ඔහු ගේය පද රචනයෙහි අරුමැසි රූ රටා මවන්නා ය. ජීවිතයේ කවුළු දොරින් එබී බලා එහි සොඳුරු, අඳුරු ඉසව් සොයා ගොස් ජීවිතය මේ යැයි අපට පවසන්නා ය. ගේය කාව්‍ය එකසිය තුනකින් සමන්විත පිනිබර මලක් නම් ගේය කාව්‍ය සංග්‍රහය රචනා කොට තම පළමු සාහිත්‍ය උත්සාහය සඳහා රාජ්‍ය සම්මානයෙන් පුද ලද ගේය කාව්‍යක්කාරයා ය. ඔහු කුලරත්න ආරියවංශයි. කුලරත්න ආරියවංශගේ පිනිබර මලක් හි සංගෘහිත නිර්මාණ සියල්ලෙන් ම මල් යායක සුවඳ විහිදී පැතිරී යන්නා සේ දැනෙන්නේ ඒවා එකකට එකක් නොදෙවෙනි වන අයුරින් ගීත රසය, සාහිත්‍යයික ගුණය නොඅඩුව මුසු වූ නිර්මාණාවලියක් බැවිනි. කුලරත්න ආරියවංශ ගේ ගීත රචනා කලාවෙහි වයස දශක හතරකට වැඩි මිසක් අඩු නොවේ යැයි සිතමි. ඒ සා දීර්ඝ කාලයක් පුරා ලියූ ගී සංකල්පනා දහසකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින්, තම පළමු කෘතියට ගේය කාව්‍ය සියයක් තෝරා ගැනීම තරම් දුෂ්කර අභියෝගයක් නිර්මාණකරුවකුට තිබිය හැකිදැයි ප්‍රශ්නයක් නැගෙනු වැළැක්විය නොහේ. එහෙත් කුලරත්න ආරියවංශ එකී දුෂ්කර අභියෝගය ජය ගන්නේ තම කුලුඳුල් සාහිත්‍යයික ප්රයත්නයට වර්ෂයේ හොඳම ගේය කාව්‍ය සංග්‍රහයට පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද දිනා ගනිමිනි. හැත්තෑව දශකය මෙරට බොහෝ කලාවන් හි පුනරුද සමය සේ සැලකේ. සාහිත්‍යය, සිනමාව, වේදිකා නාට්‍යය, සංගීතය, ගුවන්විදුලි මාධ්‍යය ආදී බොහෝ ක්ෂේත්‍ර තුළ, එසමයේ බිහි වූ නිර්මාණ අද දක්වාම, පරම්පරා ගණනාවකගේ ම බුද්ධි මණ්ඩල පුළුල් කරමින්, ඥානනය කරමින් පවතින රහස කුමක් ද? එකී නිර්මාණ තුළ වූ අව්‍යාජත්වය, යථාර්ථවාදී ගුණය, ජීවිතයට සමීප බව, මාධ්‍යය හඳුනා ගෙන නිර්මාණය වූ කලා කෘති වීම නොවේ ද? මේ සාධකය එදා බිහි වූ සංගීත නිර්මාණ තුළ නොඅඩුව පැවති බවට සෘජු නිදසුන් සේ දැක්විය හැක්කේ 70 දශකයේ සිට අසූව, අනූව දශක පමණ වන තෙක් මෙරට සංගීත ක්ෂේත්රය තුළ බිහි වී ඇති නිර්මාණ ගොන්නයි. ගුවන්විදුලි සරල ගීතයේ සිට වේදිකා නාට්‍ය, රූපවාහිනී නාට්‍ය හා චිත්‍රපට ගීත දක්වා විසිරී පැතිරෙන සුභාවිත ගීත රසය මෑත කාලීන සංගීත නිර්මාණ තුළින් විඳින්නට නොලැබෙන බව කීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එවන් පසුබිමක කුලරත්න ආරියවංශ වැනි නිර්මාණකරුවකුගේ නිර්මාණ රස ගුණ විමසීමට ගීත සියයක් වුව සෑහේ යැයි හඟිමි.
අද දවසේ සිංහල ගීතය මුහුණ පා ඇත්තේ කෙබඳු ශෝකජනක ඉරණමකට ද? වර්තමාන එෆ්.එම්. නාලිකා, රූපවාහිනී නාලිකා ගිරා පෝතක පෝතිකාවන්, ප්‍රයිවෙට් බස් රථ රියැදුරු, කොන්දොස්තර මල්ලිලා විසින් ඔවුන්ගේ රසඥානය අනුව, තෝරා ගන්නා අපගේ රසවින්දනය ද එයමැයි සිතා අපගේ දෑසෙහි උලන, දෙසවන් තුළට බලෙන් රිංගවන, ගීත යැයි කියා ගන්නා අඳෝනා පිළිබඳ මොහොතක් කල්පනා කළ හොත් කුලරත්න ආරියවංශ ඇතුළු 70 දශකයේ ගේය පද රචකයන් දායක වී අපගේ සවන්හි අද දක්වා ම නිංනාද නංවන ගී මිහිර පිළිබඳ තවත් කොතෙක් කාලයක් සිහිපත් කිරීමට හැකි වන්නේද? ඒ ගී මිහිර විඳිමින් සිත් සනහා ගන්නට හැකි නොවේද? අද අපට අසන්නට සලස්වන (අප අසන, රස විඳින ගී නොවේ) ගී අතරින් එක් ගීයක් පිළිබඳ අපි මොහොතක් කල්පනා කර බලමු.
'හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
තියා ගන්න සින්නක්කර
දෙනවද මට ඔය ඇස් දෙක
නිදන් කරන්නට මට මගෙ පණ ටික
අහංකාර ඔය හිත යට
තියාගන්න සින්නක්කර
දෙනවද මට ඔය ඇස් දෙක .....'
සින්නක්කර තබා ගන්නට පෙම්වතකු පෙම්වතියකගෙන් ඇගේ ඇස් දෙක ඉල්ලා සිටියි. කෙබඳු ඇස් දෙකක් ද ඈ සතුව ඇත්තේ ? හිත හිරි වට්ටන ඇස් දෙකකි. ලොකු ඇස් දෙකකි. මීන නුවන්, චංචල කිඳුරු දෑස්, නිල් නුවන්, තාරකා බඳු දිලිසෙන ඇස්, පිළිබඳ මේ ගීත රචකයන් අහම්බෙන් හෝ අසා නැති සෙයකි. ඔහු පෙම්වතියගෙන් ඇස් ඉල්ලා සිටින්නේ මාසික කුලියක් ගෙවා තබා ගන්නට, කල් බදු ගෙවා තබා ගන්නට, එසේත් නැත් නම් කොටස් වශයෙන් ගෙවා ළඟ තබා ගන්නටවත් නොවේ. සින්නක්කර ම ළඟ තබා ගන්නට ය. ගෙවල් දොරවල්, පොල් වතු, රබර් වතු, තේ වතු නම් සින්නක්කර මිලට ගන්නට හැකිය. එහෙත් ප්‍රේමවන්තියක ගේ ඇස් දෙකක්? අනෙක එසේ මෙසේ සුන්දර නෙත පිනන ඇස් දෙකකුත් නොවේ. හිත හිරි වට්ටන ලොකු ඇස් දෙකකි. මේ වර්ගයේ ගී ඇසෙන කල අපේ හදවත් නිවී සැනැහී යනවා නොවේ ද? තව තවත් මේ ජාතියේම ගී අහන්නට ප්‍රයිවෙට් බස් රථයක ගමන් කිරීමට හෝ එෆ්.එම්. චැනල් එකකට සවන් දෙන්නට සිතෙනවා නොවේද?
ඇස් පිළිබඳ ගීයක් සිහි වූ බැවින් පිනිබර මලක් හි මට හමු වූ කුලරත්න ආරියවංශ කවියා ගේ දිදුලන කවිත්වය මොනොවට පෙන්වන ඇස් පිළිබඳ ම ලියැවුණු මේ ගීතය බලන්න. තාරකා වැනි ඇස් දෙකක් නිවි නිවී කාන්තිමත් වෙමින් අප සිතට රැගෙන එන චමත්කාරය නොවේද කුලරත්න ආරියවංශ කවියාගේ ගේය සංකල්පනාවෙන් අප අත් විඳින්නේ?
' රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල් නිවන්න රත්තරන්
තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ
ආදරේ ගලා හැලී සිහිනයක් වගේ
පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ
මා දිහා ළඟාව එන්න රත්තරන් මගේ ...'
රත්තරනේ, රත්තරන් වැනි යෙදුම් අපට හුරු පුරුදු ය. කොළඹ කවීන්ගේ බොහෝ රචනා තුළ මෙබඳු යෙදුම් හමු වේ. එහෙත් කුලරත්න ආරියවංශ කවියා රත්තරන් යන වදන භාවිත කරන'යුරු විමසීම වටී. රත්තරන් නෙත්වලින් සිහිල් පවන් සලා ඔහුගේ දුක්, සෝක සංකා මකා දමන්නැයි පෙම්වතා ඉල්ලා සිටී. සින්නක්කර ළඟ තබා ගන්නට ඉල්ලා සිටිය යුත්තේ හිත හිරි වට්ටන ලොකු ඇස් දෙකක් ද ? ජීවිතේ දුක් තැවුල් නිවා ලන්නට හැකි රත්තරන් වැනි වටිනා ඇස් දෙකක් ද?
' වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ ...'
ඇගේ සිහිල් නෙත් විලෙහි ඔහුගේ වේදනා නිවී යයි. ජීවිතේ සිනා නගන්නේ ඉන් පසුව ය. අප හදවත අමතන්නේ මේ ගී අතරින් කුමන ගීතය ද? අපගේ රස භාව අවදි කරනේ කුමන ගීතය ද? කුලරත්න ආරියවංශ ගේය කාව්‍යක්කාරයාගේ පිනිබර මලක් නොව මල් යායේ පිපුණු සෑම කුසුමකින් ම පාහේ විසිරී පැතිරී අප හදවත් වෙළා ගන්නේ නැවුම් සුවඳකි. මිහිරි විඳුමකි. ජීවිතය පිළිබඳ අලුත් කල්පනාවකි.
ගේහසිත ප්‍රේමය, යෞවන ආදරය, එහි සුන්දරත්වය මෙන් ම වියොව හා බැඳුණු දුක්ඛ සංතාපය, කඳුල, සුසුම, සොබා දහමේ විචිත්රත්වය,මා පිය දූ දරු සෙනෙහස, ළමා ලෝකය, අපේක්ෂා භංගත්වය, වැනි පුළුල් විෂය පරාසයක කුලරත්න ආරියවංශගේ ගී අනුභූතීන් පැතිරී යයි. සරල ගීතයක දී ඔහුට රිසි අත්දැකීමක් තෝරා ගත හැකි වූවත්, චිත්‍රපට ගීත රචනයේ දී අධ්‍යක්ෂකගේ අවශ්‍යතාව, ගීතයෙන් මැවෙන රූප රාමුව, ඊට ඇතුළත් නළු නිළි රංගනය ආදී අවශ්‍යතා සපුරාලීමට සිදු වේ. ඔහුගේ සරල ගීත ගොන්නෙහි මෙන් ම චිත්‍රපට සඳහා රචනා කරන ලද ගීත කිහිපයෙහි ද කුලරත්න ආරියවංශ ලකුණ සටහන් වූ නිර්මාණ අපට හඳුනා ගත හැකිය. ඔහු විසින් භාවිත උපමා, රූපක, ගීතෝක්ති, යෙදුම්, අනන්‍යය. ගීතවත් ය. ධ්වනි ගුණයෙන් යුක්ත ය. එසේ භාවිත ගීතවත් බසින් යුත් ගී වලින් විශද වන අත්දැකීම්හි සමාජ විඥානය ප්‍රබල ය. ජීවිතයට සමීප ය. හෘදයාංගම ය. ළෙන්ගතු ය. විශ්වසනීයත්වයෙන් යුතු ය. අපූර්ව ය. රසික ජනයා අතර එම බොහෝ ගී ජනප්‍රිය ය. එම ගී පරිසමාප්ත ගීතමය අත්දැකීම් බවට පත් කරන්නට ගායක ගායිකාවන්ගෙන් සංගීත හා තනු නිර්මාණකරුවන්ගෙන් ලැබී ඇති දායකත්වය අමිල ය. හොඳ ගීතයක් යනු, ගේය පද රචක, ගායක ගායිකා , සංගීතය හා තනු නිර්මාණකාර ත්‍රිත්වයේ මහරු ඵලයක් ය යන්නට නිදසුන් සපයන ගීත රැසක් පිනිබර මලක් සුවඳවත් කරයි.
ඉමහත් වෙහසකින් හා දුෂ්කර තෝරාගැනීමකින් පසුව මගේ රස වින්දනයට හසු වූ මේ ගීත කිහිපය සිහිපත් කරමි. පිනිබර මලක්, ගුරු පාර දිගේ, සිනා දොළක් වන් සිනාමලී (වික්ටර් රත්නායක ) සඳ හොරෙන් හොරෙන්, පාවෙනා නිල් වලාවේ ( පණ්ඩිත් අමරදේව ) සඳ මා හා සිනාසුණා (දයාරත්න රණතුංග ) එක සිත දෙතැනක නතර වෙලා, රත්තරන් නෙත් දෙකින්, චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා, මුළු ලොවම නැති වුණත් ( ටී.එම්. ජයරත්න ) ආදරයෙන් මා හද වට එතෙන ලතා ( අබේවර්ධන බාලසූරිය ) ගල් අරණේ හැංගෙන්නා, පුංචි සිතේ පුංචි සිනා ( නීලා වික්‍රමසිංහ ) මේ ප්‍රථම වසන්තය යි ( සනත් නන්දසිරි ) ලොවේ සොඳුරු සහන් එළිය (නන්දා මාලිනී ) ප්‍රේමයේ විල් තෙරේ, සිතක් කොහොම ද මේ තරම් ( මාලිනී බුලත්සිංහල ) අව පස අහසක තරු ලකුණක් සේ, හිඳීවි කොතැනක හෝ( සුනිල් එදිරිසිංහ ) සිනා පොදක් වී, සිත ඔබ පා මුල රඳවා, කෑ ගසා පවසාවී ( දීපිකා ප්‍රියදර්ශනී ) සුසුමක උණුසුම, බිංදු බිංදු මල් වැස්සේ ( එඩ්වඩ්, නන්දා පතිරණ ) සෙනෙහස විදිනට පින්කර ඇති මුත්, ඔබ දෙපා දොවා, මට මුළු ලොවම ඔබයි ( චන්ද්‍රලේඛා පෙරේරා ) ඔබේ අත ගෙන ( රෝහණ සිරිවර්ධන ) බැස යන සඳ ( නාමල් උඩුගම ) පවන නොවේ නම් (රොහාන් ශාන්ත බුලේගොඩ ) ඔබට ඇවිලූ ගිනිදැල් ( සමිතා මුදුන්කොටුව ) මා අවදි නොකළ මැන ( ජානක වික්‍රමසිංහ ) දමා යන්නට ( සෝමතිලක ජයමහ ) සංසාර දුර්ග මාවතේ (ප්‍රදීපා ධර්මදාස ) ආ මග කෙටියි ( දමයන්ති ජයසූරිය හා නුවන් නයනජිත් ) ප්‍රේමයේ මන්දහාසිනී ( කරුණාරත්න දිවුල්ගනේ ) මුවා වුණා සඳක් (ලතා හා වික්ටර් ) සෙනේ සිතින් (ගුණදාස කපුගේ ) ඔබේ නෙතු ළඟ ( නිරෝෂා විරාජිණී හා අතුල අධිකාරී ) ආදී ගීත පිනිබර මලක් හි හමුවන ගී සමුච්චයෙන් අංශුවක් පමණි. ඊට අමතරව, ඔහු විසින් රචිත ගී සියල්ල විමසුව හොත් මේ නාමාවලිය එක් තීරුවකින් ලියා නිම කළ නොහැක්කක් වන බව දනිමි.මේ සියලු ගීත අප සිත් පැහැර ගෙන ඇත්තේ මෙකී ගීවලින් ගේය පද රචක කුලරත්න ආරියවංශ ගේ පරිකල්පනීය කුසලතාව අපූරුවට ප්‍රදර්ශනය වන බැවිනි.
දීපිකා ප්‍රියදර්ශිනී ගයන කෑ ගසා පවසාවී ගීයෙන් රචකයා රූපණය කරන ජීවිතානුභූතිය කෙතරම් සංවේදී ද? අසරණ යුවතියක ගේ ජීවිතය අඳුරු බිහිසුණු ඛෙදවාචකයකින් නිමා වූ අයුරු කවියා මනා සංයමයකින් යුතුව පවසයි.ශ්‍රාවක හද දුක් ගින්නක් අවුළුවන ,නෙත කඳුලින් පුරවන දයාර්ද රචනාවක් නොවන්නේ ද මේ සංකල්පනාව?
' දැවී ළිප ළඟ වේල සරි කර
කඩපලට දී අළුයමින්
අඳුරු ලඳු මග ගෙවා අකුරට
දිවූ මුව පැටවී
කුරා කුහුඹුවෙකුටවත් වරදක්
නොකළ දියණිය නේ
නුඹට සිදු වූ දේ... '
දැවී ළිප ළඟ, අඳුරු ලඳු මග, මුව පැටවී, කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොකළ වැනි යෙදුම් මවන චිත්ත රූප ප්‍රබල ය. සජීවී ය.
සුනිල් එදිරිසිංහ ගයන පින්නේ රැයේ ගීතය සඳහා ද තෝරාගෙන ඇත්තේ සමාජ විඥානය පළ කෙරෙන ජීවිතානුභූතියකි.
' පින්නේ රැයේ කඩ අගුවක නිදනව ද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනව ද
කරවල වාඩියක සිර වී තැවෙනව ද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනව ද...'
තමාගෙන් ඈත් වී ගිය සොයුරෙකුට කුමක් වී දැයි නොදන්නා වැඩිමල් සොයුරෙකුගේ තැවුල ප්‍රබල මානවීය අත්දැකීමක් බවට පත් කරන්නට ගේය පද රචකයා සමත් වෙයි. ගේය පද මවන චිත්ත රූපය වඩාත් හදවතට ළං වූ ස්වරයකින් සුනිල් එදිරිසිංහ විසින් ගායනා කළ පසු එය ශ්‍රාවක සවන් තුළින් හදවතට වැදී හද රිදුම් දෙන අත්දැකීමක් බවට පත් කරයි.
චිත්‍රපට ගීත රචනයෙහි දී කුලරත්න ආරියවංශ දස්කම් පා ඇත්තේ ආරාධනා චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේව ගායනා කළ ආරාධනා ගීතයට හොඳම ගීත රචනයට හිමි සරසවි සම්මානය ද හිමි කර ගනිමිනි. ඔහු විරචිත චිත්‍රපට ගී අතර, දෙනෝ දාහක් නුවන් අතරේ ( නන්දා මාලිනී - වජිරා ) සීත අරණේ ( මිල්ටන් මල්ලවාරච්චි - මාලිනී බුලත්සිංහල - ආරාධනා ) සුදු මුතු රළ පෙළ ( නීලා වික්‍රමසිංහ - ආදර හසුන ) සරා සඳේ ( එච්,ආර්.ජෝතිපාල - මිහිදුම් සිහින ) හිම කඳු යහනේ ( ග්‍රේෂන් ආනන්ද - නිරංජලා සරෝජිනී - සසර චේතනා ) ළා හිරූ පායලා ( ටි.එම්.ජයරත්න - මාලිනී බුලත්සිංහල -පරිත්‍යාග ) මා සිත පැහැර ගත් ගීත කිහිපයකි. මේ ගී අතරිනුදු ආරාධනා චිත්‍රපටයට කුලරත්න ආරියවංශ ගේ පද වැල, මිල්ටන් හා මාලිනී ගේ ගැයුම, මාලිනී ෆොන්සේකා හා රවීන්ද්‍ර රන්දෙනියගේ රංගනය, සිංහල චීත්රපට ජවනිකාවක මා දැක ඇති විශිෂ්ටතම ගීත රචනය යැයි පවසමි. සීත අරණේ ගීතයට පසුබිම් වන ජවනිකාවෙන් මැවෙන තරුණ ප්‍රේමයක සුකුමාරත්වය, චමත්කාරය, කුලරත්න ආරියවංශගේ වචනයක් වචනයක් පාසා ගෙතී ඇමිණී ඇත්තේ මුතු පොටක මුතු එකිනෙක ඇමිණී ඇත්තා සේ ය.
' සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ... '
හිමගිරක සීත නොදැනෙන්නේ කෙසේදැයි අපි අපගේ සිතින් ම විමසමු. එහෙත් පෙම්වතියක ගේ ආදරයේ උණුසුමින් හිමගිරක සීත වුව නොදැනේ යැයි පවසන වදන් පෙළෙහි යටි අරුත, වාච්යාර්ථයට යටින් දිවෙන ධ්වනිය, කෙතරම් ප්‍රබල දැයි කල්පනා කළ යුතු ය. පෙම්වතාගේ ජීවිතය ඒ මේ අත පා වී ගිය එකකි. එහෙත් දැන් එය නිවහනක් ළඟ නැවතී ඇත. සිත පා වී ගොස් ඇත්තේ අයාලේ පා වී ගිය වලාවක් ලෙසයි. අයාලේ ගිය වලාව, අපූරු ගීතෝක්තියකි. නිවහන ඇත්තේ ඈ සිත ළඟ ය.
' වලාවක් සේ අයාලේ ගිය
සිතට සැනසුම ඔබ ළඟයි
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කළ ඉම ඔබ නෙතයි...'
ස්ත්‍රී පුරුෂ පෙම් සබඳතාවක ආනන්දනීය වූ චමත්කාරය හැඟවෙන මේ යුග ගායනයට ළං වන ගීතයක් අන් කවර හෝ සිනමා සිතුවමක මා දැක නැති තරම් ය. මිල්ටන් හා මාලිනී ගේ අපූර්ව ප්‍රේමණීය හඬ පෞරුෂයට රෝහණ වීරසිංහගේ සංගීතයෙන් හා තනුවෙන් පිරිනමණු ලැබූ සත්කාරයෙහි අගය කියා නිම කළ නොහේ.
පිනිබර මලක් හි ගේය සංකල්පනා හිමිකරුවා වන කුලරත්න ආරියවංශට අපගේ සිංහල ගීත සාහිත්‍යයෙහි හිමි ස්ථානය කොතැනදැයි සොයන්නට මම කාලය අපතේ නොයවමි. එහෙත් නිසැක වශයෙන් ම ඔහු අපගේ ගේය කාව්‍ය රචනා කලාවෙහි වර්තමාන විශිෂ්ටයන් අතළොස්ස අතර සම අසුන් ගන්නා ගේය කාව්‍යක්කාරයකු බව නොපැකිලව ම පවසමි.
බුද්ධදාස ගලප්පත්ති