නයනහාරී අබේනායකගේ මල් තුහින නොවේ මේ යාපනේ .. ජායාරූප ප්‍රදර්ශනය නිමිත්තෙනි....
විශ්ව විද්‍යාලයේ දේශන සඳහා යන විට පහත මාලයේ ජායාරූප ප්‍රදර්ශනයක් දුටුවෙමි. කලබලය නිසා උඩින් පල්ලෙන් එක දෙකකට එබී බලද්දීම මට එහි මහා පුරුදු ගතියක් දැනුණේය.. ලාල් සර්ගෙ වෙන්න ඕන..ඒ රිද්මයමයි.. මම මට ම කියාගත්තෙමි..මා දේශණ ශාලාව වෙත පියමැන්නේ ජායාරූප වෙතින් ලද ආශ්වාදයද හදවත කරපින්නාගෙනය.දේශන අවසන් වී ධරණීත් මමත් ජායාරූප ශාලාව වෙත පියමැන්නේ උදේ ඇති වූ කුතුහලය නිසාමය.ඉතින් අපි මහත් ආශාවෙන් එකින් එකට එබෙමින් එබෙමින් හද ඇද ගත් සේයා රූ ජායාරූපගත කරමින් ආවෙමු. මේ ගමනේදී අපට එක්වරම මුණ ගැසුණේ කැමරාවක් අත දරාගත් ප්‍රිය ජනක දොඩමළු මිනිසෙකි. ඔහු සිරිපාල අබේනායකය... මේ ජායාරූප වල සැබෑ හිමිකාරිය ඔහුගේ දියණිය වූ නයනහාරී අබේනායකය.
නයනහාරිගේ ජායාරූපවල මුඛ්‍ය තේමාව වූයේ යුද්ධයේ අප්රසන්නතාව සහ දුක්විදින මනුෂ්‍යා වෙනුවෙන් ඇය වෙත ඇති මනුෂ්‍යත්වයයි. එකී මනුෂ්‍යත්වය නිකම්ම ජායාරූපයක් බවට පත් නොවීය. ඇගේ සෑම ජායාරූපයක්ම ඇගේ ගුරුවරයා වූ ලාල් හෑගොඩගේ මෙන්ම කාව්‍යාත්මක බවකින් සහ ඇයටම උරුම වූ සාහිත්යයකින්ද පිරී පැවතුණි. යාපනය ප්‍රදේශයේ සරමින් එහි වෙසෙන මිනිසුන් සමග ස්වකීය ජීවිතය බෙදාගනිමින් ඇය සිය පියා සමග අන්‍යයන්ගේ ජීවිත කියෙවුවේ තමන්ගේ ජීවිතයේ බොහෝ දේ තමන් තුළින් ගිලිහී යන්නට ඉඩ හරිමිනි. හුස්ම ගන්නා පංචස්කන්ද පමණක් බහුල සමාජයක ඇය ජීවත් වීමේ පින ලද්දීය. ඇයගේ ජායාරූප එකතුවෙන් වඩාත් මා සිත් ගත් ජායාරූපය වන්නේ මෙහි පළමුවන ජායාරූපයයි.
එය ඇය විසින් නම් කර තිබුණේ මහා තොරණ් රාජයා යනුවෙනි. බෞද්ධාගම හරහා මනුෂ්‍යයාට උරුම කරදුන් සංස්කෘතියේ නායකයා යනු ඉපයීම් ක්‍රියාවලියට දායක නොවූ අන්‍යයන්ගේ ශ්‍රමයෙන් යැපෙන ප්රාතිහාර්යයක් බදු රූප සෝබාවක් සහිත කිසිවකුට කිසිදා ලංවිය නොහැකි ප්‍රතිරූපයකි. ඒවායේ භෞතික ස්වරූපය පවා මනුෂ්‍ය ස්වරූපයෙන් පරිභාහිරය.අද්භූතය. වැඩවසම් මානසිකත්වයක් සහිත කොදෙව්වාසී රටකින් ඊට වඩා යමක් අපේක්ෂා කරන්නටද අපහසුය. මහා තොරණ් රාජයාහි පෙනෙන්නේ කතාවක් නැති සැකිල්ලකි. ඒ සැකිල්ලෙහි රාමු විශාල ගණනකි. එහි මුදුනේම බෞද්ධ කොඩියක් ලෙලදේ. පටිටම් කඩාගෙන සැකිල්ල අතරින් මතු වී පෙනෙන වීරයෙකි. හෙතෙම සිදුහතුන්ගේ කුමාර අවධියේ දුෂ්කරක්‍රියා කළ රූපයට සමානය. සිදුහත් වැනි චරිත දුෂ්කර ක්‍රියා කළේ අත්හදාබැලීම් වශයෙනි.නමුත් මේ අහිංසක මිනිසාගේ ජීවිත කතන්දරයේ පූර්වාපර සන්ධි ගලපා සමෝදානය කිරීමට නම් මේ දුෂ්කර ක්‍රියාව කළ යුතුය. මෙය ජීවත් වීම වෙනුවෙන් කරන දුස්කර ක්‍රියාවකි. මේ කතන්දරයේ සන්ධි ගැලපූ විට බඩගිනිකාර දරුවන් පෝලිමක් , දුක්විදින බිරිදක් මතුවනු ඇත. ජායාරූපයක් තුළ ජීවිත කියවීමක් තිබිය යුතුය. ලාල් හෑගොඩට එය විශිෂ්ට ලෙස තිබුණි. ඔහු හදගමව සහ සුනිල් ආරියරත්නව ජායාරූපයට නැගූ අන්දමින්ම එය ප්‍රකට කළේය. කිසිදු අඩුවක් නැතිව නයනහාරිටද ඒ ගුණය ඒ අයුරින්ම පිහිටා තිබේ. ලාල් හෑගොඩයන් විසින්ම කියන අන්දමට නයනහාරී විසින් නමේ අරුතින්ම අපේ නෙත් හොරකම් කර ඇත්තීය..
මෙහි දෙවන ජායාරූපය සහ තෙවන ජායාරූපය වූ යාපනේ මිරිස් නමැති නිර්මාණ තුළින් උතුරේ දිවි ගෙවන සිංහල සහ දමිළ වැසියාගේ දුක්ඛිත ඉරණම නිරූපණය වේ. ඔවුන්ගේ සමස්ත ජීවිතය අද වන විටත් කටුකම්බි ගසා වට කර ඇත. වසර තිස් ගණනකට ත් වඩා අනාථ කඳවුරු ජීවිත ගත කරන්නන්ගේ තත්වය අදටත් එසේමය. ඔවුන්ගේ ජීවිත මිරිස්වලටත් වඩා සැරය. පුපුරු ගහන තරමටය. ඒ වේදනාව දනෙන්නේ හුස්ම ගන්නා කවන්ධයන්ට නෙවේ. හදවතක් ඇති මිනිසුන්ටය. ඒත් කලාතුරකින්ය.ජාතිවාදී විෂබීජ වපුරන මිනිසුන් අතර ඇයට පැවැත්ම පිළිබද කාරණාව වඩාත් අපහසු වනු ඇත. නමුත් ඇයට හොද පියෙකු සිටී. ඔහු දියණියකට කිසිදා ලැබිය නොහැකි තරමේ වටිනාකමක් ඇති පියෙකි. ඇයගේ නිර්මාණ සදහා අවශ්‍ය ජීවන බර එන්නට ඇත්තේ පියාගේ දර්ශනය ඔස්සේයයි සිතුණු වාර අනන්තය. ඔවුහු ඒ තරමටම සංකල්පනාත්මකව සුන්දර මිනිසුන්ය.
ජීවිතයේ දුක්ඛයන් ට අමතරව සෞන්දර්යයන් ද අතරින් පතර මනුෂයයාට මුණ ගැසේ.මේ හතරවන ජායාරූපයට මාතෘකාවක් යොදා තිබුණේ නැත. කොට්ටම්බා ගසක් ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලක් සහිත මෙම ජායාරූපය වර්ණ සමග සිදු කළ සුවිශේෂී ගණුදෙනුවකි.භෞතික ඉදිකිරීමක් ස්වභාවික පිහිටීමක් සහ ස්වභාවික සහ සංස්කෘතික මිනිසා පිළිබද ඇගේ කියවීම පුළුල්ය.ස්වභාවික ගස වර්ණවත්ය. සංස්කෘතිය වර්ණයෙන් තොරය. . ඇගේ සෑම ජායාරූපයක්ම ලාල් හෑගොඩගේ රෑප ජායා ප්‍රදර්ශනය සිහිගන්වන කාව්‍ය ගුණයෙන් සුපෝෂිතය.
අවසානයට මා තෝරාගත් සතුටු අහසද එබන්දකි. අහස් නිල යනු සිත නිවන වර්ණයකි. එය සෙනෙහසේ වර්ණයයි. අම්මාත් අහසත් දරුවාත් යන සංකල්ප ත්‍රිත්වයම සුවිසල්ය. අම්මා කෙනෙකු දරුවකු වෙනුවෙන් උසුලන්නේ අහස තරම් වේදනාවකි. ඒ තරම්ම ඉවසීමකි. වේදනා මැද ඒ මොහොතේ ඉවසීම සහ සතුට යනු මනුෂ්‍යයාට හෙට දවස වෙනුවෙන් ලබාදෙන උණුසුම් ජීවන අපේක්ෂාවයි. ඇගේ ජායාරූප කිසිවක මල් තුහින තිබුණේ නැත. මනුෂ්‍යයාගේ දුක වේදනාව සමග ගෙවන සාමාන්‍ය ජීවිතයේ මොහොතක සතුට සැනසීම වැනි සත්‍ය ජීවිතය කාව්‍යාත්මකව කියවීම සඳහා ස්වකීය පරිකල්පනයද ඇය ඊටම මුසු කර තිබුණාය.ගුරුවරයා ගිය මගම දුර ගමනක් යෑමට සුබ ලකුණු පෙනේ. අස්විද නැකත වැනි සුබ හෝරා බලන්නට ඕනෑ නැත. මනුෂ්‍යයන් ගැන ඔබ තුළ ඇති මානවීයත්වයම මතු දිනක ඊට මග තනා දෙනු ඇත...
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -