සතය්‍ය කතාවක්.
අවි ගැටෙන තැන තැනෙන කවි මනරම්ය මල් පිපෙන පතරොම් මෙන්... (ජෙයපාලන් පිටුවහල් කිරීමේ නොකී කතාව) --------------------------------------------------------------------
වී.අයි.එස්. ජෙයපාලන් යනු ලෝක දෙමළ ප්‍රජාව අතර ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහු කවියෙකි, නවකතාකරුවෙකි, දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ අදහස් දක්වන්නෙකි. මෑත කාලයේදී සිනමා රංගන ශිල්පියෙකු ලෙසත් ඔහු අවධානයට ලක්විය. සියල්ලට එහායින් ඔහු ලෝක ප්‍රජාව විසින් පිළිගන්නා ශ්‍රී ලංකාවෙන් බිහිවූ මිනිසෙකි. ශ්‍රී ලංකාවේ උඩුවිල්හි ජීවත්වූ ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍ය සංගම් නායකයෙකි. ඔහු ශ්‍රී ලංකාව හැර යන්නේ යුද්ධයේ අඳුර ලංකාවට වැටුණු කාලයේදීය. පසුව ජෙයපාලන් නෝර්වේ පුරවැසියෙකු බවට පත්විය. ඉන්දියාව සහ නෝර්වේ අතර ඔහුගේ ජීවිතය ගෙවෙයි. සිංහල සමාජය ඔහු දෙමළ ජාතිකවාදියෙකු ලෙස හැඳින්වුවත් ඔහු එල්ටීටීඊ සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව එල්ටීටීඊ ප්‍රදේශවල සිටින සුළුතරය වන සිංහල ප්‍රජාව මෙන්ම සුළුතර මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන්ද පෙනීසිටියේය.(රාවය)
“.......යෝධයා යම් දිනෙක ශ්‍රී පාද කඳු යාය සසලවා ඉන්දියන් සාගරේ අගාධෙක සැඟව යනු නිසැකමය එසඳ මෙහි මිනිස්කම අවදි වී සියලු අත්වල පැළඳි යදම්වැල පුපුරාවි මල් උයන්වල රැඳුණු සොඳුරු බව හා සමඟ තටු ගසා පියාඹන සියොත් කැළ සේම හැමගේම ජීවිතය නිදහසේ පියාපත් ලබනු ඇත.”
ඉහත දක්වා ඇත්තේ ජෙයපාලන් 1971 දකුණේ කැරැල්ල පිළිබඳව ඔහුගේ ලේ වල වෙනස් වූ දීප්තිය තීන්ත කළ ආකාරයයි.ඔහු මෙරට විවිධ සංස්කෘතීන් යාකරනා දීර්ඝ පාලම විය හැකිව තිබුණද කාලය එයට ඉඩ නොදෙන ලදි.ඔහු සෙව්වේ නිදහසයි.එය දෙමළාගේ,තම්බියාගේ පමණක් නොව සිංහලයාගේද නිදහසයි.උතුරේ හා දකුණේ හෝ ලොව කොහේ හෝ මිනිසුන් ගැටෙන විට ඔවුනොවුන්ගේ හදවත් වලට නොදැණුනු උණුසුම ජෙයපාලන්ගේ හදවතට දැණුනේය.ඔහු ඒවා අකුරු කළේය.කවි වලින් අකුරු කරන දේ ප්‍රසිද්ධියේ කියන විට ඔහු සංවේදී වෙයි. ආවේග ශීලී වෙයි.ඔහු උතුරේ අරගලය ගැන සේම දෙමළාගේ ප්‍රශ්ණ පිළිබඳව වෙනම දැක්මක් තිබූ අමුතුම මිනිසෙකි.ලේ හලන විට ඊට ගරහන ඔහු හැලුණු ලේ පිළිබඳව කඳුළින් කැටයම් කරයි.ඒ ඔහුගේ හැටිය.බොහෝ අයට එකල ඔහු පෙනුණේ LTTE කාරයෙකු ලෙසයි.නමුත් බොහෝ දෙමළ කවියන් LTTE සංවිධානයේ නිල කවියන් කර ගැනීමට ප්රභාකරන්ට හැකි වුවද ජෙයපාලන්ව එසේ නම්මවා ගැනීමට නොහැකි විය.
"උතුර නැවත නොසන්සුන් කිරීමට ආ ජෙයපාලන් අත් අඩංගුවට'
"වීසා නීති උල්ලංඝණය කළ නෝර්වේහි පදිංචි දෙමළ කවියා උතුරේදී අත් අඩංගුවට"
"යාපනයේදී අත් අඩංගුවට ගත් ජෙයපාලන් ආගමන විගමන රැඳවුම් භාරයට."
"මහා දමිළ කවියා ජෙයපාලන් පිටුවහල් කෙරේ"
ජෙයපාලන් මහතාගේ සිදුවීම මීට වසර කිහිපයකට පමණ පෙර එනම් 2013 දී විවිධ මාධ්‍ය වාර්තාකළ ආකාරයයි ඒ.
ජෙයපාලන් උපන්නේ ලංකාවේය.ඉන් පසුව ඉන්දියාවේ පදිංචියට ගිය ඔහු නෝර්වේ පුරවැසියකු ලෙස දැන් ඔස්ලෝ නුවර ජීවත් වෙයි.ඔහුගේ මව 2006දී මිය ගියාය.ඒ උතුරේ අරගලය උච්චස්ථානයකට පැමිණි අවධියයි.ඔහුට තම මවගේ අවමංගල්‍යයට සහභාගී වීමට නොහැකි විය.යුධ වාතාවරණය නිමවී සාමකාමී වටපිටාවක එනම් 2013දී ජෙයපාලන් ලංකාවට අවේය.ඒ වසර 17කට පසුය.ඔහුට යාපනයට ගොස් වඩ්ඩක්කායිහි පිහිටි මවගේ සොහොනට අවසන් ගෞරව දැක්වීමට උවමනා විය.
‘‘මට එන්න බැරිවුණා අම්මේ ගින්දර ඔබේ මළ සිරුරට හාදුවක් දෙන්න පෙර හාදුවක් දෙන්න මට ඊට…’’
ඒ ඔහුගේ දැවෙන හදවතයි.
ජෙයපාලන් උතුරේ ඔහුගේ පැරණි මිතුරන් හමුවිය.ඔහු ආදරය අකුරු කළ මහා කවියෙකි.මවගේ ආදරය හා මරණය ඔහුගේ පපුව සොළවා තිබුණි.මුලින් කීවා සේ කවියෙන් කියන දේ වචනයෙක් කියන විට ඔහු සංවේදී වෙයි.ඔහු ආ නිසා උතුරේ යම් යම් සිවිල් සංවිධානයන්ට ඔහු සමග බද්ධ වීමට උවමනා විය.ජෙයපාලන් නිහඩ දමිළයාගේ වීරයෙකි.මිතුරු සමාගම් දේශපාලනික නොවන්නේ නොවේ.එවැනි තැන් වල ඔහු විවෘත වන්නට ඇත.ඔහු අවි දැරූවකු නොවේ.ඔහුගේ අවිය කවියයි.ඔහු කියන දේ කියා දමන අපූර්වයයෙන් පිරිපුන් ලොවක් පිළිගත් මහා පෞරුෂයකි.
කෙසේ නමුත් ඒ කාලය විවිධ විදේශ බලවේග මෙරට සාමකාමීත්වයට අතපෙවීමට මාන බැලූ සීතල යුගයක් විය.මෙරට වේගයෙන් ගොඩනැගෙමින් තිබූ සංහිඳියාව බ්‍රිතාන්‍යයේ Channel 4 ආදී කණ්ඩායම් විසින් කුරුවල් කිරීමට උත්සාහ දැරූ නොසන්සුන් කාලයකි. ගොඩනැගීගෙන එන විදේශ බලවේග පිළිබඳව කටයුතු කිරීමේ වඩාත්ම නෛතික බලය ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට බව එකල ආරක්ෂක ලේකම් වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තේරුම් ගෙන තිබුණි.එහි ප්‍රතිඵලයක් ලෙස හා වෙනත් බොහෝ රාජකාරී කටයුතු විධිමත් හා වේගවත් කිරීමට ආගමන හා විගමන නිලධාරීන්ගෙන් සමන්විත නිරීක්ෂණ බුද්ධි අංශය බිහි විය.ඒ 2009 දීය.මමද එහි පුරෝගාමී සාමාජිකයකු වීම පිළිබඳව අදටත් ආඩම්බර වෙමි.එකී ඒකකය එක එල්ලේම ආගමන හා විගමන පාලක වරයාගේ නිල සුපරීක්ෂණයට යටත් විය.ඔහු කෙළින්ම ආරක්ෂක ලේකම් වරයා සමග අපගේ වැටලීම් හෝ රාජකාරි පිළිබඳව නියෝග ලබා ගත්තේය.ඒ නිසා අපගේ රාජකාරි කිරීමට විශාල නිදහසක් ලැබී තිබුණි.
එකල අප නිතරම උතුරේ රාජකාරි සඳහා පිටත් වුණෙමු.මහා පාන්දරින් කොළඹින් පිටත් වුවද වවුනියාවට යන විටම හිරු ඈත තල්ගස් අතරින් ගිලී යයි.වවුනියාවේ අලුතින් දැමූ කාගිල්ස් සාප්පුවෙන් අත්‍යාවශ්‍ය කළමනා මිලදීගෙන රෑ හදපානේ වලවල් වල වැටි වැටී තාර ගැලවුණු A9 පාරේ අපේ ජංගම නිවහන වූ කුඩා හයිඒස් රථයේ ගමන් කිරීම අතිභයංකර මෙන්ම අති සුන්දර අත්දැකීමකි.ඒ වන විට ත්රස්තවාදයේ සුළං නිමා වීඉ තිබුණද එහි සීතල ඉතිරි වී තිබුණි.අප හට තිබුණු එකම අස්වැසිල්ල අපේ කණ්ඩායමේ සිටි මහා කළු දමිළයා වූ ජෙයරත්නම් මහතා පමණි.ඕමන්තෙන් පටන් ගෙන කිළිනොච්චි,අලිමංකඩ,පලෙයි හරහා යාපනයට යන ගමනට පැය 6ක් පමණ ගත වෙයි.ඒ රැල්ලෙන් රැල්ලට දිවෙන ගොඩබිම් බෝට්ටු ගමනේදී සිදුවන ෂුන්දර දේ අපගේම උප ෂංස්කෘතියට යටත් නිසා ඒ ගැන මෙහිදී නොකියා සිටීම නුවණට හුරුය.මාගේ අතිජාත ගමන් සගයන් දෙදෙනා වූ නානාගේත් කෝච්චියාගේත්(නානා මුසල්මානුවකු නොවන අතර කෝච්චියා කලින් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වූ නිසා එසේ හදුන්වනු ලැබේ.) හීනියට ඇසෙන අමරසරය හැරුණු විට මුළු පරිසරයම වෙළී යන්නේ තවමත් වෙඩිබේත් පුසුඹ දැනෙන කරදිය සුළගින් හා කිරි ඉතිරෙන හඳ එළියෙන් පමණි.ඒ එළියට මනමාල කරන්නට ඈත හොල්මන් මෙන් වැනෙන තල් ගස් වලට දැන් සවියක් නැත.ඒවා බොහොමයක් මෝටාර් වලින් බෙලී කැපී මරු වැළද ගෙන ඇත. පරක් තෙරක් නොපෙණෙන ගණන් තල් ගස් යාය මැදින් පීත්ත පටියක් මෙන් එලා ඇති ඒ 9 මාර්ගයේ උතුරේ නුහුරු බව මැදින් ඇදෙන මා හට ජෙයපාලන්ගේ නැලවිල්ල සිහි වීම අරුමයක් නොවේ.
