නැතිවුණු ආදරයක් වෙනුවෙන්
හෙළන සුසුම් අන් හදක ඇඳී
පෑරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ ...... සුදෝ මම ආදරෙයි..!
"මයුරිගේ කතාව" චිත්‍රපටයට ගාමිණී ෆොන්සේකා ලියූ ගීය. ගයන්නී විශාරද සුජාතා අත්තනායක. මයුරිගේ කතාව අධ්යක්ෂවරයා ද ගාමිණී ෆොන්සේකාය.
ආචාර්ය ගාමිණී ෆොන්සේකා.. අප අතරින් වියෝවී හෙටට (සෙනසුරාදාට)අවුරුදු දහතුනකි. ගාමිණී වියෝ වුණේ 2004 වසරේ සැප්තැම්බර් 30 දාය. සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා 1936 මාර්තු 21 දා දෙහිවලදී උපත ලැබුවේය. මිය යද්දී ඔහුට වයස අවුරුදු 68 කි.
ගාමිණී ෆොන්සේකා නළුවෙක් පමණක් නොවේ. ඔහු චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. ගී පද රචකයෙකි. එමෙන්ම චිත්‍ර ශිල්පියෙකි.
ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙන් සිප් සතර හැදැරුවේය. ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ චිත්‍රපටවල තාක්ෂණික ශිල්පියකු ලෙස දායක වෙමින් ගාමිණී සිනමාවට පිවිසියේය. ලෙස්ටර්ගේ "රේඛාව" චිත්‍රපටයේ සමූහ දර්ශනයකට එක්වෙමින් ගාමිණී පළමුවරට සිනමා කැමරාවක් හමුවේ පෙනී සිටියේය.
ගාමිණී ලෙස්ටර්ගේ 'සංදේශය'' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවේය. ඒ 1960 දීය. ඉන් පෙර 1959 දී ඔහු "දෛවයෝගය" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේය. ඉන්පසු ගාමිණීට එක දිගට චරිත ලැබෙන්නට විය.
ගාමිණී ජනප්‍රිය රැල්ලේ මෙන්ම කලාත්මක චිත්‍රපටවලටද එකසේ දායක විය. චණ්ඩියා, සූර චෞරයා වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑ ඔහු නිධානය, පරසතුමල්, සාගරයක් මැද, වැලිකතර, සරුංගලේ ඇතුළු කලාත්මක චිත්‍රපට රැසකටද දායක වූයේය.
ඔහු රඟපෑ චිත්‍රපට රැසක්ම එකල බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේය.. චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ ගාමිණී "පරසතුමල්", "උතුමාණෙනි", මයුරිගේ කතාව, සාගරයක් මැද, කොටි වලිගය, අන්තිම රැය, නොමියෙන මිනිසුන් ඇතුළු චිත්‍රපට දහයකට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළේය. "අන්තිම රැය" ගාමිණී රඟපෑ අවසන් චිත්‍රපටය මෙන්ම අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය ද විය. ඒ 1998 දීය. "සොරුන්ගෙත් සොරු" සහ "සහනය" ගාමිණී නිෂ්පාදනය කළ චිත්‍රපටයි.
ගාමිණී ෆොන්සේකා එක් ගීතයක් ගායනා කර තිබේ. ඒ රේඩියෝ සිලෝන් සඳහා ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමගය. "හිත යන අත යන්නට" ඒ ජනප්‍රිය ගියේ රචකයා කරුණාරත්න අබේසේකරය. තනුව මොහොමඩ් සාලිය", සිනමාවේ දැවැන්ත භූමිකාවන්ට පණ පෙවූ ගාමිණී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය කතානායකවරයකු මෙන්ම උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස දේශපාලන තලයේ ද භූමිකා දැක්වූවේය.
ගාමිණී ෆොන්සේකා ලද සම්මාන ගණන රැසකි. "ගම්පෙරළිය" ට ඔහු පළමු සම්මානය ලබා ඉන්පසු ජනප්‍රිය නළුවා දක්ෂතම නළුවා ලෙස සරසවි, ජනාධිපති සහ විචාරක සම්මානයෙන් පාත්‍ර වූයේය.
"අහිමි වුණත් නුඹ ලඳේ
මට හඬන්න අවසර නෑ"
ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන ඒ ගීයේ පද රචකයා වන්නේත් ගාමිණීය. වියෝවීමේ දහතුන් වැනි සංවත්සරය සමරන මොහොතේ තබන මේ සටහන නිමා කරන්නේ ගාමිණී ෆොන්සේකා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "සරුංගලේ" චිත්‍රපටයට ලියූ මේ ගී පද පෙළ ද සමගිනි. සංගීතය වික්ටර් රත්නායකයන්ගේ,
බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ
වනමල් කැකුලිය සොයා වඩින්නේ
වනමල් කැකුලිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ
අජිත් අලහකෝන්
දිවයින