ශ්‍රී සුමන අභයදාන සංගමය මඟින් පවත්වනු ලබන අභයදාන පුණ්‍ය මහෝත්සවය සහ කලාකරුවන් උදෙසා වන සම්මාන ප්රදානෝත්සවය ඉරිදා (05 වැනිදා) ඓතිහාසික යාපහුව රාජධානියේදී පවත්වනු ලැබේ. පසුගිය සම්මාන ප්රදානෝත්සවයේදී සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා පිළිබඳ සනත් ගුණතිලක විසින් මෙවැනිම ලිපියක් සම්පාදනය කරන ලදී. මෙවර සම්මානයට පාත්‍ර වන ප්‍රවීණ නිළි අනුලා කරුණාතිලක පිළිබඳ සනත් ගුණතිලක විසින් ලියන ලද ලිපියකි මෙය.
අනුලා කරුණාතිලක නම් රංගනවේදිනිය පිළිබඳ මා මුලින්ම දැන ගන්නේ සහ ඇය දැක ගත්තේ 'පරසතු මල් ' චිත්‍රපටය නැරඹීමට ගිය අවස්ථාවේදීය. කුඩා පාසල් දරුවෙකු වූ මම එවකට අතිශයින් ප්‍රිය කළ ගාමිණී ෆොන්සේකා රඟපෑ තවත් බයිස්කෝප් චිත්‍රපටයක් ලෙස 'පරසතු මල්' බැලීමට මා තුළ ඇතිවූයේ අසීමිත ආශාවකි. පියා මා රැගෙන ගියේ ඔහුද ගාමිණීගේ තදබල රසිකයෙකු බැවිණි.
නමුත් ජීවා, සන්ධ්‍යා, විජිත මල්ලිකා වැනි එවක තිරයේ පෙම්වතිය, නැතහොත් කතා නායිකාවගේ සුලභ රංගනය එහි නොවීය. එම රංගනයන් පිළිබඳ මා අද දිනටත් කිසිම අවතක්සේරුවක් නොකරන බව මුලින්ම සඳහන් කළ යුතුය. දේශීය සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වා ගෙන යාමට, සෘජුවම බලපෑ චිත්‍රපට අතරේ රංගනවේදියෙකු ලෙස ගාමිණි ෆොන්සේකාට යම් ජනප්‍රියතාවයක් තිබුණේද එවැනිම ජනප්‍රියතාවයක් සන්ධ්‍යා -ජීවා- විජිතා- ක්ලැරිස් -ලීනා ඇතුළු එකී නිළි පරපුරටද පැවතුන බව පරම සත්‍යයකි. එකල චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂක අවධානය බහුලව යොමුවූ ප්‍රධානම සාධකය බව කිව යුතුය. ඒවා වට්ටෝරු චිත්රපටද නැත්ද? යන්න ගැන අද දිනයේ සිතනවාට වඩා, එම චිත්‍රපට සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යැමට මෙන්ම වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට නිවැරදි සිනමාත්මක ඉදිරිපත් කිරීමක් කරනුයේ කෙසේදැයි අධ්‍යයනය කරන්නෙකුට අද දිනයේදීත් උදාහරණ සපයන බව කිව යුතුයි. ( විශේෂයෙන් කොපි කතාවකින් අපටම ආවේණික අපගේ නිර්මාණකරුවෙකු ගේ මඟ පෙන්වීමකින්, අධ්‍යක්ෂණයකින්, එකල චිත්‍රපටයක් නිර්මාණය කළ අන්දම අවශ්‍ය නම් මෙකල ඇත්තන්ට දැන ගැනීමට හැකිය.)
ගාමිණී ෆොන්සේකා සතු පෞරුෂත්වය හරහා ගොඩනැඟුනු ජනප්‍රිය ලක්ෂණ ( සටන් -ගීත) පරසතු මල් තුළ නොවීය. එහි තිබුණේ බොනී මහත්තයා නමැති එකල සමාජයේ ජීවත්වන මිනිසෙකු ගැන, නැතිනම් ජීවත්විය හැකි මිනිසෙකු ගේ චරිතයකට නැවත පණ දීමක් වැනි ඉතා විශිෂ්ට රංගනයකි. එකී විශිෂ්ට රංගනය මුළු චිත්‍රපටයේ සමස්තය තම අතට ගන්නා වූ වැනි ප්‍රබල රංගනයකි. නමුත් සිනමා පටයක් ලෙස එහි තිබුණු අනෙකුත් චරිතයන් ප්‍රධාන චරිතයට සාපේක්ෂව ඉතා විශිෂ්ට රංගන පරාසයක තිබුණු බව එකල විචාරක මතය විය. (රඟපෑම පිළිබඳ අධ්‍යයනය සඳහා පසු කලක 'පරසතු මල්' චිත්‍රපටය පිළිබඳ මමද එසේ අසා දැන ගත්තෙමි. එමෙන්ම එය නරඹමින් සියෑසින් දැක ගත්තෙමි. මනසින් ඒ රංගනය ගැන නැවත නැවත සිතීමට උත්සාහ කළෙමි. එකී ශිල්පීන් පිළිබඳව භක්තිමත් , ගෞරවනීය හැඟීමකින් හදවත පුරවා ගත්තෙමි. ගාමිණී, පුණ්‍යා, ඩී. ආර්, ටෝනි වැනි අත්දැකීම් බහුල අති ප්‍රබලයන් අතර මේ තැනැත්තිය ගේ රංගනයද මගේ මෙන්ම ප්‍රේක්ෂක හදවත් තුළ කම්පනයක් ජනිත කිරීමට සමත් විය. ඒ අන් කවරකුවත් නොව අප ආදරණීය අනුලා අක්කාය.
' පරසතු මල්' චිත්‍රපටය තුළ ඇය රඟපෑ චරිතය හුදු පෙම්වතිය ගේ නිරූපණය නොවේ. කෙළිලොල්, ගම්බද යුවතියක් වූ ඇය බොනී මහත්තයා අතින් කෙලෙසුණු පසු කඳුළු ගංගාවක පිහිට පැතීමට උත්සාහ නොකරයි. ඒ වෙනුවට වෙනත් තරුණයෙකු සමඟ ( බොනී තරම් ප්‍රබල නොවන) මිත්‍රත්වයක් ඇති කරගෙන , ඔහු සමඟ විවාහ වීමට හැකි සෑම උත්සාහයක්ම දරන ලදී. එවිට ප්‍රේක්ෂක අපට ඇය කෙරේ ඇතිවූයේ තරහකි. නමුත් එයට යටින් යම් අන්දමක මනුෂ්‍ය අනුකම්පාවක්ද ඇතිවූයේ ජීවිතය ඉදිරියට ගැට ගසා ගැනීමට ඇය දක්වන අහිංසක, නමුත් එක්තරා අන්දමක කෛරාටික ප්රයත්නයටය . මේ ප්රයත්නය තුළ , අහිංසක කම හා කෛරාටික කම අඩු වැඩි වශයෙන් දෝලනය කරමින් ඇය කරන ලද අසීරු රංගනය පසුව ප්‍රේක්ෂක විචාරක සම්මානයට පාත්‍ර විය. ඇය ගෞරව බුහුමන් ද ලැබුවාය.
රංගනයට පිවිස ඉතාම අඩු කාලයකින් එවැනි ප්‍රතිභාවක් පෙන්වීමට ඇයට හැකි වූ අරුමය කුමක්ද? ලෙස්ටර් ඡේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත වැනි සම්මානනීය අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමාව පිළිබඳ අත්පොත් තැබූ ඇය ධර්මසිරි වික්‍රමරත්න, සුගතපාල ද සිල්වා වැනි තාත්වික රංගන සම්ප්රදායක් සිංහල වේදිකාව තුළ ස්ථාපිත කළ අයගේ නාට්‍ය නිර්මාණවලට දායක වීමට තරම් වාසනාවන්ත වූ බැවින් යෑයි මට හැඟේ.
නමුත් එකී වාසනාවන්ත කම මෙන්ම එම අභ්‍යාසය හරියාකාරව උකහාගෙන, එය තම රංගන ජීවිතයට එකතුකර ගැනීමට තරම් ඇය බුද්ධිමත් ද විය.
අතිශය වාණිජ රැල්ලට හසු නොවී ඥානාන්විතව තම රංගනයන් තෝරා බේරා ගැනීමට හැකිවීම ඇය ප්‍රගුණ කළ විශිෂ්ට ගුණයක් විය.
එබැවින් චිත්‍රපට 25 ක් වැනි අඩු ප්‍රමාණයක රඟපෑ ඇය චිත්‍රපට 250 ක වැනි වැඩි ප්‍රමාණයක රඟපෑ නිළියක් ප්‍රේක්ෂකයන් ගේ හදවත් තුළ තැන්පත් වන තරමටම එදා මෙන් අදටත් තැන්පත්ව ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
ඇයගේ රංගනයේ කූට ප්‍රාප්තිය 'ගොළු හදවත' යෑයි මට හැඟේ. ජයලත් මැතිතුමා ගේ ගොළු හදවත 60 දශකය තුළ නොකියවූ ගැටවර ගැටවරියක් නොමැති බව මා අසා ඇත්තෙමි. එය ඒ තරමට එම වකවානුවේ පෙම්වතුන්ගේ අත් පොතක් බවට පත් විය .
එහි සුගත් විඳින අපේක්ෂාභංගත්වයත්, ඔහු ලැබූ පරාජයත් ස්ත්‍රී චපලත්වය නිසා සිදුවූවක් බව එකල ජනප්‍රිය මතය බව මා අසා ඇත. නමුත් තමන් මැවූ දම්මී එවැනි චරිතයක් නොවූ බව ඊට වඩා එහා ගිය , ලෙන්ගතුකම , කරුණාව , දයාව ආදරය මිශ්‍ර වූ චරිතයක් පමණක් බව , ජයලත් මහතා පසු කලෙක 'යහළු යෙහෙළි ' චිත්‍රපටයේ මා රඟපාන අවස්ථාවේදී මා හට කියා තිබුණි. එකී හැඟීම චෛතසිකයන් රාශියකගේ සංකලනයකගෙන් යුත් තරුණියක් මැවීමට ලෙස්ටර් මහතාට හැකි වූ බව ජයලත් මහතා ගේ මතය විය.
නමුත් තමා පෑනෙන් උත්පත්තිය දුන්, ලෙස්ටර් මහතා කැමරාව හරහා සිනමාවට නැඟූ දම්මීට සත්‍ය වශයෙන්ම හැඟීම්, දැනීම් මිශ්‍රව ජීවය දුන් තැනිත්තිය, අනුලා කරුණාතිලක බව සඳහන් කිරීමට එතුමා අමතක කළේද නැත.
සංසාරේ පෙර භවයක පුරුදු පුහුණු කළ රංගන කුසලතාවයක් මේ භවයේදී ද අප වෙත පුද කිරීමට තරම් ඇය පිංවන්ත වූ බව මට සිතේ. ඒවා නැරඹීමට තරම් අප වාසනාවන්ත වී ඇත්තෙමු. ඇයගේ රංගනය පිළිබඳව මා සිත් ගත් චිත්‍රපට රාශීයක් ඇත. ඒ අතරතුර මගේ පරමාදර්ශී නළු ටෝනි රණසිංහ සමඟ ඇය රඟපෑ 'රන්සළු', ආනන්ද ජයරත්න සමඟ රඟපෑ 'ඉහත ආත්මය', ජෝ අබේවික්‍රම , ඩොමී ජයවර්ධන සමඟ රඟපෑ 'පුංචි බබා', යන චිත්‍රපට ත්‍රිත්වය මගේ පෞද්ගලික විශේෂත්වයක් , කැමැත්තක් ඇති බව කියනු කැමැතිය.
ඇයගේ රංගනය පිළිබඳ විචාරාත්මක වීමට තරම් මගේ රංගන පරාසය පුළුල් යෑයි මම විශ්වාස නොකරමි. නමුත් මට සිතනුයේ ඒ සැටියෙන් ප්‍රකාශ කිරීමට , මා තුළ ඇති අවංකත්වය මත මට මෙලෙස සඳහන් කළ හැකි බවය.
තරුණියක් විසින් තම ජීවිතය තුළ ඇතිකරගත් , නැතිනම් දෛවය විසින් උරුම කළ ආදරය , සෙනෙහස හෝ ප්‍රේමයම, තවත් යම් අවස්ථාවක තමාගේ අනාගතයට කුරිරු අන්දමකට හෝ දරුණු අන්දමට හෝ ප්‍රශ්න ගෙන දෙන සිදුවීම් මේ චිත්‍රපට තුනේම ඇත. එය රැවටීමක් ලෙස අර්ථදැක්විය හැකි වුවත්, ඇයගේ රංගන කුසලතාවය මත, මෙම චිත්‍රපට තුනේම අප දකින්නේ , එකිනෙකට සුළු වශයෙන් හෝ වෙනස් වූ එක් එක් චරිතයට පමණක් ආවේණික හැසිරීම් රටාවකින් යුක්ත වූ චරිත නිරූපණයකි. සුවිශේෂ බාහිර අංග රචනා , වෙනස්වීම් , නොමැතිවුවද මෙම චරිත තුන නියෝජනය කරවන්නේ වෙනම ස්ත්‍රීන් තිදෙනෙකි. නමුත් මේ තිදෙනාටම ජීවය දෙන්නේ එකම නිළියකි. ඒ ඇයගේ රංගන කුසලතාවයයි. එමෙන්ම ඉතාම සියුම්ව හැඟීම් නිරූපණය කරන රටාවයි.
ගම්පෙරළිය චිත්‍රපටයේ 'නන්දා' ගේ චරිතය රඟපෑමත්, 'දෙලොවක් අතර' චිත්‍රපටයේ 'චිත්‍රා' ගේ චරිතය රඟපෑමටත් , ඇයට අවස්ථාව අහිමි වූයේ ඇය එවකට ඒ චරිත නිරූපණයට සුදුසු වයසට නොපැමිණ ඇති නිසා යෑයි කියනු ලැබේ.
ගම්පෙරළියේ 'නන්දා'ගේ චරිතය රඟපෑ පුණ්‍යා හා 'දෙලොවක් අතර 'චිත්‍රා'ගේ චරිතය රඟපෑ සුවිනීතා එකී චරිත වලට කළ සාධාරණය උපරිමය. ඔවුන්ගේ රංගනය පිළිබඳව විමර්ශනය කළහොත් , වෙනත් නිළියකට එම රංගනය තුළ කිරීමට දෙයක් ඉතුරු නොකරන අන්දමට අති ගෞරවනීය, සුවිශේෂී ලෙස එකී ජ්‍යෙෂ්ඨ නිළියන් එම චරිත වලට සාධාරණය ඉෂ්ට කර ඇත.
නමුත්, යම් අන්දමකට අනුලාටත් එම චරිත නිරූපණය කිරීමට ලැබුණා නම්, ඇයටත් වෙනත් අර්ථකතනයක් (තිර නාටකයට හා අධ්යක්ෂණයට හානියක් නොවන) ඒ සදහා ලබා දෙනු නිසැකය. එය සන්සන්දනයක් ලෙස නොව එකම චිත්‍රයක් වෙනත් වර්ණ වලින් සායම් කළවිට ලැබෙන ප්‍රතිඵලයක් සේ අර්ථ දක්වනු කැමැත්තෙමි.
කෙසේ වෙතත් 2004 වසරේ 'රන්දිය දහර' චිත්‍රපටයේ ඇය සමඟ දර්ශන දෙක තුනකට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි. එය මා ලද පරම භාග්‍යයක් යෑයි මම අදටත් උදම් අනමි.
හිත දැඩි ප්‍රධාන හමුදා නිලධාරියෙක් ලෙස මා මැවූ චරිතයේදී මා ඉදිරියේ ඇයත්, ඇයගේ පුතු ගේ බිරිඳ ලෙස රඟපෑ ගීතාත්, අසුන්ගෙන සිටි අන්දම මට අද මෙන් මතකය. අධ්යක්ෂ උදයකාන්තගේ උපදෙස් තිබුණේ කාන්තාවන් දෙදෙනකු ඉදිරියේ වුවද රාජකාරිය මුල් තැනට යොදා කටයුතු කරන අති අවංක රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරන ලෙසයි. මා ද එය එලෙසින්ම ඉදිරිපත් කිරීමට සූදානම් වූවෙමි. ගීතාත් මාත් චිත්‍රපට රාශියක එකට රඟපා අන්‍යෝන්‍ය අවබෝධය මත , එකිනෙකාට උදව් කර ගනිමින් වැඩ කටයුතු කළ අවස්ථා අනන්තය , අප්‍රමාණය. නමුත් මේ ජ්‍යෙෂ්ඨ නිළිය ඉදිරියේ මා දැන් දැඩි විය යුතුය , සැර පරුෂ විය යුතුය.මට 'පරසතු මල්'වල 'නෝනේ' සිහිපත් විය. 'පුංචි බබා' හි 'මැණිකා' මතක් විය. ගොළු හදවතේ 'දම්මි' සිහිපත් විය. මගේ සිත මට කලබල කරන්නට පටන් ගත්තේය. මා මොහොතකට හැඟීම් වලට මුල් තැන දෙන්නට පටන් ගත් බව දැනුණි. 'පරසතු මල් ' ගාමිණී අයියා අබල දුබලව වතුර ටිකක් ඉල්ලන විට , එය දීම ප්‍රතික්ෂේප කරන දරදඬු 'නෝනේ' සිහිවිය. මා ඒ දරදඬුතාවය මට ආරෝපණය කර ගත්තෙමි. රංගනය පිළිබඳ ප්‍රායෝගික උදාහරණ රාශියක් අපට ලබා දුන් මෙම ජ්‍යෙෂ්ඨ නිළියගේ අති දක්ෂ රංගනය තව මොහොතකින් ආරම්භ කිරීමට ප්‍රථම , මම දර්ශනය පිළිබඳ මගේ සිත - මනස නැවත පුබුදුවා ගනිමින් සීරුවෙන් දර්ශනයට පිවිසුණෙමි.
අදටත් අප වැන්නවුන් ගේ රංගනයට ඈතින් හිඳ හෝ , බලපෑමක් , අත්වැලක් , රුකුලක් දීමට තරම් සුදුසුකමක් ඇති ඔබ වැනි තැනැත්තියක පිළිබඳ මෙවැනි කෙටි සටහනක් ලිවීමට තරම් මා පින්කර ඇතැයි මට මේ මොහොතේ දැනේ. අනුලා කරුණාතිලක මැතිනියනි ඔබට දීර්ඝායුෂ.!
දිවයින