පහුරු එතෙමින් දිවයන වැලක් මෙන් මහ මුහුදෙන් අහසට ගලන නිල් පැහැය බඳු සබඳතාවක් විහිද යනු දුටුවාද අප අතර?
අපි එසේ නිවි සැනසිල්ලේ මහා බරපතල රාජකාරීන් ඉටුකරමින් සිටියෙමු.බොහෝ දේ හෙළි කිරීමට නොහැක.ඒ අතර පොලිසිය විසින් ජෙයපාලන් අත්අඩංගුවට ගෙන තිබුණි.අභ්‍යන්තර පරීක්ෂණ මගින් ඔහු වීසා කොන්දේසි උල්ලංඝනය කර ඇති බව වාර්තා වී තිබුණි.ආගාමික හා විගාමික පනත අනුව වීසා කොන්දේසි කඩවීමට සියුම් වූ සිද්ධියක් පවා ප්රමාණවත්ය.එකී නිරීක්ෂණයන් ආගමන හා විගමන නිලධාරීන් විසින් සිදු කළ විට එය රටේ සාමාන්‍ය නීති රාමුවට යටත් නොවේ.කෙසේ හෝ අවසානයේ මේ ලෝක පූජිත කවියා අපගේ රැදවුම් භාරයට පත්විය.
ඔහු රදවා සිටියේ මිරිහාන රැදවුම් කදවුරේය.ඉඩපාඩු මදි වුවද එය සිරගෙයක් නොවේ.සමහරු සිගරට් මිලදී ගැනීමටත් එළියට යති. එය හවසට බීර බෝතල් ගෙන උයාගෙන කාබී සතුටින් සිටින අමුතුම මඩමකි. රැදවියෝ තැන් තැන් වල කාඩ් ගසති.තවද මිල මුදල් ඇත්නම් රෑට බම්බලපිටියට ගොස් කැසිනෝ ගසා උදේ පාන්දරම නැවත කදවුරට රිංගන උන් ඇති ලෝකයේ කොහේවත් නැති හරි පුදුම සිරගෙයකි.
ජෙයපාලන් මහතාට උපරිම නිදහස දී තිබුණි.ඔහු අති විශේෂිත පුද්ගලයෙකි.ඔහුට ඕනෑම කෙනෙකු හමු වීමට නිදහස දී තිබුණි.ඇමති වරු පවා ඔහු හමුවීමට ආවෝ ගියෝය.නමුත් ඔහු යම් තිගැස්මකින් සිටින බව පෙණුනි.ඔහුට තම ආදරණීය මවට ගෞරවය දැක්වීමට නොහැකි වී තිබුණි.පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පෞද්ගලිකවම ඔහු පිළිබඳව සොයා බැලුවේය.ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් වුවද ඔහුට කාරුණිකව සළකා තිබුණි.නමුත් දෙමළ සමාජයේ සැගවී තිබූ යම් සැකසංකා නිසාදෝ ඉතා බර හදවතක් තිබූ මේ මහා පුරුෂයා කම්පනයකින් පසු වූ බව පෙණුනි.
ආරක්ෂක ලේකම් වරයා, ආගමන විගමන පාලක වරයා, ජෙයපාලන්ගේ මිතුරු ඇමතිවරුන්, ඔහුගේ නෑදෑයන් හා මෙරට නෝර්වේ තානාපති වරයා ආදී සියලු පාර්ශව එකතු වී ඔහු පිළිබද තීරණ ගත් බව මම හොදාකාරවම දනිමි.කෙසේ වෙතත් ඔහුගේ නිල නොලත් මහා ආරක්ෂකයා වී සිටියේ ආගමන හා විගමන බුද්ධි අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතාය.ජෙයපාලන් මහතා අදටත් ඒ මහා හෞදයාංගම සැළකිල්ලට ගරු කරයි.
අවසානයේ ඔහු රටින් යැවීමට නියම විය.ඔහු සැබැවින්ම අප භාරයේ සිටියේ දිනක් හෝ දෙකක් පමණි.ඉතා ඉක්මනින් සියල්ල සිදුවිය. එහි අවසාන හා සංවේදීම කාර්යය මට භාරවිය.මම මදක් පසුබැස්සෙමි.
"ශානක මල්ලි.මේක උඹ කරන්නම ඕන.මේක ෆේල් වෙන්න බෑ.අපි අද යවන්නේ දෙවියෙක් ඒකයි."
අමිත් අයියාගේ ඒ වචන ටික මට තාම මතකය. ඔහු නීතිය හා රාජකාරියට කැපවූ විශිෂ්ඨ ප්‍රායෝගික නිලධාරියකු බව ආරක්ෂක ප්‍රධනීන් පවා දනී .ඔහු කවියක් හීනෙන්වත් කියවා නැති බව සැක නැත.ඒත් ඔහු සංවේදී මිනිසෙකි.මේ මහා කලාකරුවාගේ බර හදවත ඔහුට අසුවී තිබුණි.කවියන් ගැන අසා නැති අමිත් නිතරම අදහන දෙවියන් ගැන හොදින් දනියි.ඔහු දෙවියා කිව්වේ මේ මහා කවියා ඔහුට අතුරුපාරකින් මුණ ගැසී ඇති නිසා බැව් මට වැටහිණි.
මම ජෙයපාලන් මහතාව මිරිහානෙන් රැගෙන පිටත් වීමි.ඔහුත් මමත් රියදුරුත් පමණි.ඔහුව බොරැල්ලේ හවුස් ඔෆ් ෆැෂන් ආයතනයට රැගෙන යන ලෙස මට උපදෙස් ලැබුණි.එතැනට අමිත් පෙරේරා මහතාද පැමිණ තිබුණි.එවකට රජයේ ඇමතිවරයකු වූ බසීර් සේගුදාවුත් මහතාද ආවේය.ඔහු ගෝඨාභය මහතා සමග කතා කර බොහෝ දේ වෙනස් කරගෙන තිබුණි.අප කාටත් ජෙයපාලන් පිටුවහල් කිරීමට කිසිදු විශේෂ අවශ්‍යතාවක් නොතිබිණි.නමුත් නීතිය අපට වඩා කපටි හා සූක්ෂම වී තිබුණි.
සේගුදාවුත් ඇමති වරයා ඔහුට අලංකාර කමිසයක් මිලදී ගත්තේය.ඔහු නෝර්වේ ගිය අවස්ථාවක ජෙයපාලන්ගේ ආගන්තුක සත්කාර බුක්තිවිදි ආකාරය මා සමග කීවේය.පැයකට පමණ පසු අපි කටුනායක බලා පිටත් වුණෙමු.සේගුදාවුත් හා අමිත් ඔහුව තදින් වැළද ගෙන සමුගත්තේය.
දැන් මේ ලෝක පූජිත කවියා මගේ භාරයේය.ඔහුගේ කවි කියවා ඇති ඔහුගේ රසිකයකු වූ මා හට මෙය අසාමාන්‍ය අත්දැකීමකි.මාද හීනෙන්වත් නොකියවූ අමුතු කවියක් මා ඉදිරිපිට ලියැවෙමින් ඇත.අවාසනාවකට මම ඔහුගේ කවි ගැන කතා නොකිරීමට වගබලා ගතිමි.ඒ අපගේ රාජකාරී ස්වභාවයයි.නමුත් ඔහු රගපෑ ඉන්දියානු දමිළ සිනමාව ගැන කතා කළෙමු.වීරප්පන් පිළිබඳව නිර්මාණය වූ දමිළ චිත්‍රපටයක ඔහුගේ චරිතය මගේ මනසේ කෙටී තිබුණි. ඔහුගේ සෙළවෙන හදවත මහා භයංකාර නොසෙල්වෙන රැවුලකින් වසා ගෙන ඇති බවක් කියා මම විහිළුවක් කළෙමි.
ඔහු වහා මා දෙස බැලීය.මා කවියෙක්වත්දෝයි ඔහු සිතුවා විය හැක.ඔහු වහාම මාව කියවා ගෙන තිබුණි.මට වැරදුනාදැයි ඒ මොහොතේ සිතුණි.තනි වචනයකින් මහා කෘතියක් මැවිය හැකි මෙවන් මිනිසුන් ඉදිරියේ වඩාත් ප්‍රවේසම් විය යුතුව ඇත.මම නීතිය ක්‍රියාත්මක කරන තාක්ෂණික හදවතක් ඇති නිලධාරියකු පමණි.
ඔහුට අධිවේගී මාර්ගයේ නොගොස් සාමාන්‍ය මීගමු පාරේ ගමන් කිරීමට උවමනා විය.ඒ වන විට දෙස් විදෙස් මාධ්‍ය වලින් ජෙයපාලන් අතඅඩංගුවට ගත් බව ආන්දෝලනාත්මකව වාර්තා කර තිබුණි.මේ විශේෂ හා අවසාන මොහොතේ දමිළ සාහිත්‍ය ලෝකයේ වීරයා මා භාරයේ නිසා මා වඩාත් ප්‍රවේසම් විය යුතුව ඇත.මාගේ එදින රියදුරා වූයේ "අතකොටා" යනුවෙන් ඔහුගේ මිතුරු රියදුරන් හදුන්වන පාතාල පෙනුමක් ඇති නාහෙට නාහන රියදුරෙකි.
මම මීගමු පාරට හරවන ලෙස ඔහුට කීවෙමි.ඒ වන විට මීගමු පාරේ දිර්ඝ වාහන තදබදයක් තිබුණි.ඔහු මා වෙත නොරුස්නා බැල්මක් හෙලුවත් අවසානයේ හරි සර් කියමින් හැරවූයේය.මගදී ජෙයපාලන්ට බොහෝ දුරකතන ඇමතුම් ආවේය.දෙස් විදෙස් මිතුරන් ඔහුට කතා කළේය.ප්‍රංශයේ සිට කතා කළ දුරකතන ඇමතුමක් ඔහු මට යොමු කළේය.
Who is speaking there? මම විමසීමි
"මම රිලා. අවුලක් නෑනේ. මගේ යාලුවෙක් ඔය"
අනෙක් පසින් කීවේය.ඔහු බොහෝ මුස්ලිමුන්ගේද මිතුරෙකි.ඔහුව අත්අඩංගුවට පත්වීම පිළිබඳව කම්පාවන බව ඇමති රාව්ෆ් හකීම් පවා පවසා තිබුණි.
රිලා කියා ඇසුණු නිසා මා හිතුවේ අපගේ ජ්‍යේෂ්ඨ ආගමන නිලධාරියකු වූ සෙයිනුල් රිලා කියාය.
"හරි අයියේ. අද මම ඉන්නේ ශානක .මම බලාගන්නම්."
ඔහු ඉන්පසු වහා මට මචං කියා ඇමතීය.ඒ නුහුරු බව නිසාම මම කවුද කතා කරන්නේ කියා නැවත ඇසුවෙමි.
"මම වෙඩ්ඩා මචං ප්‍රංශෙ ඉදන්" මාහට රිලා මෙන් ඇසී ඇත්තේ වෙඩ්ඩාය.
"කවුද වෙඩ්ඩා කියන්නෙ?"
"මම වෙඩිවර්ධන"
"වෙඩිවර්ධන කිව්වේ මංජුලද?"
"ඔව් මම මංජුල වෙඩිවර්ධන"
වෙඩ්ඩා මගේ පරණ මිතුරෙකි.අප දෙදෙනාගේම විදේශගතව ජීවත් වීම තුළ මිතුරු කම් ඈත් වුවද අප එකට එකතුවූ "අස්වයෙක් එළුවෙක් හා බැටලුවෙක්"යෞවන නාට්‍ය මට සිහි විය.එහි වෙඩ්ඩා සිරකරුවෙක්ව දරුණුවට වද හිංසාවට ලක්වෙයි.ඔහුට වද දුන් ධනේෂ්වර හමුදා බටයා කොළඹ සරසවියේ ඉගෙන ගන්නා ගමන් ජීවත් වූයේ අපේ කොළොන්නාවේ බෝඩිමේය.කොස් කකා අරක්කු බී සිංදු කිවූ චමරියට කොට කලිසමක් ඇද කොළඹ පුරා ඇවිදින පපුවටම රැවුල වැවුණු මේ අමුතු තරුණයා අමුත්තෙක් නොවේ.ඔහු ගිය පසු සිගරට් කොට ඉවත් කිරීම මල පනින කර්තව්‍යයකි.ඔහුද පසුව මහා කවියෙකු විය.
"අප්පට සිරි වෙඩ්ඩා" මම ඔහුට මා කවුදැයි කීවෙමි.බොහෝ කාලයකින් සොයා ගත්තද ඔහු පරණ පිස්සු පූසාම බව පසක් විය.එය වෙඩ්ඩා හීනෙන්වත් බලාපොරොත්තු නොවූවක් විය.ඔහු බොහෝ සතුටු විය.සැක සංකා දුරුවිය.
ජෙයපාලන් මහතා මේ බව දැනගත් පසු ඔහු බොහෝ දොඩමළු විය.ඔහු ඉදිරිපිට සිටින්නේ ඔහුගේ මිතුරාගේ මිතුරෙකි.ඔහු බොහෝ දේ කීවේය.අතරමගදි ඔහුට කතාකළ නෝර්වේ තානාපතිනියට ඔහු ප්‍රීතියෙන් පිළිතුරු දුන්නේය.මා ගැනද කීවේය.තානාපතිනිය මා සමගද කතා කළේය.
මගදී ඔහුට කුසගිණි ඇතිවිය.අපි ජාඇල කෑම කඩයකට ගොඩ වැදුණෙමි.ඔහුට ආප්ප සමග තුන් කාලක් තැම්බූ බිත්තර උවමනා විය.කෝකියා නොරුස්නා ස්වභාවයෙන් කීවේ එය තැම්බීමට ඔහු නොදන්නා බවයි.ඔහු වාද කරන්නට ගියේ නැත.
කෝකියාගේ වට්ටෝරුවට රාත්‍රී ආහාර ගනිමින් ඔහු මා සමග බොහෝ දේ කීවේය.පාරිභෝගික සත්කාරය තුළින් නෝර්වේ ආර්ථිකය ගොඩනැගුණු අයුරු කීවේය.ලංකාව දියුණු කළ හැකි අපූරු යෝජනා ගෙනහැර පෑවේය.මා විසින් බිල ගෙවිමට උත්සාහ කළත් ඔහු බලෙන්ම එය ගෙවා දැමුවේය.ඔහුට ක්‍රීඩා සපත්තු කුට්ට්ටමක් ජාඇළින් මිලට ගැනීමට තවත් පැයක් පමණ ගත විය.කෙසේ නමුත් ගුවන් යානය පිටත් වන වෙලාව බොහෝ ළංව ඇති නිසාත් ඉටු කිරිමට බොහෝ රාජකාරීන් ඇති නිසාත් මා සිටියේ නොසන්සුන්වය.නමුත් ඒ බව ඔහුට නොපෙන්වීමට වගබලා ගතිමි.ඔහු එදින සුරක්ෂිතව පැමිණෙන තෙක් නෝර්වේහි ඔහුගේ ඥාතීන් පමණක් නොව එරට අගමැතිවරයාද බලාසිටින බව දැන සිටියෙමි.
ගුවන් තොටුපළේදී ඔහුගේ ඉවත් කිරිමට අදාල නිල රාජකාරි වලට බොහෝ කාලයක් ගත විය. එහි සිටි ඉන්දියානුවන් ඔහු දැක දිව විත් ඔහුව අල්ලන්නට විය.ඒ ඔහු කොලිවුඩ් තරුවක් බැවින් බව මා හට හැගී ගියේය. සමහර බුද්ධි අංශ නිලධාරීන් ඔහු දෙස බැලුවේ පොට්ටුඅම්මාන් අසු වූවා මෙන් බව හැගී ගියේය.ජෙයපාලන් මහතා කුඩා දරුවකු මෙන් මා සමගම සිටියේය.
සාමාන්‍යයෙන් අප යමෙකු රටින් ඉවත් කරන විට ගමන් බලත්රයේ Removed යනුවෙන් මුද්‍රා තබයි.ඊට අමතරව ගුවන් යානයේ නියමුවාට අදාල මගියා භාර දෙයි.නියමුවා විසින් ඔහුව අදාල රටේ ආගමන නිලධාරීන්ට භාර දිය යුතුය.නමුත් අප මේ කිසිවක් නොකළෙමු.ඒ ලෙසට නම්‍යශීලී වීමට මාගේ ප්රධානියාගෙන්ද උපදෙස් ලැබී තිබුණි.
සැක,බිය,සතුට,දුක,කුතුහලය අතර වේගයෙන් දෝලනය වූ මේ ලාංකික ජන්මයක් ඇති ලෝක පූජිත මහා කවියාගේ පුනරාගමනයේ අවසාන පියවර ළගාවී තිබුණි.ගුවන් යානයේ දොරටුව අසළදී මම ඔහුට සමු දුනිම්.
"Mr.Jeyapalan.You are free now" මම කීවෙමි.
I want to come back Sir .Can I?
Why not? We are happy to see you again.
ඔහු නෝර්වේහි ගොඩබැස මට දන්වන බවට පොරොන්දු විය.ඔහු මා වැළද ගෙන සමුගත්තේය.බොහෝ දේ මට දැණුනි.ඔහුගේ හදවතේ බරද කදුළු වල උණුසුමද තදින් දැණුනි.අවසානයේ ඔහු සතුටින් නික්ම ගියේය.ඔහු පසු ගිය අගෝස්තුවේත් මා සමග දොඩමළු විය.ඔහුට නොදන්වා ඉන්දියාවේ යෑම ගැන මට දොස් කීවේය.දැන් අපි මිතුරන්ය.මාගේ Facebook පිටුවෙන් ඔහු මා දෙස බලා සිටින බව මම දනිමි.ඉඩක් ලද මොහොතක මෙම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන්ද ලිවිමට අදහස් කරමි.කෙසේ වුවත් භාෂාව,ජාතිය,ආගම ආදී සීමාවන් අතික්‍රමණය කළවිට ආගමන විගමන නිලධාරියකුට ලැබෙන අද්විතීය හමුවීමක වින්දනීය අත්දැකීම එයයි.
"ආයෙ කවදාක හෝ මගේ මවුබිමේ එක වෙරළතක මගේ දෙපයින්ම මං නැගෙන’යුරු ඔබ දකින දවසකදි මට යළිත් අරගන්න අද දවස මම ඔබට තෑගි දෙමි….’’ VIS Jeyapalan
"ඉතින් ලොකු අයියේ අපි ඔබව පිටුවහල් නොකළෙමු." විස්වාස කරන්න.මේ කියන්නේ අදාල ආගමන හා විගමන නිලධාරියාමය.
සටහන : Shanaka Madhushan Aparekka Liyanagama