සුපිරි තරු සංකල්පය ප්‍රාසාංගික කලාවේ අබිසෙස් දරා ඇති යුගයක ගායන තරුවක් වීමේ සිහිනය පසුපස හඹායන ඉන්සියා නම් ළාබාල මුස්ලිම් දැරියකගේ කතා පුවත ‘සීක්රට් සුපර් ස්ටාර්‘ (රහසිගත සුපිරි තරුව ) නමින් පසුගිය 19 වැනිදා සිට බොලිවුඩ් තිරයේ දිග හැරෙයි.ඉන්සියා තම සිහිනයට තටු දීමට ශක්තිය කර ගන්නේ ජේත්තුකාර ශක්ති කුමාර් සංගීත අධ්යක්ෂවරයායි.
නමේ අරුතේ අයුරින්ම ‘සීක්රට් සුපර් ස්ටාර්‘ සංගීතමය සිනමා පටයකි.කතා නායිකාව ඉන්සියා යනු දක්ෂ සිසුවියක නොවේ.ඇය තම මලණුවන්ට යහපත් සොයුරියක ද වන්නේ නැත. ඉන්දියානු සංස්කෘතියේ පරමාදර්ශී දියණියකගේ භූමිකාවද ඇයගෙන් නිරූපණය නොකෙරේ.ඉන්සියා මලික් පාසලේ තමන්ට හිතගිය ගැටවර සිසුවකුට සැරවැර වීමට තරම් දඩබ්බර වූ චරිතයකි.දඟකාර පෙරළිකාර නව යෞවනියගේ චරිතය නිරූපණය කරන්නේ සයිරා වසීම්ය. සැබෑ ජීවිතයේද සයිරා සොළොස් හැවිරිදි නව යෞවනියකි.මීට පෙරත් ‘දාංගල්‘ සිනමා පටයේ ගීතා ෆොගට් ගේ බාල කාලය නිරූපණය කළේ ද සයිරාය. එහි ක්‍රීඩිකාව මෙහි ගායිකාවකි. දාංගල් හි ළාබාල ගීතා ෆොගට් ලෙස කළ රංගනයට ජාතික සිනමා උළෙලේ හොඳම සහාය නිළිය ලෙසින් සම්මානයට පාත්රවූ සයිරා ‘සීක්රට් සුපර්ස්ටාර්‘ සිනමා පටයේ ඉන්සියා (ඉන්සු) චරිතයෙන්ද මේ වන විටත් ප්‍රේක්ෂක විචාරක සම්මානයට පාත්රවී අවසන්ය.ඇයගේ රංගනයට ප්‍රථම මනාපය හිමිවූයේ සුපිරි නළු විශිෂ්ට රංගන ශිල්පී අමීර් ඛාන් ගෙනි. සීක්රට් සුපර් ස්ටාර් අධ්යක්ෂ අද්වායිත් චන්දන්ට අවශ්‍ය වූයේ සයිරාගේ මංගල රංගනය සීක්රට් සුපර් ස්ටාර් වලින් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට සැලැස්වීමටයි. එහෙත් දාංගල් චරිතයට ඇය තරම් සුදුසු වෙනත් අයකු සොයා ගැනීමට නොහැකිවිය. සිනමා පටයේ ඉන්සියාගේ ජේත්තුකාර සංගීත අධ්යක්ෂවරයා ලෙස රඟන අමීර් ඛාන් (ඔහු දාංගල් සිනමා පටයේ ඇයගේ පියා ලෙස රඟයි) පවසන්නේ සයිරා මල්ලවපොර තරඟ ගැන කිසිවක් නොදැන පොර බදන්නට ඉගෙනගත් බවත් සංගීතයට සම්බන්ධ නැතිව සංගීතය හැදෑර බවත්ය. ඉතා දක්ෂ ලෙස චරිත දෙකටම ප්රවිශ්ඨ වීම නිසා ඇය ඉතා දක්ෂ තාරකාවක වන බවට අමීර් පැවසුවේ වගකීම් සහගතවය.
සීක්රට් සුපර්ස්ටාර් චරිතය උදෙසා ඇය ගිටාර් වාදනය හැදෑරුවාය. මෙග්නා මිශ්රා ගායිකාව සමග දිගු කාලයක් ගත කරමින් ගී ගැයීම ගැන සයිරා බොහෝ දේ උගත්තාය. ඇය සමග ගී ගයා පුහුණුව ලැබුවාය. සිනමා පටයේ සෑම ගීයකටම ගිටාරය වාදනය කළේ සයිරාමය.
මව සහ දියණිය අතර පවතින සබඳතාව සිනමා පටයේ හදවත බව අධ්යක්ෂවරයා පවසන්නේය. මෙය නව යෞවනියක රියැලිටි තාරකාවක වීමට මවන සිහිනයක් ගැන කියැවෙන බොලිවුඩයේ තවත් එක් මසාල වට්ටෝරුවක් නොවේ. ගැහැනු දරුවා සහ ගැහැනිය ගැන සිතීමට බොහෝ දේ ප්‍රේක්ෂකයාට ඉතිරිකරන සිනමා නිර්මාණයක් ලෙස සීක්රට් සුපර්ස්ටාර් හැඳින්විය හැකිය.ෆාරුක් මලික්(රාජ් අර්ජුන්) හෙවත් ඉන්සියාග් පියාට දියණිය ඉන්සියා හිසට බරකි. පුතුටත් දියණියටත් ඔහු සමානාත්මතාවෙන් සලකන්නේ නැත. දියණියගේ ගායිකාවක වීමේ සිහිනය බොඳ කිරීමට පියා සිය ආඥාදායක ගතානුගතික අදහස් උදහස් අවියක් කර ගනී. ෆාරුක්ගේ බිරිය නජ්මා ගෘහස්ථ හිංසනයේ ගොදුරකි. සැමියා අභිබවා යෑමට හැකියාවක් නැතත් සියලු පීඩනයන් ලොවට සඟවාගෙන ඇය දියණියගේ මහුණේ සිනාමල් පුබුදුවාලීමට කරන්නේ කෙබදු කැපවීමක්ද? මවට සිදුවෙන අසාධාරණයට එරෙහිව සොළොස් හැවිරිදි දියණිය සවියක් වන්නේ කෙසේද? සීක්රට් සුපර්ස්ටාර් සංගීත තරගාවලියකට වඩා පුරුෂාධිපත්‍යයට එරෙහි ජීවන අරගලයකි.
අමීර්ඛාන් යනු ෂාරුක්, සල්මන්, අමීර් යන ත්‍රිත්වයෙන් ඉතා අඩුවෙන්ම සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වන්නකි. ඔහුගේ නිර්මාණයක් නැරඹීමට රසිකයන් පුරා වසරක් බලා සිටිය යුතුය. දාංගල් සිනමා පටයේ අමීර්ඛාන්ගේ (මහාවීර් සිං ෆොගට්)දියණිය ගීතාගේ බාල කාලය නිරූපණය කළේද සයිරාය. මේ පියා හා දියණියගේ සබඳතාව සීක්රට් සුපර්ස්ටාර් සිනමා පටයේ ගුරුගෝල සබඳතාවකි.
අමීර් රඟන්නේ ශක්ති කුමාර් නම් මාන්නක්කාර සෙල්ලක්කාර, නිර්මාපකයකු ලෙස අසාර්ථක වෙමින් පවතින වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීමේ අරගලයක ඔහු යෙදෙන්නේය. අමීර් මේ චරිතය නිරූපණයේදි ජිතේන්ද්‍ර සිං චරිතය අනිල් කපුර් යන ජ්‍යෙෂ්ඨ නළුවන්ගේ පෞද්ගලික ඇවතුම් පැවතුම් ආදර්ශයට ගෙන ඇත.
සීක්රට් සුපර්ස්ටාර් සිනමා පටය මෛයින් කෝන් හූන්, මේරි ප්යාරි අම්මි, සප්නේ රේ, අයිල් මිස් යු, නච්දි ෆිරා, සෙක්සි බාලියේ, ගුඩ් ගුඩ්, ඕරේ මන්වා යන ගීත අෂ්ඨකයෙන් රසාලිප්ත වී තිබේ. මෙහි සානියාගේ ගීත ගීතවත් කරන්නේ මෙග්නා මිශ්රාය.
සීක්රට් සුපර්ස්ටාර් වසරේ විශිෂ්ඨතම සිනමා පටය ලෙසින් සිනමා ක්ෂේත්‍රෙය් ප්රවීණයන්සේම විචාරකයන්ගේද පැසසුමට ලක්වී අවසානය. අමීර්ඛාන්, ඔහුගේ බිරිය කිරන් රාඕ, ආකාශ් චව්ලා, සුජේ කුට්ටි, ශ්‍රි නිවාස් රාඕ, නිෂ්පාදනය කළ අදායර් චන්දන් රචනාකළ සීක්රට් සුපර්ස්ටාර් ඔක්තොම්බර් 19වැනි දින (දීපවාලියේදි) සිට තිරගත වීම ඇරැඹිණි. එයට සුපිරි මසාල සිනමාපටයක් වන ගෝල්මාල් අගේන්, විශාල තර්ජනයක් වී ඇතත් අති සාර්ථක ආදායමක් ලබමින් බොලිවුඩයේත් ලොව පුරාත් තිරගත වෙමින් පවතී.
චම්පිකා දීපානි රණසිංහ