ලෝකෙ ගොඩාක් විෂයන්ට අදාලව තියෙනවා ‘හඳුනා නොගත් කලාප’. ඒවට අදාලව හැමදාම, හැමතැනම අධ්‍යයන කටයුතු සිද්ධ වෙනවා. ගවේෂණ කෙරෙනවා. සමහර හැදෑරීම් ඇතුළෙ ඒ හඳුනා නොගත් කලාපවලට අදාලව සමහර දේවල් හෙළිදරව් වෙනවා. ඒත් සමහර කලාප තියෙනවා කවදාවත් කියවලා ඉවර කරන්න බැරි. හරියටම කියනව නම්, දවසින් දවස අලුතෙන් පිටු එකතුවෙන දැවැන්ත පොත් වගේ. ඒත් ඇත්ත කාරණේ, ලෝකයේ තියෙන සුන්දරම දේවල් නිදන්ගත වෙලා තියෙන්නෙ ඒ කවදාවත් තේරුම් අරගෙන ඉවර කරන්න බැරි, කවදාවත් කියවල ඉවර කරන්න බැරි කලාප ඇතුළෙ වීමයි.
සිංහල සාහිත්‍යය ඇතුළෙ ‘මහගම සේකර’ කියන්නෙත් එහෙම කලාපයක්. නැවත නැවතත් ගවේෂණය කරන්න වටින ගැඹුරු මුහුදක් වගේ, හඳුනා නොගත් ආකාශ වස්තූන් පතිත වෙන දුර ඈත නම නොදන්නා මිටියාවතක් වගේ සිංහල සාහිත්‍යය ඇතුළෙ මහගම සේකර දවසින් දවස වෙනස් වෙනවා. දවසින් දවස අලුත් හැදෑරීම් වලට ඉඩ හදනවා. පුද්ගලිකව මට දැනෙන දේ තමයි, තවමත් අපි හරියටම සේකර ව තේරුම් අරගෙන නෑ. ඒ වගේම ඒක කවදාවත් ඉවර කරන්න පුලුවන් විදියේ තේරුම් ගැනීමකුත් නෙවෙයි. අන්ධයො අලියගේ හැඩ හුරුකම කියනව වගේ ‘අතපත ගෑම්’වලින් එහා පුළුල් කෝණයකින් බලන්න අමාරු තරමටම සේකර දැවැන්තයි, විශේෂයෙන්ම මගේ පරම්පරාවට.
ඔබ හිනැහෙන විට
මුළු ලොව
ඔබ සමඟින් සිනාසෙයි
ඔබ වැලපෙන විට
මුළු ලොව
ඔබ අතහැර සිනාසෙයි
– හෙට ඉරක් පායයි
සේකරගෙ කවිය මට නම්, උස කන්දක් මුදුනෙ ඉඳගෙන පහළ පැතිරිලා වැතිරිලා තියෙන ජීවිතය දිහා බලන බැල්මක් වගේ. ඒක අතිශය බෞද්ධයි. හැබැයි ඒ අනුභූතිකව අපි හැමදාම අල්ලගන්න ‘බෞද්ධකම’ නෙවෙයි. එතනින් එහා දෙයක්. ථෙරවාද බෞද්ධ දර්ශනයෙන් ලැබුණු සැකැස්ම සේකරගෙ කවි ඇතුළෙ හැම තැනකම මුණගැහෙනවා. ඒ අතරෙ තවත් තැනක සෙන් කතාවක වගේ අධ්‍යාත්මික පැහැදිළි කිරීම්. එහෙමත් නැත්නම් බයිබල් ඉගැන්වීම්. තවත් තැනක උපහාසය අඩුවක් නැති බරපතල දේශපාලන කියවීම්.
අම්බරුවෝ – අපි කමතේ
කැරකි කැරකි යනවා
කවුද කෙනෙක් කෙවිට අරන්
අපි පස්සෙන් එනවා
රන් වන් බැත පෑගි පෑගි
නො පෙනී යට යනවා
රන් වන් බැත යටකරගෙන
මැඩුවන් මතුවෙනවා
අම්බරුවෝ කැරකි කැරකි
කමත වටේ යනවා
රෑ තිස්සේ එළිවෙනකල්
වට රවුමේ යනවා
– සක්වාලිහිණි
මෙතනදි මගහැරලා යන්න බැරි කාරණයක් තමයි, ඒ කවි පුරාම හෙළිදරව් වෙන, මහගම සේකරයන්ගෙ දේශපාලන දැක්ම. සමාජ විෂමතාව, පන්ති පරතරය වගේ දේවල් දිහා බලන උපහාසය පිරුණු ඒ එක බැල්මකින්, ඉඟියකින් පවා සීයක් දේවල් සේකර අපට කියනවා. ‘ප්රබුද්ධ’ වගේ පොතක් ඇතුළෙ මේ කාරණය තහවුරු කරන්න ඇති තරම් උදාහරණ හොයාගන්න පුලුවන්. විසිත්ත කාමර ඇතුළෙ ඉන්න ටයි කෝට් සහ ජාතික ඇඳුම් ඇඳගත්තු මහත්තුරුන්ට සහ නිය උල් කරපු මහත නෝනලාට වගේම එතනින් එපිට මහ පොළොවේ කුණු දහජරාව පැටව් ගහපු මුඩුක්කු ජීවිතවලට පවා සේකරගෙ කවිය විවෘතයි. හරියටම කියනවනම්, හඳ එළියක් වගේ හැම තැනකම එක විදියට පැතිරෙන ඒ කවිය ඇතුළෙ අපි ගතකරමින් ඉන්න මේ හිස්, බොල් ජීවිත ගැන ඇත්ත පැහැදිළි කිරීම් කන්දරාවක් අපට මුණගැහෙනවා. ඒක අපි කාටවත් මගහරින්න බැරි සර්වකාලීන ඇත්තක්. ප්රබුද්ධ ලියවුණු හැත්තෑව දශකයට වගේම, සමහර විට ඊටත් වඩා මේ මොහොතට වලංගුවෙන පැහැදිළි කිරීමක්.
ලැබුවද කොතෙක් දන
නැගුණ ද ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහළට
රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාව ය
සතුටු සාමීචි පිළිසඳර තුළ
කැපී පෙනුණේ වෛරයක් ම ය
ප්රබුද්ධ !
හිස් ය මේ ජීවිතය
බොල් ය මේ ජීවිතය.
– ප්රබුද්ධ (1977)
රූපවාහිනිය පේටන්ට් බලපත්‍රය අරගන්නෙ 1928 අවුරුද්දෙ. හැබැයි 1932 වෙද්දිම ඇමරිකාවෙ ඒ ගැන විචාර ග්රන්ථ ලියැවෙන්න පටන් ගන්නවා. මොකද රූපවාහිනිය හරහා සාමාන්‍ය ජන ජීවිතයට කරන්න පුළුවන් බලපෑම ගැන ඒ රටවල් අතිශය සංවේදී වීම නිසා. සේකර ඊටත් වඩා දියුණු විදියට; විවෘත ආර්ථිකයත් එක්ක අපේ කලාව දශක කිහිපයක් ඇතුළත ස්ථානගත වෙන්න නියමිත තැන ගැනයි, ජනමාධ්‍ය මිනිස්සුන්ගෙ ගෙදරදොර චාරිත්‍ර ඇතුළට පවා රිංගලා කරන්න නියමිත මනස්ගාත ගැනයි හොඳම අනාගත වාක්‍ය කිහිපය ‘ප්රබුද්ධ’ කාව්‍යය ඇතුළෙ සටහන් කරල තියනවා. ඒ හැත්තෑව දශකයේ මැද. අපි ටෙලිවිෂන් බලන්න පටන් ගන්නෙත් ඊට අවුරුදු දෙක තුනකට පස්සෙ. හැත්තෑ හතේ පළවුණාට ප්රබුද්ධ මේ මොහොතට වඩාත් වලංගු වෙන්නෙ ඒ නිසයි මටනම්. පරිභෝජනවාදී සමාජයක් ඇතුළෙ, දවසින් දවසම රොඩු ගැහි ගැහී, දිරාපත් වෙවී අපි ගත කරමින් ඉන්න විකාර ජීවිතේ දිහා කඳු මුදුනකට වෙලා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න මුණිවරයෙක්, දිවැසිවරයෙක් විදියට මට සේකරව දැනෙන්න ප්‍රධානම හේතුවත් ඒක.
සේකරගෙ කවිය සහ ඒ කවියට යටින් දිවෙන දේශපාලනය ගැන කතා කිරීමේ දී තවත් වැදගත් ම දෙයක් තමයි, ඒ කවි ඕනෑම මතවාදයක් ඇතුළෙ කියවගන්න තියෙන හැකියාව. හරියටම කියනවනම්, ෂේක්ස්පියර්ගෙ නාට්‍යයක් වගේ. එහෙමත් නැත්නම් සයිමන් නවගත්තේගම ලියපු නවකතාවක් වගේ. ඕනෑම තැනක ස්ථානගත කරන්න වගේම විවිධ කියවීම් අවකාශයන්ටත් ඇති තරම් ඉඩකඩ තියෙනවා සේකරගෙ කවියෙ.
මාක්ස්වාදය ඇතුළෙ වර්ධනය වුණු ‘පරත්වාරෝපණය’ වගේ සංකල්පයක් ‘ප්රබුද්ධ’ කාව්‍යය ඇතුළෙ මුණ ගැහෙන ආකාරය පවා මේ බව තහවුරු කරන්න හොඳම උදාහරණයක්. නිෂ්පාදනයේ සහ ශ්‍රමයේ අයිතියෙන් විතරක් නෙවෙයි, තමුන්ගෙම ජීවිතයෙන් පවා මිනිස්සු පරාරෝපණය කරන ධනේෂ්වර සමාජ ක්‍රමයක් ඇතුළෙ සිද්ධ වෙන්න පුළුවන් විකාර ගැන දියුණු පැහැදිලි කිරීමක්, අපට වඩාත් දැනෙන තැනකින් ‘ප්රබුද්ධ’ හරහා මහගම සේකර අරගෙන එනවා.
…‘මසට මුන් ඇති කරන
සතකු වැන්නෙමි මම ද’
වැනි හැඟීමක් ඔහුට ඇති වීය
‘පිටත්තරයෙක් ය නුඹ මුන් අතර
මෙය නො වේ නුඹට තැන,
නුඹ මෙයින් යා යුතු ය.’
‘යසෝදා !
එහෙත් මට ඔබ අතැර යා නො හැක
විකුණුවෙමි වෙළෙඳුන්ට ආත්මය
ඔබ සිත පිනවනු පිණිස…’
– ප්රබුද්ධ (1977)
තමුන් කරන දේ තමුන්ගෙ ජීවිතයේ ප්රකාශනයක් වෙනවා වෙනුවට, ඒක තමුන්ගෙ ‘ජීවිතය ගෙනියන මාධ්‍යයක්’ විතරක් වීම සහ පුද්ගලික දේපල වර්ධනය කිරීම පිණිස විතරක්ම තමුන්ගෙ ජීවිත ‘රොඩු’ බවට පත් කර ගනිමින් ‘පිටස්තරයො’ වෙන මිනිස්සු ගැන කාල්මාක්ස් ගේ ආර්ථික සහ දාර්ශනික ලිපි ඇතුළෙ තියෙන සංකීර්ණ, ගැඹුරු පැහැදිළි කිරීම් ‘ප්රබුද්ධ’ කාව්‍යය ඇතුළෙත් අපට මුණ ගැහෙනවා, ඊටත් වඩා සමිපව.
තවත් තැනක, ජර්මනියෙ ෆ්රැන්ක්ෆර්ට් ගුරුකුලයෙ වෝල්ටර් බෙන්ජමින් වගේ චින්තකයො විසින් බරපතල අධ්‍යයනයන්ට ලක් කරපු, ‘කාර්මික ප්රතිනිෂ්පාදනය’ :ඵසජය්බසජ්ක ඍැචරදාමජඑසදබ* ඇතුළෙ කලාවට සිද්ධ විය හැකි දේවල් සහ කලාවේ ධරසටසබ්කසඑහ එක අහෝසි වීම වගේ කාරණා ගැන රිදෙන්න කතා කරන සේකර ඊළඟ මොහොතෙ ඒ ‘ප්රබුද්ධ’ ඇතුළෙ ම අතිශය බෞද්ධ තැනක ඉඳලා මේ හිස්, බොල් කාම සුඛල්ලිකානුයෝගී ජීවිතය ප්‍රශ්න කරනවා හරි ම අපූරුවට.
… හෙළුවෝ ගිජු දෙනෙත්
ව්‍යාපාර හිමිකරුවෝ
-නොව ඔහුගෙ කට හඬට
ඉන් ලද හැකි ලාභයට.
හනා සූකිරි ප්‍රේමයට
හරවා අනුරාගයට
පෙරුවේ ය ඔහු තම කටහඬ
එතැන් සිට
සංගීත තැටිවලට…
– ප්රබුද්ධ (1977)
අවුරුදු තිහක් ගත වෙලත් ඉවර නොවුණු, වෙන වෙන හැඩයන්ගෙන්, වෙන වෙන පාටින් එක එක විදියට ඉස්මතු වෙන්න දඟලන වර්ගවාදය සහ ඒකට බරපතල විදියට වගකිවයුතු, දැනටත් අතීතයේ අබිං මතෙන් වැඩකරන දකුණේ පිස්සු ජීවිත ගැනත් සේකර ලියන්නෙ 1964 තරම් ඈතක දි. ඇත්තම කාරණේ, සේකරගෙ කවියට කාලයක්, අවකාශයක් නැහැ. ඕනම තැනක ඕනම විදියකට ඒ කවිය වලංගුයි. විශේෂයෙන්ම, ඒ කවි ලියැවුණු යුගයටත් වඩා මේ මොහොතට.
…මම හිටියේ අතීත ශ්‍රී විභූතියෙන්
හැඩි දෙමනුන් පළවා හැර
සිරිලක එක් සේසත් කර
බලව් දෙඇස හැර අනුරාපුර නුවර
හිමව් කුලු සදිසි මහ දාගැබ් වෙහෙර
තවමත් උඹ ඉන්නේ
අතීතයේ අබිං මතෙන්
ජරාවාස ගල්කණු ඇද වැටිලා
සඳකඩ පහන උඩ තණකොල වැවිලා…
… අතීතයේ මහා අටුවන් වූ ගස
කාලයේ සුළඟින් මුලිනිදිරී ගිය
නැවතත් බෑ බිම පැළකරවන්නට
පොහොරට ලූවත් මලකඩ කෑ මොළ
– මක්නිසාද යත් (1964)
ඇත්තම කාරණය, සේකර කියන්නෙ මගේ පරම්පරාවට කවදාවත් ඉවර නොවෙන සොයා යෑමක්. ඒක අභ්‍යාසයක්, ජීවිතය, කවිය සහ නැවත නැවතත් ජීවිතය ගැන. ඉස්සර වීමක් නැති, නැවත ගවේෂණය කළ යුතු කලාපයක්. තවත් විදියකට කියනවනම්, දවසින් දවස පරමාදර්ශ දියවෙන, රොඩු ගැහෙමින් යන සමාජ ජීවිතයක් ඇතුළෙ හිරවුණු නූතන ම පරම්පරාවට සේකර කියන්නෙ ‘ඇත්ත ජීවිතයක්’ ගැන හොඳ උදාහරණයක්.
සෞම්‍ය සඳරුවන් ලියනගේ