මනුෂ්යයසම්බන්ධතායනුජීවත්වීමතුළින්මහැදෑරියයුතුගැඹුරුධර්මතාවකි. මන්දමනුෂ්යයාවිසින්ස්වකීයජීවිතයපවත්වාගැනීමඋදෙසා
මුහුණ දෙන සන්සිද්ධි සහ සංකූලතා අතිශය සංකීර්ණ විය හැකි බැවිනි. මානව සම්බන්ධතාවක ස්වරූපය මෙයාකාර විය යුතුයයි කල් තියා කිව නොහැකිය. එය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවක්ද , හුදු මිත්‍රත්වයක් ද එසේත් නැතිනම් එකිනෙකාට ප්‍රකාශ කිරීමෙන් තොරව මුණිවත මගින්ම පවත්වාගනු ලබන ආදරයක්ද පීතෘ දූහිතෘ හැගීමක්ද වශයෙන් ඇතැම් විට සම්බන්ධතාවක් කිසිදා පැහැදිලිව නිර්වචනය කළ නොහැකිය. සැබැවින්ම මානව හැගීම් උදෙසා විද්‍යාත්මක අර්ථකතන සැපයීම අනර්ථකාරීය. ක්ෂණයෙන් බිදෙන නැගෙන මනුෂය සිතිවිලි පුදුමාකාරය. විටක ගොළුය. විටක දොඩමළුය. හදවත දොඩමලු විට කියන පණිවිඩයත් එය වඩාත් නිහඩ විට බෙණෙන වදනත් අතර ඇත්තේ පුළුල් ලෙස විහිදුනු ජීවන වින්‍යාසයකි.
පුළුල් හදවතක් ඇති මනුෂ්‍යයා ජීවිතය පිළිබඳ හොඳ විචාරකයකු බවට පත්වෙයි. ඔහු ස්වකීය ජීවිතය මෙන්ම අනෙකාගේ ජීවිතය දෙසද බලන්නේ විදාරණය වූ දෙනෙතිනි. ඔහු හොඳ හෝ නරක වශයෙන් කිසිදු ක්‍රියාවක් හෝ ප්‍රතික්‍රියාවක් වර්ග නොකරයි. ඔහු ජීවිතය දකින්නේ අනුස්මරණය නොකල යුතු අතීතයකුත් අපතේ නොහැරියයුතු වර්තමානයකුත් පිළිබද පුළුල් වපසරිය සලකා බැලීමක් වශයෙනි. අනපේක්ෂිත අභාග්යාකදී තමා හැසිරෙන්නේ කුමනාකාරවද යන්න පිළිබද මිනිසා තුළ අවබෝධයක් නොමැත. යාන්තිකව ක්‍රියාකාරීවන හදිසි චිත්තාවේගයන් තුළ මිනිසා සිදු කරන්නේ ක්ෂණික අභාග්‍යයන් එක් අවිනිශ්චිත මොහොතක් වේගයෙන් පසු කරීම උදෙසා කෙසේ හෝ කළමනාකරණය කර ගැනීමයි. පැවැත්ම පිළිබඳ අරගලයේ දී මනුෂ්‍යයාට ස්වකීය ක්‍රියාකාරීත්වය අරබයා හොද සහ නරක වශයෙන් ජීවන විලාස විග්රහයන් වර්ගීකරණය කළ නොහැක.
බුදු සමයෙන් දායාද වූ භෂා කලාවාදිය තුළ මනුෂ්‍ය සම්බන්ධතා නිරූපණය වූයේ සත්‍ය ස්වභාවයෙන් නොවේ. බුද්ධ ධර්ය කෙතරම් ගැඹුරු ධර්මයක් වුවද එය අප වෙතට ලේඛනාරූඩ වූයේ පුහුදුන් භික්ෂූන්ගේ කතන්දර එකතුවක් වශයෙනි. පන්සිය පනස් ජාතක පොත්වහන්සේ පිරික්සා බලන විටත් ඉතිහාසගත ඇතැම සන්ධිස්ථාන සළකුණු වූ කෘතීන් ආදිය පිරික්සා කිරීමේදීත් පැහැදිලිවන එක් කරුණක් වන්නේ මනුෂ්‍ය සම්බන්ධතා තමන්ගේ සාහිත්‍ය ආරම්මණය පූරණය වනු වස් බලහත්කාරයෙන් මෙහෙයවා ඇති බවයි. ජාතක කතාව අවසානයේ
පූර්වාපර සන්ධි ගැලපීමේදී බුද්ධ චරිතය වීරත්වයට පත් කොට
අනෙකා පාපියෙකු කිරීමත් සිදුවේ. ආගම පිලිබද උන්මාදය ඇති කිරීම උදෙසා සිදු කළ ජාතක කතා ප්රබන්ධයන්හිදී ‘මේ මාතුගාමයෝ නම් පවිටු වූ සත්ව තෙනෙකි. .. යනුවෙන් කාන්තාව යනු පවුකාර සත්වයෙක් වශයෙන් නාමධාරී විය. නලිනි ජාතකයේ (518 ජාතක කතාව -පි.අ.1367-1374) මුවදෙන ගැබ් ගන්නේ තාපසයා මුත්‍රා කළ ස්ථානයේ වැවුණු තණකොළ අනුභව කිරීමෙනි. ඉන් ඒ මුව දෙන ගැබ් ගත්තා පමණක් නොව ඇය ප්‍රසූත කරන ලද්දේ මනුෂ්‍ය පුත්‍රෙයකි.. ඒ තාපසයාගේ ආනුභාවයෙනැයි කියනු ලැබේ. ඉතින් මේ උපන් කුමාරයා ඉසිසිංග තාපසයෝ නම් වූ අතර නොබෝ දවසකින්ම ධ්‍යාන භාවනා කොට, පංචාභිඥා අස්ටසමාප්තියෙහි උපදවා ගෙන ධ්‍යාන සැපයෙන් කෙළනා වූ ඝෝර වූ තවුස් ඇතිව විශේසයෙන් වසන ලද පංචේන්ද්‍රියයන් ඇත්තාහු වෙති.තවුස් දම කෙතෙක් බලවත් වුවද පසිඳුරන් වසාගෙන සිටිය හැකි සීමාවක් හෝ කාලයක් පිළිබඳ සෑම මනුෂ්‍යයකුටම දැනුමක් නොවේ. මන්ද ඌහු ස්වභාවික තත්වය තුළ ජීව විද්‍යාත්මක සත්වයකු මිස තවුසකු හෝ අනෙකකු නොවේ. ශක්රයන්ද කෙළෙස් විහීනයකු නොවේ. ඌහුද ඉතිහාසයේ පටන්ම සිදු කළේ මිනිසාගේ ක්රමානුකූල දිවිපැවැත්ම නොසිතූ පරිදි අවුල් ජාලයක් කොට ඉන් පසු එළඹෙනා තත්වයන්ට මිනිසා විසින් මුහුණ දෙන ආකාරය පිරික්සා සතුටු වීමයි.
ඉසිසිංග තාපස තෙමේ දෙස බලා හුන් පුහුදුන් ශක්‍රයා ද සිතුවේ මෙබන්දකි.
‘ ‘ උපායෙන් මුගේ ශීලය භේද කෙරෙමි ..ඒ උපායෙහි ඵලයක් ලෙස ශක්‍රයා විසින් කසී රටට වසර තුනක් මුළුල්ලේ වැසි නොදී නවත්වන ලද්දහ.කසී රට හිරුගෙන් දැවී මහත් කර්ශක භාවයට පත්වූ කළ එරට විසූ ජනයා සිය රජුන් අභිමුඛව ගොස් දානා දී ශීලය වඩවා රටට සෙත් පතන්නයි අයැදූහ. රජුද වඩාත් ධාර්මිස්ට පිළිවතකින් රාජ්‍ය යට වැසි අයැද සිටියේය.මෙවන් එකක් දවසක ශක්‍ර දේවේන්ද්‍රයා කිසිත් නොදත්තෙකු විලස රජු ඉදිරියේ පෙනී සිටියේය. ඒ කවුරුන්දැයි ඇසූ කල්හි ‘ දෙ දෙව්ලොව නායක ශක්රෙදවේන්ද්රෙයා් නම් මමය කීහ. නැවත රජු විසින් කුමන කරුණක් පිණිස පෙනී සිටියේදැයි ඇසු විට තොපගේ රටට වැසි නොවටිනා කරුණ දත්තේදැයි ශක්‍රයා විසින් විමසීය. නැතැයි කී කල්හි ශක්‍රයා තමාගේ උපක්‍රමය කෙරේ එල්බියේය.
‘ ඉසිසිංග නම් වූ ඝෝර තපස් ඇති එක් තාපසයෙක් හිමාලය වනයෙහි වසන්නාහ.ඔහුන් නිරන්තරයෙන් වැසි වස්නා කල්හි කිපී ආකාශය දෙස බැලූහ.
‘වැසි නොවැටෙන හේතුව ශක්‍රයාගෙන් දැනගත් රජු ඊට පිලියම් ලෙස කල යුත්තේ කුමක්දැයි විමසීය.ඊට පිළියම් ලෙස රජුගේ දියණිය වූ නලිනි කුමරිය තාපසයා සිටින ආරාමයට යවා ඔහුගේ සිල් බිදිය යුතු බවට ශක්‍රයා විසින් උපදෙස් දෙන ලදී. කුමරිය තාපසයාව නම්මා ගන්නේ අතිශය උපක්‍රමශීලීවය. එය සිනහ උපදවන ලෙස ලියා තබන්නට ජාතක කරුවා සමත්ව තිබේ. ඇය ද තාපසයකු ලෙස ඉසිසංග තාපසයාගේ ආරාමයට යයි. ඉන් පසු සිය ලැජ්ජා ස්ථානය නිරාවරණය වන ලෙස ඔහු ඉදිරියෙහි පෙනී සිටී. කිසිකලෙක ස්ත්‍රී යකගේ ලිංගික අවයවයන් නොදුටු තාපසවරයා සිතන්නේ මේ තාපසියගේ ශරිරයෙ හි වූ වණයකැයි සිතාය.
‘ එම්බා තාපසයෙනි, තොපගේ මේ කලවා යුවළ අතුරෙහි කලු වු පැහැ ඇති මනා කොට පිරියම් කරන ලද සිප්පි මුඛයකට බදු වූ සටහන් ඇතිව පෙනෙන්නේය.කෙසේ වූ වණයක්ද තොපගේ උත්තමාංග යයි කියන ලද නිමිත්ත ස්ථාන නොපෙනෙන්නේය.කිමෙක්ද ඒ තොපගේ ශරීර අභ්‍යන්තරයට වැදී ගියේදැයි විචාළහ.. ස්ත්‍රියද එය ශරීරයෙහි හටගත් වණයක් ලෙස හවා ඊට පිළියම් කරන නියාවෙන් තාපසයා සමග මෙථුන්යෙයහි යෙදී ඌහුගේ ශීලය බිද දැමූ බවත් ස්ත්‍රිය වනාහී පවිටු සත්ව තෙනෙක බවත් ජාතකකතාවෙහි අවසානයෙහි සදහන් වේ. ජාතක කතාව ලියා තබන ලද්දේ ශ්රැති සූචන සමාජයකටය. එනම් ශාක්ෂරතාවය නොමැති කිසිවකු විසින් කියන්නක් අසා සාධුකාර දෙන සමාජයකටය. ඔවුහු වීරයන් දුෂ්ටයන් සහ අහිංසකයන් පිරි මෙබදු කතන්දර රැය පහන් වන තුරු රසවින්දහ. විරාමය නොමැති උත්ප්රාසාත්මක පද සංඟටනය කියවන්නාගේ මධුර භාවය අනුව අසන්නාගේ රුචිය තීව්ර කිරීම හෝ හීන කිරීම තීරණය විය. ගැණියකට ගල් ගැසීමේ පළමු පියවර ගැහැනුන් වෙතම පැවරුණු අතර උපාසක උපාසිකාවෝ ජාතක කතාවක පූර්වාපර සන්ධි විමසීමේදී දුෂ්ට ගැහැණියගේ ආත්මය පිළිබද විමසා ඈ අගතියට පත් වූ නියාව දැන සාධුකාරද දුන්නහ. නමුත් විමසුම් ඇසින් නලිනි ජාතකය පිරික්සීමේදී ශක්‍රයා කෙතරම් අධමයෙක්දැයි වැටහේ. එමෙන්ම සිය දියණියව ගණිකා වෘතියේ යෙදවූ මේ පියා කෙතරම් නරුමයෙක්ද. ස්වකීය පාපය දියකර හැරීම සදහා විහාරමහා දේවීව මුහුදට පකල යැවූ පියාද මේ පියාද දෙදනාම සමානය. පාලකයන්ගේද, දෙවියන් වශයෙන් සමාජයට පහළ වූ බලවේගයන්හිද , ස්ත්‍රී ලිංගය හෙවත් ස්වකීය උත්පත්ති ස්ථානයවත් හඳුනාගන්නට අපොහොසත් ළදරු පුරුෂයන්ගෙන්ද නලිනි කුමරිය කෙළෙසා දැමූ ජාතකකතා කරුවා උත්සහ කළේ ශාසනයෙහි පුරුෂයා අළවා තබන්නට බැම්මක් තැනීමටය. පුරුෂයාගේ පරමාර්ථ සාධනයට රුකුල් දෙන ස්ත්‍රිය සාධුතර පුණ්‍ය වන්ත ස්ත්‍රියක වහයෙනුත් ඔහුව ගේහසික ජීවිතයට අළවා තබන ස්ත්‍රිය පවිටු සත්ව තෙනෙකුත් වහයෙන් අර්ථ ගන්වන ලදහ.ඒ සියල්ල සිදු කරන ලද්දේ ශෘසන ග්‍රාහී පුහුදුන් භීක්ෂූන්
මිස ඒ කිසිවක් බුදුන් වහන්සේගේ චින්තනය නොවේ.එමෙන්ම පිරිමියා යනු ස්ත්‍රී නිමිත්තවත් නොහදුනන ළාබාලයකු බවත් තුවාලයකට පිරියමක් ලෙස සලකා මෛථුන්යෙයේ යෙදෙන අසරණයකු ලෙසත් කළ ඒ අර්ථ දැක්වීම වර්තමානයෙහි පවා කාන්තාවන් වරදෙහි බැදී හසුවන ස්වකීය පුරුෂයා සුදනෙකු කරනු වස් භාවිතා කරයි. නමුත් ඇය නොදන්නේ යක්ෂණියක ලෙස ආරෝපිත කළ කුවේණියක ගේ කුසින් තමන්ද බිහි ව සිටින බවයි.
ස්ත්‍රී පුරුෂ සබතා මෙන්ම ගුරු ගෝල සම්බන්ධතා ද සාහිත්‍යයට නැගුණේ වීරයාගේ පරිමාව ප්‍රසාරණය කරනු විනා සැබෑ අන්තර් පුද්ගල සම්බන්ධතා විවරණය කිරීමට නොවේ.. ගුත්තිල වීරයෙක් කරන්නට මූසිල දුෂ්ටයෙකු බවට පත් විය. නමුත් මූසිලට අසාධාරණය කළේද ගුත්තිලට අනුග්‍රාහකත්වය දැක්වූ අහසේ දෙවිවරු නිසාවෙනි. දිව්‍යමය අනුග්රහයකයන් නිසා ගුරුවරයා ජයග්‍රාහකයකු වී දක්ෂ ගෝලයා ඓතිහාසික මූසිලයකු බවට පත් විය. ධෝම නම් ගුරුවරයා විසින් උපමානට වරාකොළ කවන්නේ ද ගුරු භක්තිය පිළිබද පරීක්ෂාවකදීය. නමුත් එකී සංසිද්ධියේ දී දෙවියන් උපමානට පිහිට වී ගුරු භක්තිය නිසාම වරාකොළ කමින් අඳ භාවයට පමුණුවාලූ දෑස සුවපත් කළේය. අහිංසක අංගුලි මාල වූයේ ද දිසාපාමොක් කෙරෙහි වූ අන්ධ භක්තිය නිසාය.දිසාපාමොක් විසින් දක්ෂතම ශිෂ්‍යයාට සිය දුවණිය පවරන්නේ ගෝලයාගේ උපාධි සහතිකය බවට සිය දියණියව පත් කරමිනි. මනමෙ කුමරැ ධනුර්ධර වුවද ඔහුට වනන්තරය ආගන්තුකය. වනන්තරයේ භාෂාව හඳුන්නට පුළුවන් වැද්දාටය. කුමරියට ජීවිතය බෙදා ගැනීම පිළිබද අත්දැකීමක් නොමැත. මනුෂ්‍යයා ඛේදවාචකයට ලගා වන්නේ තමාට තමා මගහැරුණු තැනය. ගැහැණියක හෝ පුරුෂයකු විසින් වරදකට පොළඹවනු ලබන්නේ සමාජ යාන්මත්රණයේම කුමන්ත්රණකාරී පුවාහයක් විසිනැයි කිව හැකිය. පන්සිය පනස්ජාතය මුළුමනින්ම පිරික්සා බැලූ විට වටහා ගත හැකි වන්නේ පුහුදුන් මිනිසුන්ගේ චිත්ත ප්‍රීතිය උදෙසා එකී කතන්දර ලියා ඇති බවයි. පුහුදුන් මිනිසා ප්‍රිය කරන්නේ කුමකටද? ඌහු දුෂ්ටයන්ට ප්‍රිය කරති. වෙසෙසින්ම කාන්තාවක හිංසනයට පත්වන බව අසන්නට පවා පිය කරති. එබැවින් චීවරය කෙරේ පුරුෂයා අලවා තැබීමට ලියූ ජාතක කතන්දරයේදී මානව සම්බන්ධතාවන්හි උත්තම ස්වභාවය විනාශ ව ගියේය. නමුත් ඇතැම් කතාවකදී කතෘ වරයාගේ ඇති චින්තනමය සද්භාවය නිසා මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ගැඹුරු ධාරිතාවක් දැකගත හැකිය.
චුල්ල හංස ජාතකය එබන්දකි.( පන්සිය පණස් ජාතකය - 525 ජාතක කතාව) බුදුන් වහන්සේ විසින් මේ ජාතක කතාව දේශනා කරන ලද්දේ අනඳ මහ තෙරුන්වහන්සේගේ ගුණ වර්ණනා කරනු පිණිසය. දෙව්දත් විසින් නාලාගිරි හස්තයාට රා කළ සොලොසක් පොවා බුදුන් සමීපයට එවන ලද අවස්ථාවේ ස්වකීය ජීවිතය පරදුවට තබා හස්තියාට අභිමුඛ වීමට අනඳ තෙරුන් තීරණය කළේය. මේ අවස්ථාවේ හස්තියාගේ බිහිසුණු ස්වබාවය දැක බියපත් වූ ස්ත්‍රියක යක විසින් ස්වකීය දරුවා බුුදුන්ටත් හස්තියාටත් අතරමග දමා පලා ගියාය. ගුත්තිලගේ වීණා වාදනය ඇසූ දවසේත් ස්ත්‍රියන්ට ස්වකීය දුරුවන් ඇකයෙන් ගිලිහෙනු නොදැනී තිබිණි. මිනිසාට තමාව මෙන්ම සමීපස්ථයන්ද මගහැරෙන්නේ ස්වකීය ජීවිතයේ ප්රහර්ශයකදී හෝ ඛේදාන්තයකදීය. එය සාමාන්‍ය ස්වභාවයයි. බුදුන් විසින් නාලාගිරි ඇතා දමනය කිරීමෙන් පසු අනඳ තෙරුන් පිළිබද අතීත කතාවක් ලෙස චුල්ලහංස ජාතකය කියැවේ.
මහිස රට සකුල නුවර සකුල නම් රජුගේ රාජ්්ය කාලයේදී අප මහා බෝධි සත්වයාණන් වහන්සේ දෘතරාෂ්ට්‍ර නම් හස රදව ඉපදුණහ. දෘතරාස්ට්ර නම් හංස නායකයාට සෙනෙවි වූයේ සුමුඛ නම් වූ හංසරාජයාය. මොවුන් සයානුදහසක් හංස පිරිවරද සමග චිත්‍ර කූඨ පර්වතයෙහි වාසය කලාහුය. එක් දිනක් ස්වකීය පිරිවරගේ ආයාචනයක් නිසා මානස විල් තෙර අසබඩ ට යන්නට දෘතරාශ්ට්ර තෙමේට සිදුවිය. ‘ පිරිවර හා සමග එවිලට ආකාශයෙන් බස්නාහු පය මලෙහිම එළාගෙන බටුවාහුය.එකල බෝධී සත්වයන්ගේ පය යපටකින් මැසූ කලක් පරිදි ඇසිර ගියේය.ඉක්බිති මල කඩා ගනිමියි සිතා ඇදි ඇදී සේ පළමු කොට කකුලේ සම් කැඩී ගියේය.දෙවෙනිව මස් කැඩී තුන් වෙනිව ඇට කැඩී ඇටයෙහි ඇසිර සිට ලේ වෑහෙන්නට පටන් ගෙන බලවත් වූ දුක්ඛ වේදනා පැවැත්තේය... දෘතරාශ්ට්ර මානස විලට බටුයේම දඩයක්කාරයකු විසින් අටවන ලද උගුලක දෙපා සිරකරමිනි. ඌහු ඉන් අත්මිදෙන්නට ගත් ව්යානයාමයේදී මුහුණ දුන් භයංකාර තත්ත්වය කෙබඳුද? දෙපා යකඩ වරපටින් මුදවා ගන්නට දැරූ වෑයමේදී කකුලේ සම කැඩී, මස කැඩී අනතුරුව ඇටද බිඳී ගොස් මහත් වේදනා උපන. ස්වකීය නායකයා පත් වූ භයංකාර තතු දුටු සේනාව ඔහු අතහැර ඈතට පියාඹා ගියෝය.එකල සිත් පරීක්ෂා කැරන්නා වූ මහබෝධිසත්වයෝ සුමුඛයන් අමතා මෙසේ ඇසූහ. සියළු පිරිවර මා හැර දමා ගියේ මා ගැන කිසිවක් නොවිමසාය. ඔබ මා හැර නොයන්නේ ඇයි? එකල්හි සුමුඛගේ මුවින් නිකුත් වූයේ මධුරතම වදන් මාලාවකි.
‘ දේවයන් වහන්ස .නුඹ වහන්සේ හැර මෙතනින් මම ගියෙමි නමුත් නොගියෙමි නමුත් මියෙන්නෙමි වෙමි.සුවපත් වූ නුඹ වහන්සේට සේවය කොට දුකට පැමිණි වේලෙහි ඇරපියා ඒකාන්තයෙන් නොයමි.නුඹ වහන්සේ මරණ පාසයෙන් බැඳුණු සේක.මම ස්නේහපාසයෙන් බැඳී ගියෙමි..
ජාතක කතාකරුවා මෙහදී බෝධිසත්ව චරිතය වෙසෙස් කොට උලුප්පා නොමැත. නායකයාටද වැරදීමට හැකිය. මෙහිදී අනඳ තෙරුන්ගේ අතීතාත්මභාවය හෙවත් සුමුඛ නම් හසරදගේ උසස් පැවැත්ම හරහා ඔහු පවසන්නේ ජීවිතයේ අසිරිය පවතින්නේ සම්බන්ධතාවල පදනම මත බවයි. එය තිරිසන් ආත්මයක්ද මනුෂය බැඳීමක්ද යන වග වැදගත් නොවේ.නමුත් වර්තමානයෙහි මිනිසා ගේ සියළු චර්යාවන් යාන්ත්‍රිකව පවතී. රාත්යහි තුරුලු වී නිදා සිටි ගැහැනියව පාන්දර මරා දමන්නට හැකි තරමට මනුෂ්‍යයාගේ ජීවිත පරිහානියට පත්ව ඇත.තමාටම කියා ශඍිරයක් ලියා අත්පත් කර ගැනීමේ නිස්සාර බාවය ගැහැනුන් මෙන්ම මිනිසුන්ද වටහා ග්නනා දවසක් එන තුරු අසුන්දර සන්සිද්ධීන් අසමින්ද විදිමින්ද කම්පා වෙනවාට එහා යමක් කරන්නට අපිදු අපොහොසත් වන්නෙමු. මෑත කාලයේ විඳින ලද නිර්මාණ අතරින් අශෝක හඳගමගේ ඇගේ ඇස අග සිනමා පටයට මා බෙහෙවින් ප්‍රිය කරන්නේ මනුෂයයන් සහජයෙන්ම ලොබ වඩන ප්‍රචණ්ඩත්වයට පිටුපා මනුෂ්‍යත්වයේ සීමාව තුළ ගුටලුවක් දෙස විවෘත මනසින් බලන්නට දැරූ වෑයමක් නිසාය. ආදරයට පදනම වන්නේද විසල් හදවතක විවෘත භාවයයි.ආදරය පිදිය යුත්තේ ආදරයක් අවැසි තැනැත්තාටය.. ‘ඔබ හැර මම මෙතනින් ගියද නොගියද මගේ මරණය කවදා හෝ නියතය.ඔබ දුකට පත් වේලෙහි කිසි කලෙක හැර නොයමි. ඔබ මරණ පාශයෙන් බැඳුණු මෙවෙලෙහි මම ස්නේහ පාශයෙන් (පහසින්) බැඳී ගියෙමි.සුමුඛ නම් හංසයාගේ සුදෝ සුදු පියාපත් මෙන්ම ඒ හඩද අතිශය ප්‍රීතිමත් කටහඩකි. ජීවිතයේ ප්‍රිතිය රැදී ඇත්තේ හදවතේ පැහැදිලි පැවැත්ම සමගය.අසිරිමත් ආදරය යනු ජීවිතයෙහි මිහිරි වේදනාවන් හමුවේ අනෙකාගේ හදවත වඩාත් හොදින් වටහා ගැනීමයි. මනුෂ්‍යයාගේ හදවත ගැහෙන රාවය තරම් සුන්දර ශබ්දයක් මෙලොවේ නොමැත. මොහොතක් නතර වී ඇහුම් කන් දෙන්න.එය මෙලොව පවතින මිහිරිම නාදය බව ඔබට වැටහේවි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි