“හිතුවේම නැති මොහොතකදී මට ඔයා
මතුයම් දිනෙක අහඹු ලෙස හමුවෙලා
ලැබුනොත් ඉඩක් ඔබ දෙපා නැමදලා
මිය යන්න හරි මම සමා ගන්නවා
දුරින් හිද තැනූ ජීවිතෙන් පැරදිලා
ඔබේ වටිනාකම වැටහුනා
මම ලැබුව ඉරණමට වුනදේ වුනා
එය හිතලා ඔබ දිනෙක ලතවෙන්නෙපා”
මෑතක සිට අන්තර්ජාලයේ විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනප්‍රියත්වයට පත්වූ මියුරු මිහිරි ගීතයක පද කිහිපයකි මා ඉහතින් සඳහන් කළේ. ඒ හඬේ ඇති ආදරණීය ලෙන්ගතු ස්වරය නිසාම, ඒ සොදුරු කටහඬේ හිමිකාරිණිය සොයන්නට වෙහෙසුනා. මට හමුවුන ඇය වර්තමානයේ පදිංචිව සිටින්නේ ඩුබායි රාජ්‍යයේයි. අන්තර්ජාලය ඔස්සේම ඇය හා දොඩමළුවීමට මට සිදුවිය.
ඇය හා කළ සංවාදයන්ට අනුව, මෙම ගීතයෙන් ගම්‍යවන ආදරයේ විරහාව ඇය සත්‍ය ලෙසම අත්විද ඇත්තේදැයි ඇසූ පැනයට පිළිතුරක් දීමට ඉදිරිපත් නොවී මුණිවත රකින්නට වූවාය. මිනිස් සිතක පැවසිය හැකි නොහැකි බොහෝ දේ අනතර්ගතව ඇති බැව් දන්නා නිසාම ඇය තවදුරටත් අපහසුතාවයට පත්කරලීමට මා යළි යළිත් උත්සාහ නොගත්තෙමි.
ඇයට අනුව මධ්‍යම පළාතේ මාතලේ නම් වූ සොඳුරු පුරවරයේ උපත ලද ඇය, එහිම විජය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අවධියේ සිටම පාසැල් විෂයක් ලෙස සංගීතය හදාරා ඇත. පවුල් පසුබිමෙන්ද සිය සිරුරට සංගීත හුරුව දායාදව තිබුනත්, සිතට අවැසිව තිබූ කාලයේදී සිය සිහිනය යථාර්ථයක් කර ගැනීමට ඇයට හැකියාව ලැබී නැත.
කාලයත් සමඟින් දිවිමඟ ජය ගැනීමේ අරමුණින් යුතුව විදේශ ගතවන ඇයට, මූලිකව සිදුව ඇත්තේ දිවි සිහිනයේ සැරි සැරීමටම පමණි. තව දුරටත් යටපත්කර සඟවාලිය නොහැකිවූ ඇයගේ ගායන ශක්‍යතාවය මතුව ආ කළ දෙවරක් නොසිතාම මව් බිමට පැමිණ තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඇය මෙවර සමත් වූවාය.
එහිදී ඇයගේ ගායිකා සිහිනය පුබුදුවාලන්නට සජිත් වී. චතුරංග පද පෙළහරිනුත්, කෙෂාන් පෙරේරා සත්සර මුසුවෙනුත් ගෞරවාන්විත දායකත්වයක් ලබාදී ඇත. නිර්මාණශීලී රූප රචනාව අධ්‍යක්ෂණය කර ඇත්තේ මෙවන් ලියනගේ විසිනි. එය මේ වන විටත් සිඝ්‍රයෙන් ප්‍රේක්ෂක අවධානයට ලක්වෙමින් පවතී.
ඇයගේ කුළුදුල් ප්රවේෂය මෙයයි. ලැබෙන ප්‍රතිචාරයන්ට අනුව මේ ක්ෂේත්රයේ ඉදිරියට යාම ඇයගේ අභිලාෂය බැව් පවසයි. මේ තාක් දුර පැමිණි ගමන් මඟට අත්වැල සැපයූ සියළුම සහෘර්දයන් වෙත සිය හෘදයාංගම ප්‍රණාමය පුදකරලීමටද ඇය අකාරුණික නොවූවාය.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු