ස්ත්‍රියගේ “සංසර්ගීය සතුට” කියන්නෙ මොකද්ද කියන එක ගැන ලාංකීය පුරුෂ නාට්‍ය කලාවේ සායක්කාර තැබූ සටහන නැවත හැරවිය නොහැක. එය සායක්කාරට වුවමනා වුවද හැරවිය නොහැක. කොටින්ම කියනවා නම් එකී ස්ත්‍රියගේ සංසර්ගීය ආශාව නිසා නාගසිංහ නම් පිරිමියාගේ පුරුෂ ලිංගය කෙලින් වූ අතර
ප්‍රේක්ෂකාගාරයේ පිරිමින්ගේ ලිංගයන් පණ නැති වෙන තරමටම ඇය ඇගේ ආශාව ප්‍රකට කරවනු ලැබුවාය. බැලු බැල්මට නාට්‍යය තුළ වාමාංශික විරෝධයක් ඇතැයි ඇතැමුන් කලබල වීමට ඉඩ ඇත. නමුත් සායක්කාර කරන්නෙ වම බේරා ගැනීමය. සායක්කාර මේ කියන්නෙ තක්ෂිලා වැනි හරියට තමන්ගේ “ගේම්” එක ගහන ගෑනු හිටියා නම් වාමාංශයට මෙහෙම නොවන බවයි. ආතල් ගත් ප්‍රේක්ෂකාගාරය ගල් ගැසෙන්නෙ වම පවා දුන් නිසා නොවෙයි. ඈ විසින් නාගසිංහව ඇඳක බැඳ දැමූ නිසාද නොවෙයි. ස්ත්‍රියගේ විනෝදය සහ පුරුෂ ලිංගය අතර ඇති පැල්ම තුළ ප්‍රේක්ෂකයාගේ ආතල් එක කැඩීම නිසාය. නාටකය ප්‍රේක්ෂක මනසේ කොටස් දෙකකට කැඩී යයි. පළමු කොටස නාගසිංහගේ ආශාව සහ ප්‍රේක්ෂකයාගේ ආශාව එකට සමපාත වෙමින් නාටකය ගමන් කරන දුරයි. තක්ෂිලා ප්‍රකට කරවනු ලැබූ ආශාවේ නාගසිංහ මෙන්ම ප්රේක්ෂකයාද ගැලෙයි. ප්‍රේක්ෂකයාගේ ආශාව ලෙස සායක්කාර ගොඩ නගන්නේ තක්ෂිලා නාගසිංහගේ ලිඟුවට ආශා කිරීමයි. ඔහු සමග ඇති සංසර්ගයට ආශා කිරීමයි. නාටකය මුලදී එය නාගසිංහගේ මෙන්ම ප්‍රේක්ෂකයාගේ ආශාව බවටද පත් කිරීමට සායක්කාර සමත් වෙයි. දිගින් දිගටම ප්‍රේක්ෂකයාට මෙම විනෝදයේ ගැලී සිටීමට ඉඩ දෙන මෙන් කොක් හඬලා සිනහසෙන ප්‍රේක්ෂකයා ඉල්ලා සිටී. ව්යාඝ්රා පෙත්තක් වෙනුවට දෙකක් දැමුවේ ඈ නාගසිංහ ලවා කර ගැනීමට තිබූ ආශාව නිසා බව තක්ෂිලා වරින් වර කියයි. ප්‍රේක්ෂකයා පැටලෙන්නේ ඈ නිර්මාණය කරන මෙම ආශාව වටාය.
