දරුවනි,
ගාසාවේ දී
මරණය සිනාසෙන
අහසක් යට
තුවාල වූ නිවාස
තිබෙන යුරු
උගනීවි නුඹලා
එතකුදු නො ව
සුන් වූ සයනයේ
පොරෝනයෙන්
දුම් නගන යුරුත්
උදෑසන ආහාරය
කුණු වැකී අපවිත්ර
වන යුරුත්
උගනීවි නුඹලා...
හදිසියේ, වීදි මත
කරණම් ගසා
උඩුබැලිව මියෙන
මෝටර් රථ ද
රක්ත වර්ණයෙන්
අවපැහැ ගැන්වෙන
ඇඳුම් ආයිත්තම් ද,
කෙළි දෙළෙන් වසනා
මිතුරන් නිසල පිළිරූ
වන සැටිත්,
බක්කරේ පාන්
නො විකුණන යුරුත්
උගනීවි නුඹලා...
කුරුමාණම් ඇස් අහැරුණු
තුවක්කුවක් වැනි වූ රාත්රිය
සෙල්ලම් බඩු දවාලයි සැණින්
ගැහෙන හුස්ම ද නවතමින්,
ඊළඟට "ඔබේ වාරය" විය හැකියි,
මෙය ද උගනීවි නුඹලා...
ඉලක්කයක් නැතිව
ගිනි පිඹින සඳ, ඔවුන්ගේ
වෙඩි පහරින් මියෙන්නේ
සොල්දාදුවකු නො ව
සත්තකින් ම
මියෙන්නේ ඔබ ඇතුළු
මිනිසුන් බව ද
උගනීවි නුඹලා...
පණ නල ගෙන
දුවන්නට තැනක් නැත
සැඟවෙන්න තැනක් නැත
නිවෙස තුළ ම උපන් බිමෙහි ම
වෙසෙනා අප සියල්ලන්ට ම,
එ් තතු උගනීවි නුඹලා ...
මරණය ජීවිතය නො වන සැටිත්
සුළඟ අප ආහාරය නො වන වගත්
භූමිය සියල්ලන්ට ම බවත්
"නො මැරී හිඳීමට මට ඇති
අයිතිය නුඹට ද ඇති සැටිත්,"
නො මැරී හිඳීමට මට ඇති
අයිතිය නුඹට ද ඇති සැටිත්,
දරුවනි උගනීවි නුඹලා...
Children of Gaza යන මැයෙන් ගාසා තීරයේ නො නිමි ලේ වැගිරීම ගැන Islam for Kids පිටුවෙහි ලියැවුණු පලස්තීන ගාසා තීරයේ තතු පැවසෙන කවියකි...
-පරිවර්තනය - සංජය නිල්රුවන්-