ආසියානු සිනමාවට වඩා බටහිර සිනමාවට නෑකම් කියන රංග ප්‍රතිභාවක් ඇති ඔහු තුල තිබු විශිෂ්ටත්වය මෙතෙක් යැයි කිව නොහැක. ඔහු තුල ගොනු කරගෙන තිබුණු අහස තරම් දිගුවුත්,මුහුද තරම් ගැබුරු වුත් දැනුම් සම්භාහරය ලාංකේය සිනමාවට නිර්ලෝභීව ඔහු අතහැරියද එයින් ප්‍රයෝජන ගත්තේ කීයෙන් කීදෙනාද යන්න නම් විමර්ශනය කල යුතුම කරුණෙකි.
ගෝඞ් ෆාදර් 02 චිත්‍රපටයේ හයිමන් රොත්ගේ චරිතය කල ලී ස්ට්රාස්බර්ග්, ඔහුගේ රංගන ජීවිතයේ අජීවමාන ගුරුවරයා විය. රගපෑමට ඒමට ප්‍රථම ඔහු අධ්‍යනය කලේ ස්ට්රාස්බර්ග්වය.හැගීම් යනුද,චිත්තාවේග යනුද වෙන් වෙන් වශයෙන් හදුනාගෙන ඔහුගේ කුසලතා මගින් නිශ්ශිත රාමුවක් තුල සිනමාවේදී හෝ ටෙලි සිනමාවේදී පෙන්නුම් කල විශිෂ්ටයෙකු වූ ඔහු වසන්ත කොටුවැල්ල නම් විය..
මනෝලිංගික බොළඳතා, ගැටලූ, තණ්හා ගුප්ත බව සමිශ්ර ලාංකේය සිනමා ඉතිහාසයේ නව දෘෂ්ටියක් වූ "පර්සි පීරිස් " ගේ චරිතය රගපෑම එතරම් පහසු කාරණයක් නොවේ. එලෙසම නවක නළුවෙකුට එතරම් විශාලවූ අභියෝගයක් මුලින්ම ගැනීමම අභියෝගයක්ය. ධර්මසිරි බණ්ඩාරනායකගේ මනෝ චින්තනයේ සැරි සැරූ පර්සි පීරිස් "තුන්වෙනි යාමයට ජීවමාන කලේ වසන්ත කොටුවැල්ලය. මිනිස්සුන්ගේ ගුප්ත ගූඪ ඇතුළාන්තය තුල සිට, පිටතට ගෙන එන්නට ඔහුට පිටුවහලක් වුයේ ලී ස්ට්රාන්ස්බර්ග් ගේ න්‍යායය . චරිතයකට අවතීරණ වීමට ප්‍රථම ඒ චරිත ස්වභාවය නිසි ලෙස අධ්‍යනය කිරීම පමණක් නොව ,එය පුරුදු පුහුණුවීම,නො එසේනම් අත්හදා බැලීම් කර එම චරිතයට පිවිසීම මොන තරම් දුෂ්කර වූ කාර්යක් වුවද, වසන්ත කොටුවැල්ල එම දුෂ්කර මාර්ගයේ ගොස්ය ,චරිතයට පිවිසෙනුයේ. අයිරාංගනී සේරසිංහ,වින්සන්ට් සේරසිංහ, ඉන්දිරා ජෝන්ක්ලස් වැනි ප්‍රවීන නළු නිලි අතරට යා යුත්තේද සන්නද්ධවය. "තුන්වෙනි යාමය" තුල වඩාත්ම ඇස යනුයේ ,සිත නවතිනුයේ, පර්සි පිරිස් ලගය. මුළු චිත්‍රපටය දෝලනය වුයේද පර්සි පිරිස් වටාය.සාමාන්‍යයෙන් ඕනෑම රංග ශිල්පියෙක් රගපෑම් ගණනාවකින් පසු පරිණත වෙයි. එහෙත් වසන්ත කොටුවැල්ල, ,තුන්වෙනි යාමයේ පර්සි පීරිස්ට ආරුධ වුයේ පරිණත වීමෙන් පසුවය.ඒ පරිණත රගපෑමට වසන්ත O.C.I.C සම්මාන උළෙලේ හොදම නළුවා සම්මානය දිනාගත් අතර සරසවිය හා ජනාධිපති සම්මාන උළෙලදී කුසලතා සම්මානයෙන් පුදනු ලැබීය.
තුන්වෙනි යාමය සිනමා පටය සසල කලේ ප්රබුද්ධ සිනමා රසිකයන්වය. මට වසන්තව පෙනුනේ ගෝඩ් ෆාදර් 2 රගපෑ ඇල් පචිනෝ ලෙසය. ගාමිණි ෆොන්සේකා විසින් අපට පෙන්වුයේ මෙන්න මේයයි රගපෑම කියාය. ජෝ අබේවික්‍රම විසින් කලේ රගපෑම තුල අපව ජීවත් කිරීමය. විජය කුමාරණතුංගගේ රගපෑම අපව දේදුනු වර්ණ ලෝකයකට රැගෙන ගියේය. එහෙත් වසන්ත කොටුවැල්ල තම රගපෑම තුලින් අපට රගපෑම ඉගැන්විය. තුන්වෙනි යාමයෙන් පසුව ලාංකේය යථාර්තවාදී සිනමාවේ කිසියම් අඩුවක් පිරුනා මෙන් දැනුනි. ඒ ලෝක සිනමාවට සමගාමී සුවිශේෂ නළුවෙකුගේ ප්රවිෂ්ඨයය. ධර්මසිරි වසන්තව සොයා ගැන්මත්,ධර්මසිරිට වසන්තව ලැබීමත් තුලින් වඩාත්ම ප්‍රභෝධමත් වුයේ ,මනස තුල සනිහිටහන් වන විකාර රූප ,සිනමා භාෂාවෙන් එලියට දමන්නට තැත් කරන නිර්මාණ කරුවන්ය.
ගම්පෙරළිය යලි සිනමා පටයකට නැගෙන්නට විය. මෙවර එය අධ්‍යක්ෂණය කරන්නට සැරසුනේ බර්ට්‍රම් නිහාල් ය.වසන්ත කොටුවල්ලව එයට තෝරාගත්තේ සංස්කාරක වරයා ලෙසය. එහෙත් එය කෙරුනේ නැත. පසුව එය ටෙලිනාට්‍යකට පරිවර්තනය කිරීමට බර්ට්‍රම් නිහාල් තීරණය කළේය. ඒ වන විට වසන්ත ජර්මානු චිත්‍රපටයක් වූ "සර්කස් ඔන් ද මූන් " චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩ කරමින් සිටියේය. බර්ට්‍රම් වසන්තට කතා කලේ ටෙලි නාට්‍යයේ සංස්කරනයටය. රූපගත කරන අවස්ථාවේ,පියල්ට තෝරාගත් නළුවා පැමිණ සිටියේ නැත. බර්ට්‍රම් වසන්තට පියල්ගේ චරිතය රගපෑමට කීය. අහබුවකින් පැමිණුනු එම චරිතයට වසන්ත පන පෙවිය. හෙන්රි ජයසේන ගම්පෙරළිය චිත්‍රපටයේ රගපෑ ශෛලය චිත්‍රපටයට සීමා කෙරූ වසන්ත චරිත අධ්‍යනයෙන් පසු එම චරිතය මතට මුදා හැරියේ ඔහුගේම ශෛලයකි . ප්‍රේක්ෂකයන් එය දෙයාකාරයෙන් බැලීමට පුරුදු වූ හෙයින් හෙන්රි මෙන්ම වසන්තද ඔවුන්ට සුවිශේෂ විය.
එතැන් පටන් නම් සිද්ධ වුයේ විශාල ඛේදවාචයකි. සිනමාව තුලම වසන්ත වාෂ්ප වී ගියේය. මගේ මතකය නිවැරදි නම් ඔහු රගපෑවේ "තුන්වෙනි ඇස" සහ "දෙව් දුව" චිත්‍රපටවල පමණි. එහෙත් වසන්ත යලි ප්‍රතිභාපූර්ණ රගපෑමක් , සුමින්ද සිරිසේන,හා ජයසේකර අපොන්සු සමග රගපෑවේ පුංචි තීරයේය. ඒ කේ.ජයතිලකගේ ප්‍රචලිත නවකතාවක් වූ "චරිත තුනක් " හී ඉසා හා සනාට මැදිවූ රන්ජිත් ගේ චරිතයයි. එය.අත්මාර්ථකාමිත්වය ,ලෝබ කම ,සහ තමා හා තම බිරිද හා දරුවා පමණක් මෙලොව ජීවත් විය යුතුයැයි සිතන මුග්ධ චරිතයකි. වසන්ත එය ප්‍රතිනිර්මාණය කෙරූ අකාරය තුලින් දිස්වූයේ විශිෂ්ටත්වයයි . ඒ විශිෂ්ටත්වය තුලින් ඔහු සාක්ෂාත කලේ හේ පරිපූර්ණ රංගන ශිල්පියෙකු බවය. ඉන්පසු ඔහු සුභ ප්‍රර්ථනා,සුර අසුර , ගිණිගත් රැයක් ,සංසාර මන්දිරේ ,හා සද්ගුණාකාරය යන ටෙලි නාට්‍යයන් තුලට ඔහුගේ ශාරය දිය කලද, ඔහු රගපෑ චරිත තුන වූ තුන්වෙනි යාමය චිත්‍රපටයේ පර්සි, ගම්පෙරළිය ටෙලි නාට්‍යයේ පියල් සහ චරිත තුනක් ටෙලි වෘත්තාන්තයේ රංජිත් ,ඔහුට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද, ජීවිතා කාලයටම සැහීමකට පත්විය හැකි විය .
නමුත් දැන් මා දන්නා තරමින් ප්‍රේක්ෂකයා එසේ සැහීමකට පත්වී නැත. ඔවුන් යලි යලිත් වසන්ත කොටුවැල්ල නම් විශිෂ්ටයාව ඉල්ලමින් සිටී. එයට පිළිතුර ඇත්තේ නම් මා ලග නොව. වසන්ත කොටුවැල්ල නම් ප්රතිභාපූර්නයා ලගය.
ශෝන් මැක්ස්මස් දිසානායක