මේ වගේ ගැහැනියක්... පිරිමියෙකුගේ ලිඟුවට ආශා කරන ගැහැනියක්... පිරිමි ප්‍රේක්ෂකයාගේ විනෝදය නාටකයේ ආරම්භයේ සිට මනා ලෙස ගොඩ නගයි. ප්‍රේක්ෂකයන් සිනහවෙන්, විනෝදයෙන් එහි පැටලෙයි. මෙවන් ගැහැනියක්... ප්‍රේක්ෂකාගාරයම කෙළින් කිරීමට සමත් ගැහැනියක්... සංසර්ගය සහ ස්ත්‍රිය සම්බන්ධයෙන් ආතල් ලොරියක් අස්සේ ඔහු ප්‍රේක්ෂකයා විනෝදයේ ගිල්වයි. එහෙත් හදිස්සියෙම නාටකය ඛණ්ඩනය වෙනු ලබන්නේ තක්ෂිලා සංසර්ගය සමග කිසිදු සම්බන්ධයක් නැති බවත් ඇය නාගසිංහගේ බලය සහ මුදල් සමග එතුවක් ගනුදෙනු කර ඇති බවත් දැනෙන විටය. එතෙක් නාගසිංහගේ විනෝදය සමග එක්වූයේ නම් ප්‍රේක්ෂකයාට සිදු වන්නේ එම විනෝදයට දඩුවම් ලැබීමටයි. ඒ නාගසිංහ ගැට ගසා දැමීම හෝ ඔහු පාවා දී ඇය මුදල් ලබා ගැනීම නිසා නොවේ. සංසර්ගයේ දී ඈ දී ඇත්තේ බොරු ආතල් එකක් බවත්, ඈ කෙඳිරි ගා ඇත්තේ බොරුවට බවත් දැන ගැනීම නිසාය. ප්රේක්ෂකයාද නාගසිංහ මෙන්ම තක්ෂිලා සමග රමණයෙන් භාවාත්මක ඒකත්වයකට පත්ව සිටියේ නම් ඔහු නාගසිංහ මෙන්ම අකරතැබ්බයකට වැටේ. නාගසිංහගේ වේදනාව කෝටි හතර නැති වූවාටත් වඩා වැඩි යමකි. වාමවාදී ඔහුගේ ශුද්ධත්වය කෙලෙසා ගැනීමටත් වඩා වැඩි යමකි. ගැහැනියට තමන්ගේ ලිංගියත් එක්ක කිසිම සම්බන්ධයක් නැති බව දැන ගැනීම! සායක්කාර ඔහුටත් ප්‍රේක්ෂකයාටත් දෙන දඬුවම එයයි. ඔන්න පිරිමින්ට ආශාව නිස්සරණය කිරීමට වුවමනා නම් ‘මම කෙළින් මිනිහෙක්’ හොඳ අත්දැකීමක්. නැවත කෙළින් වීමට නම් “මං කෙළින් මිනිහෙක්” සදහටම අමතක කර දැමිය යුතුය.
එස්කිමෝවරු ස්ත්‍රියගේ යෝනි මාර්ගයේ දත් ඇති බව කීවේ කට කහනවාට නොවේ. බලාගෙනයි!
හදිස්සියේම ඇගේ ආශාත්මක කෙඳිරිය පිටුපස තිබුණේ වෙනත් අරමුණක් බව පිරිමියෙකුට දැනුණු පසු... සායක්කාර පිරිමින්ගේ විනෝදය කප්පාදු කරයි. වාම හෝ දක්ෂිණ දේශපාලනික හෝ කුමන හෝ පිරිමියෙකු වන ප්රේක්ෂයෙකුට මෙම කප්පාදුවෙන් ගැලවිය නොහැක. සායක්කාරගේ නාට්‍ය බැලුවට පස්සෙ පිරිමින්ට දෙකින් එකක් තියෙනවා. එකක් දිගින් දිගටම ගැහැනියට තමාව රවටන ලෙස ඉල්ලා සිටිමින් ස්වයං රැවැටීම තුළ ලිංගයන් කෙළින් කර ගැනීමයි. නාගසිංහගේ බහින්නෙ නැති ලිගුව නිර්මාණය කරන සායක්කාර කරනුයේ පිරිමි ප්‍රේක්ෂකයාගේ කෙලින් වුණ සුරතලා පණ නැති කිරීමයි. මෙය ප්‍රේක්ෂකාගාරය දැඩි කෝපයකින් අවුලුවා ලීමට තරම් සමත් එකක් වෙන්ඩ පුළුවන්. එහෙත් මේ දඬුවම ඔහු කරන්නෙ තමන්ගේ සහෝදරයන් ගැන ආදරෙන් කියලා තමයි මට හිතෙන්නෙ. නාගසිංහලා වගේ පිරිමින්ට ගැට ගැහුනු ගැහැනු ප්‍රේක්ෂකයෙක් නම් නාට්‍ය ගැන තරහා වෙන්ඩ පුළුවන්. මොකද පිරිමින්ගේ පුරුෂ ලිංගය සමග තමන්ට කරන්ඩ සිදු වෙලා තියෙන ගේම් එක එළිදරව් වීම තරමක අපහසුතාවයක් වෙන්ඩ පුළුවන්. ඒ අනුව සායක්කාර ගැහැනුන්ට කරලා තියෙන්නෙ “බඩේ පාර දීමක් ” වගේ එකක්. මොකද පිරිමින්ට ඕනේ තමන්ගේ ලිගුවෙන් සතුටට පත් වෙන ගැහැනියක්. ගැහැනියක් පුරුෂ ලිංගයට දක්වන සංකීර්ණ සබඳතාවය ඔහු ගොඩ නගනවා. කොටින්ම ස්ත්‍රියක් පුරුෂ ලිංගයට දක්වන ලිංගික දේශපාලනය ඔහු ගොඩ නගනවා.
කොමියුනිස්ට්වාදය විශ්වාස කරන පිරිමි සහ දක්ෂිණාංෂික අදහස විශ්වාස කරන පිරිමි කියලා පිරිමි වෙනස් වෙන්නෙ නැති බවත් ගැහැනු හොඳටම දන්නවා. දක්ෂිණාංෂික පොහොසත් පිරිමින්ට වමේ පිරිමින්ට වඩා ගැහැනු ආකර්ශණය වෙන්නෙ ඒකයි. මොකද ඔවුන් ගැහැනුන්ගේ ලිංගික ශ්රමයට ගෙවනවා. ඔවුන් ඒක ගෙවන්නෙ ශ්රමයට මිලක් හැටියට නෙමෙයි. තමන්ගේ සුරතලා සම්බන්ධයෙන් ගැහැනු දෙන ව්‍යාජ පරිකල්පනයේ ගැලෙමින් ගැහැනියගේ සිරුර තුළින් සිය ප්රචණ්ඩත්වය නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔවුන් සන්තෝසම් දෙන්ඩ පැකිළෙන්නෙ නෑ. හැබැයි රාජ්‍යය වෙනස් කරන්ඩ සිහින දකින පිරිමි තමන්ගේ ලිඟුවට දී ඇති ව්‍යාජ පරිකල්පනය අතහැරීමට සුදානම් නැහැ. ගැහැනියගේ හීලෑ කරන ලද සිරුර ධනවාදයටත් වඩා පැරණි එකක්. තමන්ගේ සිරුර හීලෑ කරලා කියලා ගොඩාක් ගැහැනු දන්නෙත් නෑ. මේ හීලෑ කරපු ශරීරය තමයි සියලුම පිරිමින්ට දීලා තියන එකම සහනය. අසංක සායක්කාර මේක ගැන ඉඟියක් දෙනවා. වාමාංශික යනු පක්ෂ දේශපාලනයෙන් එහා තිබෙන මිනිසා තමාගේ සියලු දුෂ්ටත්වයන්ට එරෙහිව කරන සටනක් මිසක් බොරු දෙවියන් වැඩ සිටින දේවාලයක් නොවේ. ඒ වගේම ඒක කාගේවත් උරුමයක්, පන්සලක් නොවේ. බෞද්ධ දර්ශනයේ නාමයෙන් සිදු වන විගඩම් බෞද්ධ දර්ශනයේ පැවැත්ම වෙනුවෙන් ඉවසන රටක වමේ පූජනීයත්වය වෙනුවෙන් එහි විගඩම්ද ඉවසිය යුතු නැත. ස්ත්‍රිය සම්බන්ධයෙන් වැඩවසම්වාදය ක්‍රියාත්මක කිරීමට ගිවිසගෙන ඉන්න “පවතින වම” සමග ස්ත්‍රියක් පවත්වාගත යුතු සබඳතාවය කුමක්ද යන්න ගැටලුවක්ව ඇත. පවතින වාමාංශික පක්ෂ හා සියලු දේශපාලන කණ්ඩායම් ස්ත්‍රිය සම්බන්ධයෙන් දරන්නේ එකම ස්ථාවරත්වයකි. ස්ත්‍රියක් තක්ෂිලාගේ පීඩිත බල ගේම් එකෙන් එළියට ඒම ස්ත්‍රියගේ දේශපාලනයේ ඇරඹුමයි. නමුත් එය ස්ත්‍රියගේ සිරුර සම්බන්ධයෙන් වූ ස්වයං නිර්ණ අයිතිය සමග බැඳී තිබෙයි. පෙඩරල් යන වචනය ඇහෙනකොට වෙව්ලන රටක ස්ත්‍රියගේ සිරුරේ ස්වයං නිර්ණ අයිතිය! ගණන් ගන්ඩ ඒපා ඒක පොඩි විහිලුවක්. වම දකුණ භේදයක් ස්ත්‍රියගේ සිරුර සම්බන්ධයෙන් නැත. ඇයව වමටද දකුණටද වස්තුවකි. තක්ෂිලාගේ ගේම් එක කියන්නෙ පුරුෂයාට රාජ්‍යය විසින් ඓතිහාසිකව පවරා දුන් හීලෑ කරපු ශරීරය. ඒ නිසා තක්ෂිලා කරන්නෙ ස්ත්‍රීවාදී වැඩක් එහෙම කියලා කවුරුවත් ස්ත්‍රීවාදය සමග ආරවුල් හදා ගන්ඩ හදන්ඩ එපා. බොහෝ ගැහැනු ස්ත්‍රීවාදයට වඩා තක්ෂිලාගේ ගේම් එක තෝරා ගනී.
සංසර්ගය සම්බන්ධයෙන් වූ නාගසිංහගේ බලය තක්ෂිලා අතට මාරු වෙනතුරු පිරිමි ප්රේක්ෂකයකු තක්ෂිලා අතින් අතිශය විනෝදයටත් ප්රමෝදයටත් පත් වීමට ඉඩ ඇත. පිරිමි ව්යාඝ්රා පෙති බොන්නෙ දිගු වේලාවක් කෙළින් කර ගෙන තබා ගැනීමටය. බොහෝ විට දිගු වේලාවක් කරේ නැත්නම් ගැහැනුන් ඔවුන් අතහැර දමා යනවාය යන භීතියක්ද පිරිමි සමාජයේ ඇත. කෝටි හතර ලැබුණු පසුව ව්යාඝ්රා පෙති කන්ටේනරයක් තක්ෂිලාගේ ගෙදර ඉදිරියේ නවත්වන බව නාගසිංහ ඇයට කියයි. ඔහුට වැරදෙන්නේ කොතැනද? නාගසිංහට වැරදෙන්නේ ඔහු හොඳ බඩුකාරයෙක් නොවණු නිසාය. නියම බඩුකාරයන් කිසිවිටක ගැහැනිය විශ්වාස කරන්නේ නැත. එසේම නාගසිංහ තරම් ළඳ බොළඳ ද නැත. නාගසිංහ හිතන්නේ තක්ෂිලා ඔහුගේ ලිඟුවෙන් සතුටට පත් වෙන බවයි. තක්ෂිලා ඇතුළු මෙලොව උපදින සියලු ගැහැනු පිරිමින්ගේ ආශාව ගැන දැන ගන්නේ හය හතර දැනගන්නා විටය. පිරිමින්ට ඔවුන්ගේ සිරුරෙන් පිටට එල්ලෙන කුඩා කෙළි බඩුව සමග ඇති අනුරාගය ඔවුන් අවිඥාණිකව දැන ගනී. ඉතින් ගැහැනු පිරිමියා තමාට ආශා කිරීමට නම් එම කෙළි බඩුව සමගින් මනා සම්බන්ධතාවයක් තබා ගත යුතු බවද දනී. එසේම පිරිමින්ගෙන් වරප්‍රසාද ලබා ගැනීමටද, සමාජ තුළ තමන්ට අනන්‍යතාවය ලබා ගැනීමටද ගැහැනු මෙම කෙළි බඩුව සමග මනා සබඳතාවයක් තබා ගනී. ඉතින් සායාගේ වචනවලින් කියතහොත් සිතුවිල්ලකින් පවා ඉහලට එසවෙන මෙම සැහැල්ලු බිජ්ජ සමග කළ යුතු දේශපාලනය කුමක්ද කියා සෑම ගැහැනියක්ම දනී. ඒ ගැන උගන්වන්නට පංති දැමිය යුතු නැත. නාගසිංහ පුංචි එකෙකු මෙන් තක්ෂිලාව අවසාන මොහොත දක්වා විශ්වාස කරයි. එයට හේතුව වන්නේ රට රාජ්ජවල් ජය ගැනීමට පිරිමි මාර ගේමක් දෙන කොට ගැහැනු බිජ්ජ සමග කරන දේශපාලනය ගැන ඔවුන් නොදන්නා නිසාය. පුංචි ළමයි හිතාගෙන ඉන්නෙ සරාගී ආශාව නිසා ගැහැනු පිරිමින්ට තමාගේ ශරීරය තුවාල කිරීමට දෙන බවයි. ඉතින් නාගසිංහගේ පුරුෂ ලිංගය ගැන ආශාව නිසා ව්යාඝ්රා පෙති දැමූ බව තක්ෂිලා කියූ කොට එය නාට්‍යයේ අවසානය තෙක්ම විශ්වාස කරයි. තක්ෂිලා කරන්නේ ස්ත්‍රීවාදී වැඩක් කියලා සමහරු රැවටෙන්ඩ ඉඩ තියෙනවා. ස්ත්‍රීවාදීන් ව්යාඝ්රා පෙති වගේ දේවල් දාලා පිරිමින්ව කෙළින් කරන්ඩ කැමති නැති අයයි. ඒ නිසා තක්ෂිලාලා පිරිමින්ට වුවමනා වෙයි. එහෙත් තක්ෂිලා හොඳින් තබා ගැනීමට නම් නාගසිංහලා කළ යුතු වන්නේ ඇයට ඇගේ ශ්රමයට නිසි මිල ගෙවීමයි. එවිට නාගසිංහලාගේ පුරුෂ ලිගුවෙන් කොයි තරම් තෘප්තියට පත් වෙනවා ද කියමින් දැවටෙමින්, ආතල් දෙමින් ඈ නාගසිංහලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරනු ඇත. ස්ත්‍රීවාදියෙකු සෙක්ස් ප්‍රශ්න කළ හැකි වුවද තක්ෂිලාලා කිසි දිනක සෙක්ස් ප්‍රශ්න කරන්නේ නැත. ඒ නිසා ගේම් එක ඇතුළේ තක්ෂිලාලා හොඳින් තබා ගැනීමට නාගසිංහලා උගත යුතුය. තක්ෂිලා ස්ත්රිවාදී නොවුනද “මං කෙළින් මිනිහෙක් ”ස්ත්‍රීවාදී දේශපාලනය සමග සම්බන්ධ වනුයේ අසංක සායක්කාර සෙක්ස්වල ඇති දේශපාලනය නිරූපනය කිරීමට දක්වන සමත්කම හෙයිනි.
නාගසිංහ කෝටි හතරට කෙලවා ගත්තේ තක්ෂිට ලක්ෂ පහළොව නුදුන් නිසාය. ඔහු ලක්ෂ පහළොව දුන්නා නම් මෙම නාට්‍යය ගමන් කරන්නේ වාම විරෝධීත්වයකටයි. මුදල් දුන්නා නම් සිදු වන්නේ නාගසිංහ වම විවේචනය කර, අවසානයේ පක්ෂය පාවා දීමෙන් පසු තක්ෂිලා සමග සතුටින් ගෙවන සියලු ප්‍රශ්න විසඳුණු සුඛාන්තයකි. ඒ වෙනුවට සායක්කාර කරනු ලබන්නේ නාගසිංහට දඬුවම් කිරීමය. දඩුවම් කිරීම ශික්ෂණය කිරීමේ ක්රමයකි. ස්ත්‍රියගේ ආශාව පිළිබඳ වූ නාගසිංහගේ පරිකල්පනය බිඳ දැමීම තුළින් නාගසිංහලාගේ ලෝකය ශික්ෂණය කිරීමට නාට්‍යකරුවා උත්සාහ කරයි. සේඩිසම් නැමති ස්වයං පරපීඩක සෙක්ස්වල ඇති ලිංගික තෘප්තිය වන්නේද දඬුවම් කර ශික්ෂණය වීමේ සහ කිරීමේ ආශාවයි. සෙක්ස් කරන විට කස පහර ඉල්ලා සිටින ඇතැම් ගැහැනු සහ පිරිමි ඉල්ලා සිටින්නේ මාව ශික්ෂණය කරන්න යන ගැඹුරු ආයාචනයයි... අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්’ කොයි තරම් ලංකාවේ වමට අනුරාගිකද කිවහොත් තක්ෂිලා ලවා කෙල්මන් නාගසිංහ නම් වාමාංශික සහෝදරයාට පාවාදීම කිරීමට ඉඩ දුන්නේ නැත. අවසානයේ යථාර්ථයේදී සිදු වෙන අකාරයට කෙළින් වුණු බිජ්ජ බස්සවා ඔහුව මාධ්‍ය සාකච්ඡාවට ගෙන ගියා නම් පාවා දෙන්නෙකු ලෙස වාම ලෝලියෙකුට හිත හදා ගත හැකිව තිබිණි. එහෙත් ඒ වෙනුවට ඔහු කරන්නේ වාමාංශික තාත්තෙක්ව ගැහැනියක් ලවා ඇඳක ගැට ගසා දඬුවම් කිරීමය. මා හිතන්නේ මේ කාලයේ පිරිමි පිරිමින්ට දඬුවම් දීමට සිහින දකින්නේ ගැහැනියක් තුළිනි. තවත් පිරිමියෙකුට ගැහැනියක විසින් දඬුවම් කරනු දකින්නට පිරිමි හරිම ආශා කරයි. ‘මරාසාද්’ නාටකයේද දඬුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ චාලට් කෝර්දේ ලවාය.
කොහොම හරි අසංක සායක්කාර අන්තිමට කරේ කෙළින් කරපු එක නෙමෙයි. කෙළින් වෙලා තිබුණු ඒවා බස්සපු එක. ඒක නම් හරිම උත්ප්රාසාත්මකයි. ඒ හින්දා අසංක සායක්කාර, ඔයා පැසසුම් බලාපොරාත්තු වෙන්ඩ එපා. කෙළින් වෙලා තියෙන ඒවා බස්සන අයට ලැබෙන ශෝකජනක ඉරණම ඔයාටත් පොදුයි.
නදීකා බංඩාර