භාරත සිනමා රසිකයන්ට බොලිවුඩය සැමදා උදාකර දෙන්නේ වසන්තයකි. පූර්ණ මසාලා සිනමාපට මෙන් ම ඇකඩමි සම්මාන උලෙළෙහි තරග වදින්නට තරම් සුදුසු නිර්මාණ ද ඒ අතර බිහිවේ. 2017 වසර මේ සිනමා වසන්තයේ බොහෝ මල් හට ගත්ත ද පල හට ගැනීමට තරම් සාර්ථක වූ නිර්මාණ තිබුණේ අතළොස්සකි. කබිල් රාඊස්, ජොලි එල්එල්බී 2 වැනි සිනමා නිර්මාණ යම් සාර්ථකත්වයක් අත්පත් කර ගත්ත ද අහස උසට බලාපොරොත්තු තැබූ ‘ටියුබ්ලයිට්’, ජග්ගා ජසුස්’, ‘ජබ් හැරී මෙට් සේජල්’ වැනි සිනමාපට ආදායම් වාර්තා පිහිටුවීම අතින් අසාර්ථක විය.
කෙතරම් නවකයන් සිනමාව අතික්‍රමණය කළ ද ඛාන් රජුන්ගේ ආගමනය සහ සල්මන් ඛාන් වරු තිදෙනා ගේ ආධිපත්‍ය තවම අඩු වී නැත.
ශාරුක්ගේ සිනමා පට ත්‍රිත්වයක් ම 2018 දී තිරගත වීමට නියමිත ය. ආනන්ද් එල් රායි අධ්‍යක්ෂණය කරන ඔහු කුරුමිට්ටකුට රඟන තවමත් නමක් නැති සිනමාපටය (තාවකාලිකව ඕමාන් නම යෙදූ) ඒ අතරින් සුවිශේෂී ය. තවත් විශේෂත්වයක් වන්නේ 2012 දී ජබ් තක් හෛ ජාන් සිනමා පටයේ රැඟූ කත්රිනා කායිෆ් සහ අනුෂ්කා ෂර්මා විසින් ම මෙහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමයි.
ඩූම් සිනමා පට මාලාවේ හතර වැන්නේ යළි ප්‍රධාන දුෂ්ඨයා වීමට ද ශාරුක් සූදානම් ය. ඩූම් හෙවත් පිපිරීම යන සිනමා පට මාලාව 2004 ඇරැඹුණු ඉහළ ආදායම් වාර්තා පිහිටවූ සිනමාවලියකි. මෙහි ඔහු රඟන ප්‍රථම අවස්ථාව මෙයයි.
දොන් 3 පිටපත ද මේ දිනවල ලියමින් පවතින අතර එහිද ඔහු සුපුරුදු වීරයා වීමට නියමිත ය.
‘සීක්රට් සුපර් ස්ටාර්’ 2017 සිනමා නිර්මාණ අතරින් අඩු නිෂ්පාදන වියදමකින් වැඩි ආදායමක් ලද සිනමා නිර්මාණයක් වෙද්දී අමීර්ට 2018 වසර ගැන ඇත්තේ වඩාත් සුබදායක ප්රාර්ථනාය. ‘තග්ස් ඔෆ් හින්දුස්ථාන්’ ඒ අතරින් ප්‍රධානය. ඔහු අමිතාබ් බච්චන් සමඟ රඟන දෙවැනි සිත්තම මෙයයි. මෙහි කත්රිනා ද රඟන්නීය. ‘තග්ස් ඔෆ් හින්දුස්ථාන්’ බොලිවුඩයේ චලන සිනමා පට ඇසුරින් විශාලතම නිර්මාණය වන බවට ද වාර්තා වී තිබේ.
‘සැලියුට්’ ජීවන අන්දර කතා පුවතකි. ‘දාන්ගල්’ සිනමා පටයට පසු ඔහු රඟන දෙවැනි ජීවිත කතාව මෙයයි. රංගන ජීවිතයේ පළමු වරට ප්‍රියංකා චොප්රාට අමීර්ව මුණ ගස්වන්නේ ද ‘සැලියුට්’ ය.
අසාර්ථක ‘ටියුබ් ලයිට්’ සමඟ බලාපොරොත්තු සුන්කර නොගත් සල්මන් ඛාන්, සිය පැරැණි පෙම්වතිය කත්රිනා කායිෆ් සමඟ එක්ව ‘ටයිගර් සින්දා හෛයි’ හා පැමිණීමට සූදානම් ය. මේ ඔහුගේ 2012 ආදායම් වාර්තා බිඳිමින් තිරගතවූ ‘ඒත් තා ටයිගර්’ සිනමා පටයේ දෙවැන්නයි. රේස් 3, දාබන්ග් 3 ඔහුගේ තවත් බලාපොරොත්තු දෙකකි.
ශාරුක් රඟන ආනන්ද් එල් රායිගේ ‘ඩ්වාෆ්’ හෙවත් ‘අඟුටු මිට්ටා’ දෙසැම්බර් 21 තිරගත වීමට නියමිත ය. අමීර්ගේ ‘තග්ස් ඔෆ් හින්දුස්ථාන්’ නොවැම්බර් 7 වැනිදා තිරගත වේ. සල්මන්ගේ රේස් 3 ජූලි 15 ද ටයිගර් සින්දා හෛ දෙසැම්බර් 22 දා ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කෙරේ.
ශාරුක් මෙන් ම සල්මන් ද ප්‍රේක්ෂකයන්ට එක්ව දකින්න ලැබෙන්නේ ‘ඩ්වාෆ්’ සිනමා පටයෙනි.
ජුබිලි කුමරාගේ අලුත්ම වික්‍රම
පනහ දශකයේදී රඟන සෑම සිනමා පටයක් ම ආදායම් ඉපයීම අතින් සාර්ථක වීම නිසා රාජේන්ද්‍ර කුමාර් හැඳින්වූවේ ජුබිලි කුමාරයා ලෙසිනි. වර්තමානයේද තවත් ‘කුමාර්’ කෙනෙක් ජුබිලි කුමරකු වී සිටියි. ඔහු අක්ෂේ කුමාර් ය. පද්මන්, මෙගා නළු රජිනිකාන්ත් සමඟ රඟන 2.0 ගෝල්ඩ් 2018 දී බොලිවුඩයට කාසි වැසි වස්සන ඔහුගේ සිනමා පෙළ ගැස්මයි.
සුපිරි නළු රාජේෂ් ඛන්නාගේ දියණිය අක්ෂේ ගේ ප්‍රිය බිරිය ට්වින්කල් ඛන්නා නිෂ්පාදනය කරන පද්මන් ඒ අතර වැදගත් තැනක් ගනී. මෙයට පාදක වී ඇත්තේ ද බරපතළ සෞඛ්‍ය ගැටලුවකි. තමිල්නාඩුවේ අරුණාචලම් මුරුගනාදම් විසින් ග්‍රාමීය පෙදෙස්වල දිළිඳු කාන්තාවන් වෙනුවෙන් ලාබ දායක සනීපාරක්ෂක තුවා ව්‍යාපාරයක් ඇරැඹුවේ කාන්තා සුවය නංවන්නට ය. මේ කතාව ඇසුරින් නිමවූ ‘පද්මන්’ ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ ට නොදෙවැනි වනු ඇත. උදාවන නව වසරේ සීතල දුරුත්තේදීම වෙනස් තේමාවක් රැගත් මේ අපූරු සිනමා පටය රස විඳින්නට ලැබේ. 2.0 විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයේ දුෂ්ඨයකු ලෙස අක්ෂේ රසිකයන් හමුවට එන්නේ අප්‍රේල් 27 වැනිදා ය.
ඔලිම්පික් පදක්කම්ලාභී කනිෂ්ඨ හොකී ශූරයකු වටා ගෙතුණු ගෝල්ඩ් අගෝස්තු 15 දින තිරගත වේ.
තාරකා පෙළහර
හිස ගසා දමන්න යැයි ඉල්ලීමට තරම් වරදක් වූ ‘පද්මාවතී’ රංගනයත් සමඟ දීපිකා බලා සිටින්නේ එය තිරගත වනතුරු ය. බොහෝ දුරට එන ජනවාරි මාසයේ හෝ වසරේ මුලම තිරගත වනු ඇත. දීපිකා තවම නමක් යොදා නැති ත්‍රාසජනක සිනමා පටයක ද ඉර්ෆාන් ඛාන් සමඟ රඟන්නීය. එය ඔක්තෝබර් 2 තිරගතවේ.
රාණි මුඛර්ජි සිව් වසරක රංගන දිවියේ නිහැඬියාව බිඳ දමන්නේ 2018 පෙබරවාරියේ තිරගත වන ‘හිචිකි’ සමඟිනි. ඇය මෙහි රඟන්නේ ස්නායු රෝගයකින් පෙළෙන ගුරුවරියකගේ චරිතයයි. අපේ ජැකලින් ෆර්ඩිනන්ඩ් රඟන ‘ඩ්‍රයිව්’ මාර්තු දෙවැනිදා ද, ජුනි15 රේස් 3 ද තිරගත වීමට නියමිත ය. සෝනම් කපුර්ට අක්ෂේ ගේ ‘පද්මන්’ 2018 සුවිශේෂ රංගන අත්දැකීමකි.
රංගනයටත් වඩා දැන් පවසන කතාවලින් ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින කන්ගනා රනවුත් ‘ජාන්සි රැජින’ ලෙස තිරයෙන් හමුවන්නේ අප්‍රේල් 27 දා ය. මනිකර්නිකා: ද ක්වීන් ඔෆ් ජාන්සේ පුරාවෘත්තයකි. 2014 තිරගත වූ ‘ක්වීන්’ සිනමා පටය මෙන් ම ‘ජාන්සි රැජින’ ද ඇයට වාසනාව උදාකර දේවිද? 2017 තිරගත වූ සිම්රන් ආදායම් පිහිටුවීම අතින් එතරම් සාර්ථක වූයේ නැත.
එක්දරු මවක් වන කරීනා කපූර්... මැයි 18 තිරගත වන ‘විර් ඩී වෙඩිං’ සිනමා පටයෙන් රසිකයන් හමුවට පැමිණෙයි. මෙය කාන්තා ප්‍රහසන සිනමා සිත්තමකි.
නව පරපුරේ දක්ෂ ජනප්‍රිය ආලියා ඛාන් තාරකාවගේ රංගනය 2018 වසරේදී ඇතුළත් වන්නේ රාසි සිනමා පටයටයි. රාසි (එකඟවීම) ෂෙමත් නව කතාව ඇසුරින් නිපදවූවකි. විරාත් කෝලි අලුත ගෙනා මනමාලිය අනුෂ්කා ෂර්මාගේ 2018 වසරේ දෙවැනි සිනමා පටය ‘සූයි දාගා මේඩ් ඉන් ඉන්දියා’ ය.
පසුබිම් රසකතා
අනිල් කපුර් සහ අයිශ්වර්යා රායි තිරයේ සිත්තම් කළ ‘තාල්’ සහ ‘හුමාරා දිල් ආප්කේ පාස් හෛ’ ආදරය ප්‍රේක්ෂක මතකයෙන් බැහැරව නොයයි. ඔවුන් තෙවැනි වරට දහ අට වසරකට පසු එක් කරන්නේ ජූනි 15 වැනිදා තිරගත වන ෆැනි ඛාන් ය. එහෙත් ඒ පෙම්වතුන් ලෙස නොවේ. දක්ෂ චරිතාංග නළුවකු වන රාජ්කුමාර් රාඕ ඇයගේ පෙම්වතා ලෙස රඟයි.
අනිල් කපුර්, මධුරි ඩික්සිත් එකතුව ද රසිකයන්ට තවත් රසබර අත්දැකීමක් වනු ඇත. ඔවුන් මෙසේ එක්වන්නේ දමාල් සිනමාපට මාලාවේ තෙවැන්න ලෙසිනි. කලින් සිනමා පටවල රඟපෑ රිතිෂ් දේශ්මුක්, අර්ෂාඩ් වර්සි, වැන්නන් අතරට අලුතින් එක්වී ඇත්තේ අනිල් කපූර්, මධුරි ඩික්සිත් සහ අජේ දේව්ගන් ය. දෙසැම්බර් 7 වැනිදා සිනමාපටය තිරගත වීමට නියමිත ය. මධුරි, අනිල් තිරයෙන් දක්නට ලැබෙන්නේ දාහත් වසරකට පසුව ය. මෙය විනෝදාත්මක සිනමා පටයකි.
ධර්මේන්ද්‍ර පිය පුතු පවුලේ රංගනය ‘යමිලා පග්ලා දීවානා - ෆිර් සේ’ විකට සිනමා පටයෙන් දැකිය හැකි ය. මේ 2013 ඇරැඹුණු යමිලා පග්ලා සිනමා පට මාලාවේ තෙවැන්නයි.
‘බාහුබලි 2: ද කන්ක්ලූෂන්’ සිනමා පටය 2017 වසරේ වැඩිම ආදායමක් ලද සිනමා පටයයි. එහි වීරයා වූ ප්‍රභාස් රඟන ‘සාහෝ’ අගෝස්තු 10 වැනිදා තිරගතවේ. මෙහි ප්‍රභාස් ගේ පෙම්වතිය ලෙස රඟන්නේ යුද්ධා කපූර් ය. ඇය සුෂාන්ත් සිං රාජ්පුට් සමඟ රඟන ‘චන්දා මාමා දූර් කේ’ ජනවාරි 26 තිරගතවේ. මේ අභ්‍යවකාශ විද්‍යා ප්‍රබන්ධ සිනමා පටය ද රසිකයන්ට රසාලිප්ත අත්දැකීමක් වනු ඇත.
ශ්‍රී දේවියගේත් බොනි කපුර්ගේත් දියණිය ජාන්වි කපුර් සිනමා ලොවට දොරට වඩින්නේ ‘ධදක්’ සිනමා පටයෙනි. උදාවන නව වසරේදී ඇයගේ නැවුම් රංගනය ජූලි 6 වැනිදා තිරගතවන ‘ධදක්’ සමඟ නැරඹීමට වරම් ලැබේ. මේ අතර සායිෆ් අලි ඛාන්ගේ හා අම්රිතා සිංගේ දියණිය සාරා අලි ඛාන්ගේ කුළුඳුල් රංගනය දෙසැම්බර් 21 වැනි දින ‘කෙදර්නාත්’ සිනමා පටයෙන් දොරට වඩින්නීය.
රිතික් රෝෂන්ගේ ක්‍රිෂ් 4, සුපර් 30, රන්වීර් සිංගේ සිම්බා, නව වසරේ තිරගතවේ.
රන්බීර් කපූර් සංජේ දත්ගේ චරිතය නිරූපණය කරන සංජු තවත් ප්‍රේක්ෂක බලාපොරොත්තුවකි. එය මාර්තු 30 වැනිදා තිරගත වීමට නියමිත ය. සංජේ දත්ගේ මව, නාර්ගීස් රංගන ශිල්පිනිය කලක් පෙම් බැන්දේ රන්බීර් කපූර්ගේ සීයා වූ විශිෂ්ට අධ්යක්ෂවරයකු හා රංගධරයකු වූ රාජ් කපූර්ට ය. එනිසා මෙය දෛවෝපගත සිනමා නිමැවුමකි.
චම්පිකා දීපානි රණසිංහ