "ආනන්ද ජයරත්ත" කියලා.
හස්තිරාජයා ඉදිරියෙ නොනැමෙන කඩවසම් පෞරුෂත්වයක් හෙබී මේ සුපිරි නලුවා, ලාංකේය සලෝලයිඩ්පටයට පැමිනියේද, එයින් නික්ම ගියේද, ඒ පෞරුෂත්වයෙන්මය.
එකල කොළඹ නගරසීමාව තුල ට්‍රෑම්ප් කාර් ධාවනය වූ යුගයකි. මේ කඩවසම් යෞවනයා ට්‍රෑම්ප් කාරයක නැගී කිසියම් කටයුත්තකට, යන අවස්ථාවක එක් මැදිවියේ පුද්ගලයෙක් ඔහු හා කථාවට වැටුනි.කථාව යන අතර මග ඒ මැදිවියේ පුද්ගලයා, ඔහුගේ කඩවසම් කම ගැන පොඩි අගය කිරීමක් කලේ, ඔහු හොලිවුඩ් නලුවන්ට සම කරමිනි. එලෙසම චිත්‍රපටයක රගපෑමට අවස්ථාවක් ලැබුනොත්, එය මගහරින්නේ දැයි ඇසීය. ඔහු සැහැල්ලුවෙන් පැවසුවේ කිසිවෙක් තමනට චිත්‍රපට රගපෑමට අවස්ථා නොදෙන බවය. සිරිල් පී අබේරත්න නැමති මේ මැදිවියේ ආගන්තුකයා, මෙම යව්වනයාව, ඒ වන විටත් තම චිත්‍රපටය වූ "සුරතලී" හී සෙල්ලක්කාර තරුණයාගේ චරිතයට සිතින් තෝරාගෙනද අවසානය.
"සිරියා මෙ සාරා, නැගෙවි හද මෝරා, දී ප්‍රේමෙ අම දහරා, දී ප්‍රේමෙ අම දහරා."
එච්.ආර් ජෝතිපාලගෙ ප්‍රථම සිනමා ගීතය එයය. අර කඩවසම් යෞවනයාගේ සිනමා සම්ප්රාප්තියද එයය.
ට්‍රෑම්ප් කාර් එකේ යනවිට කැරකුනු ඒ වාසනාව.. සිරිල් පී අබේරත්න විසින් සොයා ගත් මෙම පහන් තරුව , ලාංකේය සිනමාවට ආ හොලිවුඩ් ආකෘතිය , ආනන්දනීය තාරුණ්‍ය, හේ "ආනන්ද ජයරත්න."නම් විය.
සිනමා නලුවෙක් වීමට කිසිදනෙක නොසිතු,එවකට රජයේ ගුරුවෘත්තියේ යෙදුනු මේ කඩවසම් යෞවනයා, "සුරතලී" හරහා එක රැයෙන් මුලු ලංකාවම අල්ලා ගත්තේ හරියට විජය රජ තමිමැන්නාවට ගොඩ බැස මුලු ලංකාවම අල්ලා ගත්තා සේය.
විශාල සිනමා ව්‍යාපෘතියක් වූ "සන්දේශයට" ලෙස්ටර් ජේම්ස්ගේ එකම තේරිම වූයේ ආනන්ද ජයරත්නවය. දක්ෂකම හා ආකර්ෂණය නොඅඩුව තිබූ ආනන්දට නොතිබූ එකම දෙය උනන්දුවය. හරියට සිරිල් පී අබේරත්නට ඕනැ නිසා සිනමාවට ආවාක් මෙන්ය ආනන්ද රගපෑවේ. "සන්දේශය"ද එසේය. විශාල කර්ථවයක් වූවද,ආනන්ද එය ඒ තරම් ලොකුවට ගනන් ගත් බවක් පෙනුනේ නැත. තිරයට උචිතම ආකාර්ෂනීය රූපයක් ආනන්ද සතු විය. ඒ රූපය තුල කඩවසම් බවත් ,එයට එකතූවු ප්රේමනීයත්වයත්, ශෘගාරත්වයත්,සම්මිශ්‍රණය වී තිබුනි. එලෙසම රගපෑමේ හැකියාවද නොඅඩුව පිහිටුනු ඔහු, ජවසම්පන්න නලුවෙකුද විය. නමුත් මේ කිසිවකින් ඔහු නොවේ ප්‍රයෝජන ගත්තෙ. ඔහු ඔහුටම ආවේනීක හිතුවක්කාර රාමුවක් තුල සිටියේය.
ප්‍රේක්ෂකයන් ,නිශ්පාදකයන්,අධ්‍යක්ෂකයන් ඉල්ලුවෙ ඔහුවය.මේ ඉංග්‍රිසි පෙනුමැති දඩබ්බර නලුවාවය. එහෙත් ඔහු ඒවා එතරම් තැකීමක් කලේ නැත. හිතට අරගෙන රගපෑවේද නැත . "සන්දේශයේ' ඔහුගේ ප්‍රධාන චරිතය අබිබවා තම්මිට වූ ගාමිණී ෆොන්සේකා ගේ චරිතය ඉස්මතු වූයේ ඒ හෙයිනි. සන්දේශයෙ ඔහුගේ චරිතය හරි අවබෝධයකින් රගපෑවේ නම්, ගාමිනි ෆොන්සේකාගේ චරිතය වට්ටන්නට, ඔහුට ඕනෑතරම් ඉඩ කඩ තිබුනද, ඔහු එය එතරම් තැකුවේ නැත. නමුත් "සංදේශය"හරි හැටි නරඹන විට ආනන්දගේ රගපෑම් දක්ෂකම අපට දැනුනද, ඒ අතරින් කිසියම් ඕලාරික බවක් පෙනීමද වැලැක්විය නොහැක.
"සදුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නදුන් වනේ සිසිල් සුවය සොයන්නෙ
සැලෙයි ලෙලෙයි දෙගොඩ තලා
ගගක් ගලයි සයුර බලා
මුහුදට හාවී , ගග හාදු පුදාවී"
රොමාන්තික හැගිම් උලුප්පා නහයෙන් දෙතොලෙන්, ඇස් දෙකෙන් ශෘංගාරයත් සමග මිශ්‍රකර එලියට, විසිකරන්නට ආනන්ද මොන තරම් දක්ෂද කියන එක ඔප්පු වුනේ, "අදට වැඩිය හෙට හොදයි" චිත්‍රපටයේ විජිත මල්ලිකා සමග රගපාන විටය.
"මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ"
මේ පදය කියා ඉවර වෙන විට ආනන්ද විජිත මල්ලිකාගේ කර උඩය.එතරම්ම දැගලිල්ලකි එකල ඔහුට තිබුනේ. මෙම රොමාන්තික බව, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ ගාමිණී ෆොන්සේකාටවත් තිබුනේ නැත. කොහොමත් ගාමිණී ලග සරාගී පෙනුමක් නම් තිබුනේ නැත. ඒ සියල්ලම තිබුනේ ආනන්දටය. .
ආනන්දට නිතරම ලැබුනේ දෙවනි ,තුන්වෙනි චරිත වුවද, ඔහු නිතරම ප්‍රධාන නලුවා අභිබවා ගියේය.
"සොහොයුරෝ" "අදට වැඩිය හෙට හොදයි" "වීර විජය" "සුජාගේ රහස", "කල කල දේ පල පල දේ" "යටගිය දවස", "උඩරට මැණිකේ", "සැපත සොයා" "දෙහදක දුක" " මී මැස්සෝ", ඒ සියල්ලම ප්‍රධාන ධාරාවේ චරිත නොවුවද, ආනන්ද තිරයට එන විට ගාමිණී හැරෙන්නට අනෙක් නලුවෝ නම් හැකිලෙන්නේ නිදිකුම්බා මල් ගානටය. ගාමිණී වද ඇතැම්විට යටපත් කරන්නට ආනන්දට හැකිවූ අවස්ථා තිබුනි. "මී මැස්සෝ"එවැනි චිත්‍රපටයකි.
ආනන්ද ප්‍රධාන චරිතයකට පනපෙව්වේ "පටාචාරා" චිත්‍රපටයෙනි. නමුත් එය ස්ත්‍රීය කේන්ද්‍ර කරගත් ,කථා ශාරයක් නිසා, වැඩි රූප රාමු ගියේ සන්ධ්‍යා කුමාරි ටය. පටාචාරා හී ආනන්දට නම් පෙනී සිටිනවා හැරෙන්නට, කරන්නට නම් දෙයක් තිබුනේ නැත.
"දැන් මතකද" චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වූයේද ආනන්ද ජයරත්නය. එවකට කෝඩුකාර මාලනි ෆොන්සේකා සමග ආනන්ද රගපානවිට, මට නමි මාලනිය,ව පෙනුනේ බිංකුන්ඩියෙක් වගේය.
"මේ සීත සුවදෙන රැයේ, පිපුණු සුවද මලේ,
ඔබෙ අත ගනිමින්, දෙපය තබමින්, රගමු ආදරයෙන්"
ආනන්දගෙ ප්රතාපවත් බවත්, කඩවසම් පෙනුමත්, සමිශ්ර වී, සලෝලයිඩ්පටය දිලිසෙන්නට විය. ගාමිණී පොන්සේකා රගපෑ "ආත්ම පූජාත්" ආනන්ද ජයරත්න රගපෑ "දැන් මතකද" චිත්‍රපටයත් එකම වකවානුවක ප්‍රදර්ශනය කලද,ආත්ම පූජා අභිබවා, දැන් මතකද හැල්මේ දිව්වේය.
ජර්මන් ලංකා හවුල් චිත්‍රපටයක් වූ "Three yellow cats" නොහොත් කහ බළල්ලු" හී ඔහු රහස් පරික්ෂකයෙකුගේ ප්‍රබල චරිතයක් නිරුපනය කලේය. එයට ඔහුව විශේෂයෙන්ම තෝරා ගත්තේ ඔහුගේ තිබූ හොලිවුඩ් නලු පෙනුම නිසාය.
කේ.ඒ. ඩබ්ලියු පෙරේරාගේ " ඉහත ආත්මය" ආනන්ද ජයරත්න ප්‍රධාන චරිතය රගපෑ චිත්‍රපටයකි. එය ඔහුට ලැබුනු හොද පිරිපුන් චරිතයකි. ඔහු හා ඩී.ආර්.නානායක්කාර, අතර ඇතිවන රංග යුද්ධය නම් ඇත්තෙන්ම විශිෂ්ටය.ආනන්ද ජයරත්නගේ හොදම රංගනයක් දුටුවේ නම් ඒ මේ ඉහත ආත්මය චිත්‍රපටයේය.
"ඉහත ආත්මය" තනිකරම ආනන්දගේම චිත්‍රපටයක් සේය. වැඩි රූපරාමු ප්‍රමානයකට මුහුණ දුන් ඔහු, ඒ හැම රූප රාමුවකටම විශිෂ්ඨ රගපෑමක් එකතු කලේය.
ඉන්පසු ආනන්දව යලි හමුවුනේ බොහෝ කලකට පසුවය. ඒ "වානරයෝ"චිත්‍රපටයේ දොස්තරවරයෙකුගේ සුලු චරිතයකුත්, " සරදියෙල්ගෙ පුතා" හී කැප්ටන් කෙනෙකුගේ චරිතයකුත්, ලස්සන කෙල්ල හී මුහන්දිරම් ගේ චරිතයත් රගපෑ ඔහු "නෙළුම් සහ සමන්මලී" චිත්‍රපටයෙන් රංගන දිවිය අවසන් කලේය.
ආනන්ද මුල් කාලයේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කලේය. එහෙත් ඔහු එහී රගපෑවේ නැත. ප්‍රධාන චරිතය ඔහු ගාමිණී ෆොන්සේකාට භාරදුනි. එය නමින් "ආදරයයි කරුණාවයි"ය. චිත්‍රපටය බොහොම මන්දගාමි විය. ගාමිණී පොන්සේකාද, නිකං පෙනි සිටියා වැනිය. හරියට දෙවැනි චරිතයට වැටී. විජේරත්න වරකාගොඩ ප්‍රධාන චරිතය කලා වැනිය. මෙය ස්ත්‍රි කේන්ද්‍රිය චිත්‍රපටයක් හෙයින් වැඩි බරක් ගන්නට සිදුවුනේ ක්ලැරිස්ද සිල්වාටය. අමිතා වැදිසිංහ ගේ ලස්සන ගීත කීපයක් නම් තිබුනි. චිත්‍රපටය දියාරුවී ගියේය. ආනන්දගේ අධ්යක්ෂන කාර්යයද එතැනින්ම හබක් විය.
ආනන්ද ජයරත්න වෘත්තියෙන් රජයේ ගුරුවරයෙක් වූ බවක් මා ඉහත සදහන් කලෙමි. "සුරතලී" චිත්‍රපටයේ රූගතකිරීම් සදහා ඉන්දියාවට යන්නට, ඔහු මාස දෙකක නිවාඩුවක් ඉල්ලුම් කලද එය නොලැබුනි. එහෙත් ඔහු ඉන්දියාවට ගියේය. ආපසු එන විට ඔහුගේ රැකියාවෙන් ඔහුව නෙරපා තිබුනි.
"සුරතලී" චිත්‍රපටයේ මංගල දර්ශනයට ප්‍රධාන අමුත්තා වූයේ, එවකට අධ්‍යාපන ඇමති වූ විජයානන්ද දහනායකය. ඔහු චිත්‍රපටය නැරඹූ පසු ආනන්දට ශුභ පැතුවේ, රගපෑම විශිෂ්ටයි කියාය.
"රගපෑම නම් හොද ඇති සර්. ඒත් රගපෑම නිසා මගෙ ගුරුවෘත්තිය මට නැතිවුනා." ආනන්ද කීය. පසුදිනම අමාත්‍යවරයා ආනන්දගේ රැකියාව නැවත ලබා දුනි. ආනන්ද කොපමණ ජනප්‍රිය වූවද, ප්‍රේක්ෂක ජනතාවගේ දැඩි ඉල්ලුම ඔහුට තිබුනද,නිශ්පාදක, අධ්‍යක්ෂකවරුන්, ආනන්දව තම චිත්‍රපට වලට සම්බන්ධ කර ගැන්මට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඒ ඔහු කරදරකාරයෙකු යැයි ප්රචලිතවූ නිසාය. තමා කරදරකාරයෙකු බව ආනන්දද පිලිගතී. එහෙත් ඔහු කියනුයේ කෙලින් වැඩකරන්නේ නැති බොරු කාරයන්ට තමා අනිවාරයෙන්ම කරදරකාරයෙක් බවය. ඔහු කිසිදිනෙක චිත්‍රපට සොයා ගියේ නැත. චිත්‍රපට ඔහු කරාපැමිනියද, හිතුනොත් පමනක් ඒවා බාර ගනී. ඒනිසා බොහෝ චිත්‍ර පට ඔහු අත්හැර දැම්මේය. එහෙත් නීල් රූපසිංහත් ,ආනන්දත් අතර තද මිතුදමක් තිබුනි. ඔහුගේ "දැන් මතකද" "ලස්සන කෙල්ල" "සරදියෙල්ගේ පුතා" චිත්‍රපට ත්රීත්වයටම ආනන්ද රගපෑමෙන් දායක වුනි.
ආනන්ද සන්ධ්‍යා කුමාරිට තදින්ම පෙම් බැන්දේය. ඇය කැමතිනම් සියලු දෙයම අත හැර ඇය සමග එන බවක් ඔහු කියා තිබුනි. එවකට ඔහු විවාහකයෙකු හෙයින් සන්ධ්‍යා කිසිසේත් එම යෝජනාවට කැමතිවූයේ නැත. නළු වෘත්තියට වඩා ඔහු ගුරුවෘත්තියට ප්‍රිය කලේය. මුල් ගුරුවරයෙක් වන තෙක් ඔහු උසස්වීම් ලැබුවේ ඒ නිසාය.
මොන තරම් ආඩම්බර මිනිසෙක් වූවද ,දක්ෂ මිනිසෙකු වූවද, අතිශයින්ම කඩවසම් මිනිසෙකු වූවද, එක් නිමේෂයක දී ආනන්දට, ආනන්දවම පාලනය කර ගැන්මට නොහැකි විය. වර්ෂ 1984 එක් දිනයක තම සිරුරට ගිනි තබාගෙන ආනන්ද ජයරත්න මිය ගියේය. එයට හේතුව සන්ධ්‍යා කුමාරිගේ ආදරය නොලැබුනු නිසා බව කියවුනිද, එය සත්‍යක්ද අසත්යක්දැයි කියාහරියටම නිගමනයට ඒමට නොහැක.
"ජීවිතේ කියන්නෙ තමන් විතරයි. තමන් නැතිවුනාට අනිත් අය ජීවත් වෙනවා"
මේ ආනන්ද ජයරත්න නිතර කියු වදනක්ය. එය සත්‍යක්දැයි තීරනය කිරීම ඔබටම බාරය.
-ශෝන් මැක්ස්මස් දිසානායකගේ-