මිනිසා, තමන්ගේ එදිනෙදා ජීවිතයේ දුක්-කම්කටොළු හා අභියෝග දුරලා ගන්නට මෙන් ම, පාරලෞකික ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ආගමක් ඇදහීම හා ඒ අනුව තම කල්ක්‍රියා පවත්වාගෙන යාම සිදුකරයි. එසේ ම මිනිස් සිතුවිලි සකස් කිරීමේ දී හා සදාචාර දහම් ගොඩනැඟීමේ දී ආගමෙන් මහත් සේවයක් සිදු වේ. මේ විශ්වාස හා භාවිතයන් නිසා සමාජයේ පවතින ආතති (tension) හා කුතුහල (anxiety) වලට යම් කිසි විසඳුමක් ද ලැබෙයි.
අපිට ආගම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට, එහි මානවයාගේ ආරම්භයට යාමට සිදු වේ. ග්‍රෝත්‍රික මිනිසා තමා අවට ඇති ස්වභාවික ලෝකය තුල සිදු වූ නොයෙකුත් සිදුවීම් හා විශ්වාස දෙස ආලෝකනය කරන ලද්දේ දැඩි කුතුහලයකිනි. ඒ නිසා තමන්ට යම් බලපෑමක් කරන අධි ස්වාභාවික වස්තු (Super natural forces) කෙරෙහි ආරෝපණය වෙන්න පටන් ගති. සූර්යයා, මහා පර්වත, මහා වෘක්ෂ වන්දනාවන් ගොඩනැඟෙන්නේ එසේ ය. එවැනි අවස්ථා පසුකාලීනව අභිචාර විශ්වාස (Magical beliefs) ලෙස මානව විද්‍යාඥයන් විසින් හැඳින්වූවා. ඔවුන් පවසන ආකාරයට, ආගමට පෙරයි, අභිචාර ඇතිවන්නේ. අභිචාර සලකනු ලබන්නේ, ව්‍යාජ විද්‍යාවක් (pseudo science) ලෙසයි. බෞද්ධ සාහිත්‍ය පැරණි සමාජය තුල පැවති, මේ තත්ත්වය තමන්ගේ දර්ශනය ව්‍යාප්ත කිරීම සඳහා බොහෝ ම උපක්රමශීලි ව යොදාගන්නට ඇත. අභිචාර මඟින් ප්‍රාථමික වැසියා තම ලෞකික අවශ්‍යතාවයන් සඳහා විශ්වාසයක් ගොඩනඟා ගනී. මානව ශිෂ්ඨාචාරයේ බුද්ධිමය වර්ධනය දෙස බලන විට මිනිසා යුග තුනක් නියෝජනය කල බව මානව විද්‍යාඥ ජේම්ස් ප්‍රේසර් පවසයි. පලමුව මානව ශිෂ්ඨාචාරයේ අභිචාර මුල් වූ බවත් මධ්‍යකාලින යුගයේ ආගම ප්‍රධාන වූ බවත් තුන්වනුව විද්‍යාව බලගතු වූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.
ප්‍රාථමික මිනිසා තමන්ගේ උපරිම යථාර්තයමය දැනුම එදිනෙදා කටයුතුවලට උපයෝගී කරගත්ත ද, සුළං, නියඟ, මුහුදු ගැලීම් හා සාගත වැනි ඇතැම් ස්වභාවික හේතූන් මඟින් තමන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල වන විට තමන්ට පාලනය කරගත නොහැකි ගුප්ත බලවේග මඟින් ඒවා, ක්‍රියාත්මක වේයැයි විශ්වාස කල හ. එය විසඳීම සඳහා විවිධ අභිචාර භාවිතයන්ට පුරුදුවීම නිසා ඒ තුලින් තමන්ට සහනයක් ලැබේයැයි සිතන්නට විය.
ආගම සම්බන්ධයෙන් කාල් මාක්ස් වැන්නෙකුගේ මතයන් විමසීම තුලින්, අපට තවදුරටත් මෙය පැහැදිලි කරගැනීමට පුළුවන. ඔහු දක්වන්නේ, ආගම මඟින් අපේ ප්‍රීතිය හා සතුට මරණින් පසු ලොවට කල් තබන බවයි. තව ද, ආගමට බිය නොවිය යුතු බවත්, ඒ මන්ද, ආගම මිනිසාගේ නිර්මාණයක් වන බැවින් බවත් ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත්, සමාජ අසාධාරණයට, සමාජ විෂමතාවයට, ආගමික විශ්වාස හා ඇගයීම් යුක්තියුක්ත බවට පත්කර ඇතැයි ද ඔහු විසින් සඳහන් කර ඇත.
ආගම පිලිබඳ සිග්මන් ෆ්‍රොයිඩ් විසින් කර ඇති විග්‍රයක් වූයේ, ඊඩිපස් සංකීර්ණය (Oedipus complex) යි. ඒ තත්ත්වය ඔහු විසින් පියා හා ළදරුවා අතර ඇති සම්බන්ධතාවයන් විග්රහකර පෙන්වයි. කුඩා කල ළදරුවා තමා සියල්ලන්ට ම වඩා උසස් යැයි සිතයි. ඒ ඔහුට අවශ්‍ය සියලු දේ තමා ලඟට ම ලැබෙන නිසා ය. නමුත් තමන් කෙමෙන් කෙමෙන් වැඩෙත් ම තමන්ට වඩා බලධාරී පුද්ගලයෙකු ලෙස ඔහු, තම පියා ව දකියි. තවත් පසු කලෙක දී පියාටත් වඩා බලගතු අය තවත් සිටින බව වටහාගන්නා දරුවා, මව පිලිබඳ පියාගේ පවතින ඒකාධිකාරය ගැන වෛර කරයි. ඊඩිපස් සංකීර්ණය ඇතිවන්නේ ඒ අවස්ථාවේ දී ය. ඒ අනුව ආගම බලගතු බලවේගයක් බවට මේ අවස්ථාවේ දී පත්වෙන බව ෆොයිඩ්ගේ මතයයි.
ආගම හුදෙක් ම මාර්ගයක් මිස අන්තයක් නොවේ. එසේ ම එය අභිචාර විධිවලට සාපේක්ෂව උපයෝගිතා කාර්යයක් නොවේ. ආගමේ අන්ත විශේෂිත හෝ සීමා නොමැත. එමෙන් ම ශිල්පීය පදනමක් සහිත ය. එවැනි තත්ත්වයක් තුල ආගමක පවතින සැඟවුනු ඇඟවුම් ( බුදු දහමේ එය සඳහන් වන්නේ, සංකිත්තේන එනම්, හකුළුවා කීම යනුවෙනි.) ගැන යම් අවබෝධයකින් එය විමසීම කල යුතු ය. බෞද්ධ දර්ශනය හා නවීන විද්‍යාව අතර බොහෝ අවස්ථාවන් වල දී එකඟතාවයන් පවතී. එසේ ම නූතන මානව හා සමාජ විද්‍යා මතයන් සමඟ ද බොහෝ තැන් හී සමානතාවයන් පවතින්නේ ය. නමුත් ඒ සියල්ල අර්ථ වශයෙන් පැහැදිලිව තේරුම් ගත යුතු සිද්ධාන්තයන් ය.
බුදු දහමේ, පඨම නාමකරණ සූත්‍රයේ තමන් විසින් ධර්මය අවබෝධ කරගත යුතු අකාරය, එය පිලිපැදිය යුතු ආකාරය සඳහන් කර ඇත. 'බහුශ්රැතෝ හෝති සුත ධර්මො සුත සන්නිචෙ' සීලයෙන් ස්ථාවර ව, තමන් ශ්‍රවණය කල ධර්මය දරාගත යුතු ය, මුල මැද අග අර්ථ සහිත මුළුමනින් ම පූර්ණව, යෝනිසෝමනිසකාරයෙන් එය මෙනෙහි කල යුතු ය. මනසින් නැවත නැවතත් විමසිය යුතු ය. එවිට ධර්මයෙන් බහුශ්‍රැතව ස්ථාවර වීම තුලින් නිවැරදි අවබෝධය ලබා ගනු ඇත.
වර්තමාන සමාජය තුල ආගම භාවිතාව තුල පවතින්නේ, බොහොම ගැටළුකාරී තත්ත්වයකි. ධර්මය දරන්නන් ද විවිධ මත දරති. තම තමන්ගේ අනුගාමිකයන් රැස් කරගනී. මුළාවේ වැටී එකිනෙකා වාද කරගනී. බෞද්ධ දර්ශනය හොඳින් විමස බැලුවහොත් මේ සියලු දේ පවතින නිස්සාරත්වය අවබෝධ වෙනු ඇත. 'ආදි බ්‍රහ්මචරියක ශීලය' නැත්නම් 'ප්රාතිමෝක්ෂ සංවර ශීලය' , ගිහි පිරිසගේ සංවරයට මුල්වන ශීලයන් ලෙස හඳුන්වනවා. පංච ශීලයෙන් ආරම්භ වෙන්නෙ ඒ සංවරකමයි. භික්ෂූන්ටත් තිබෙනව. එවැනි ශීලයන් බිඳ හෙලීම භික්ෂුවකගේ පාරාජික බව ලෙස හඳුන්වනවා. සතර පරාජිකා තුල හතරවෙනි කාරණය ලෙස හඳුන්වන්නේ, තමා තුල නැති ධ්‍යාන, මාර්ගඵල ඇතැයි හුවා දැක්වීම. මොනතරම් අද සාසනයේ මේ වගේ අය ඉන්නව ද ?
බෞද්ධ ආගම මුල්වුන සංස්කෘතියකින් පැවත එන ලාංකිකයාගේ වගකීම, දහම තුල පැවතෙන මෙවැනි අභිචාර විධි තව දුරටත් පෝෂණය නොකොට, යතා අවබෝධය සඳහා පිවිසීමයි. ධර්මය පිලිබඳ හැදෑරීමයි. සියලු දේ නැසෙන බව වදාල, ඒ හිමිගේ දහම ද නැසී යාවී. එය රැක ගැනීමට සන්නාහ සන්නද්ධ කණ්ඩායම් ගොඩනඟා ගැනීමට වඩා ඒ න්‍යාය ධර්මයන්ගෙන් සන්නද්ධ වීම යහපත් වනු ඇත.
-රෝ-