ප්‍රවීන ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරා එනම් රනිල් මල්ලවාරච්චිගේ පුත්‍රයා වන පවන් මල්ලවආරච්චි පසුගියදා සිය ෆේස් බුක් ගිණුමෙහි තැබූ සටහනක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වි තිබුණා.
ඔහු එම සටහනෙහි දක්වා තිබුනේ "සීයා මගේ නම්, සිංදු සීයාගේ නම්, ඒ ටික කියලා නම් අහු වෙන්න එපා. දැන් මම ඉන්නවා," යනුවෙන්.
බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කර තිබුණා.
ඒ ගැන භාතිය ගුණසේන දක්වා තිබු අදහසක් අපි මෙසේ ඔබ වෙත ගෙන ඒමට සිතුවා.
“ "සීයා මගේ නම්, සිංදු සීයාගේ නම්, ඒ ටික කියලා නම් අහු වෙන්න එපා. දැන් මම ඉන්නවා." මේ කතාව කියන්නෙ පවන්. පවන් කිව්වෙ පවන් මල්ලවආරච්චි. ඒ කියන්නෙ රනිල් මල්ලවආරච්චිගෙ පුතා. රනිල් මල්ලවආරච්චි කියන්නෙ මිල්ටන් මල්ලවආරච්චිගෙ පුතා. එතකොට පවන් රනිල්ගෙ පුතා වෙනකොට මිල්ටන් මල්ලවඅරච්චි කියන්නෙ පවන්ගෙ සීයා. ඒ අනුව මේ හාදයා (පවන්) මුලින් කියන කතාව ගැන සැකයන් විවාදයක් නෑ අපිට. මොකද මිල්ටන් මල්ලවආරච්චි කියන්නෙ එයාගෙ සීයා. ඒක පැහැදිලියි. ඒ කියන්නෙ " සීයා මගේ නම්" කියන කොටස හරි.
හැබැයි පුතෝ එතනින් එහාට පවන් කියන කතාව නම් ටිකක් වලියට බර කතාවක්. එයා කියනවා මෙහෙම. "සිංදු සීයාගේ නම්, ඒ ටික කියලා නම් අහු වෙන්න එපා. දැන් මම ඉන්නවා." කියලා.
ඔන්න වලිය පටන් ගන්න තැන. පවන්ට මුලින්ම මතක් කරලා දෙන්න ඕනි ලංකාවෙ දැන් කතෘ භාග පනත ක්‍රියාත්මකයි කියලා. ඊට අමතරව කතෘ භාග කළමනාකරණ පනත කියන්නේ මොකක්දැයි කියලත් මේ දරුවාට කියා දන්න ඕනෙ. සරළවම කතෘ භාග නීතිය ගැන පවන්ට ටියුෂන් එකක් සරළව කරන්න වෙනවා.
ඇත්තටම පවන් ඔයාගෙ සීයා ලංකාවෙ සංගීතයට සහ ගීත රසිකයන්ට ලොකූ මෙහෙවරක් කරපු කෙනෙක්. විශේෂයෙන්ම විරහා වේදනාවෙන් ඉන්න පරාජිත පෙම්වතුන්ට වගේම ජයග්‍රහණය කරපු පෙම්වතුන්ට අදටත් ඔයාගෙ සීයා මාර පොරක්. දැවැන්ත පොරක්. අපි ඔයාගෙ සීයාට හරි ආදරෙයි. හැබැයි පවන් ඔයාගෙ සීයගේ සිංදු වලට ඔයාගෙ තාත්තා කරපු සයිවර් රීමික්ස් නාඩගම නම් අපිට එච්චර සෙට් වුණේ නෑ. ඒවා ලොකු අයගෙ කතා. ඔයාට ඒවයින් වැඩක් නෑ. මම ඒක කිව්වෙ නිකමට වගේ. ඔයත් ඒවා කවදා හරි ඒවා දැනගන්න ඕන නිසා. නමුත් පවන් මට කියන්න ඕන වුණේ සීයා ගැන අපිට කිසිම විවේචනයක් තරහක් මරහක් නෑ කියන එක.
ඉතින් පවන් අපි ආයෙත් මාතෘකාවට ආවොත් ඔයා මේ කරන තර්ජනය ටිකක් බරපතළයි. තර්ජනය කරන කෙනා පවන් තමන් සන්තකයේ මොකක් හරි ආයුධයක් තියාගෙන තමයි ඒ තර්ජනය කරන්න ඕනෙ. මොකද තර්ජනයට ලක් වෙන යම් කිසි පුද්ගලයෙක් අතේ ආයුධයක් තිබුණොත් ඒ පුද්ගලයා ආයුධය අමෝරා ගෙන ඔයාට ගහන්න පනිනවා. එතකොට ඒ ප්‍රහාරය කවර් කරන්න ඔයා අතෙත් ආයුධයක් තියෙන්න ඕනි. හැබැයි අපි දන්නවා ඔයා ඔය තර්ජනය කරන්නෙ කිසිම ආයුධයක් නැතුව කියලා. එතකොට ඔයා ට සිද්ධ වෙනවා ප්‍රහාරයකට ලක්වෙන්න.
දැන් මේ මම කියන්න හදන්නෙ කරුණාකරලා ආයුධ නැතුව තර්ජනය කරන්න එපා කියලා. හැබැයි ආයුධයක් නැති වුණාට තර්ජනය කරන්න ඔයාට හේතුවක් තියෙන්න පුළුවන්. පුළුවන් නෙමෙයි ඔයාට හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකක්ද කියලා මම මේ සටහන ඉවර කරන්න ඔන්න මෙන්න ලියනවා.
ඊට කලින් ඔයාට මම කතෘ භාග නීතිය ගැන කියලා දෙන්නම්. මෙහෙමයි. ලංකාවෙ ගීතයක් අයිති වෙන්නෙ ගීත රචකයාට සහ ඒ ගීතය සංගීතවත් කරපු සංගීතඥයාට. හරියටම සියයට පණහා පණහා. ෆිෆ්ටි ෆිෆ්ටි ගීතයක අයිතිය තියෙන්නෙ ලියන කෙනාටයි සංගීතය කරන කෙනාටයි. ඇත්තම කතාව සිංදු කියන කෙනාට ගීතයක කිසිම අයිතියක් නෑ. ඔන්න ඕක තමයි ලංකාවේ කතෘ භාග නීතිය. විදේශ රටවල් වල ඔය තත්ත්වය ටිකක් වෙනස්. ඒක අපේ මේ කතාවට අදාළ නැති නිසා කියන්නෙ නෑ. ඕන නං අහන්න කියලා දෙන්නං.
ඉතින් පවන්ඇත්තම කතාව ගායකයකුට ගීයතයක් අයිති නෑ. එහෙම තියෙද්දි ඔයාගේ සීයාගේ ගීත වෙන කව්රුහරි ගායනා කිරීම සම්බන්ධයෙන් ලෝකයාට තර්ජනය කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ. ඒ නිසා සීයා ඔයාගෙ වුණාට සීයා ගායනා කරපු ගීත සියාගෙ නෙමෙයි. අන්න ඒ නිසා ඔයා ඔයාගෙ පෝස්ට් එකේ දාලා තිබුණු සීයා මගේ නම් "සීයා මගේ නම් --- දැන් මම ඉන්නවා" ඉන්නවා කියලා විතරයි.
ඔයාගෙ සීයා ගායනා කරපු හොදටම හිට් වෙච්ච සිංදු කීපයක් මම උදාහරණයට ගන්නවා.
# මේ මැයි ගහ යට - . ඒක ලිව්වෙ අජන්තා රණසිංහ මහත්තයා. සංගීතවත් කළේ මිල්රෝයි ධර්මරත්න.
# තරහා වනු එපා - . ලිව්වෙ කේ.ඩී.කේ ධර්මවර්ධන. සංගීතය පැට්රික් දෙනිපිටිය.
# ඔරුවක පාවෙන -. ලිව්වෙ කරුණාරත්න අබේසේකර. මියුසික් මොහොමඩ් සාලි.
# තනිවී සිටින්නයි - . ලිව්වෙ සහ සංගීතවත් කලේ ක්ලැරන්ස් විජේවර්ධන
# කදු පාර ඈත අයිනේ - ලිව්වෙ උපාලි ධනවල විතාන. සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස්.
# අවසර නැත මට - රචනා කළේ ප්‍රේමකීර්තිද අල්විස්. සංගීතවත් කළේ ක්ලැරන්ස් විජේවර්ධන.
# ඔබෙ නිල් නුවන් තලාවේ - රචනා කළේ කරුණාරත්න අබේසේකර. සංගීතවත් කළේ රොක්සාමි
# ඔබ ගාව මම ඉන්නෙමි - ලීවෙ සහ මියුසික් කළේ රූකාන්ත ගුණතිලක.
# මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ - ලිව්වෙ කරුණාරත්න අබේසේකර. සංගීතය මර්වින් පෙරේරා.
# මුව මදහාසේ සීපද රාවේ - ලිව්වෙ ධර්මසිරි ගමගේ. තනුව සරත් දසනායක.
දැන් බලන්න පවන් මෙතන සිංදු දහයක් තිබෙනවා. මේ එකක්වත් ඔයාගෙ සීයා ලියපුවා නෙමෙයි. මේ එකක්වත් ඔයාගෙ සීයා සංගීතවත් කරපු ඒවත් නෙමෙයි. මේ සිංදු ඔයාගෙ සීයා ගායනා කළා විතරයි . ඉතින් කතෘ භාග නීතිය යටතේ මේ ගීත එකක්වත් ඔයාගේ සීයාට අයිති නෑ පවන්. සීයාට අයිති නෑ කියන්නෙ ඔයාටත් අයිති නෑ කියන එක. ඉහත ගීත වල බොහොමයක් රචකයින් සහ සංගීතඥයින් දැන් ජීවතුන් අතර නෑ . ඒත් කතෘ භාග නීතිය අනුව ගීතයක අයිතිකරුවන් දෙපළ මිය ගියාට පස්සෙ ඒ දෙදෙනාගේ ඥාතීන්ට ( සමීප) අවුරුදු 70 ක් යනකල් ( පරම්පරා දෙකකට) ඒ ගීත අයිතියි පවන්.
ඔයාට දැන් තේරෙනවද ඔයා තර්ජනය කරගත්තෙ ඔයාටමයි කියලා. ඔයාගෙ සීයා ගායනා කරපු ගීත ලියපු ජීවත් වෙලා ඉන්න රචකයො සහ සංගීතවේදියො හරි මිය ගිහින් ඉන්න රචකයො සහ සංගීවේදීන්ගෙ ඥතීන් ඔයාගෙ ඔය පෝස්ට් එක දැකලා ඔයාටයි ඔයාගෙ තාත්තටයි ඒ සිංදු කියන්න තහනම් කළොත් පවන් කොහොමද ඔයාට සැපේ ඉන්නෙ ?
ඒක හින්දා ඔය කරපු තර්ජනය කැරකෙන්නෙ ඔයාටමයි. ඔයාලා ගායනා කරන සීයාගේ සිංදු වෙනුවෙන් ඒ සිංදු ලියපු සංගීතවත් කරපු මිනිස්සුන්ට කිරිපිටි පැකට් එකක් අරන් දීලා නෑ පවන් ඔයාලා. ඒ ලියපු මිනිස්සුන්ගෙ ඥාතීන්ට එක රුපියලක් දීලා නෑ. එහෙම තියෙද්දි ඔය වගේ තර්ජනාත්මක ප්‍රකාශ කරන එක වැරදියි.
අවසාන වශයෙන් මෙහෙම කියන්න ඕනෙ. ඔයාගෙ සීයා එයා ගායනා කරපු ගීත ගණනාවක තනු වාචිකව රචනා කරලා තිබෙනවා. ඒත් වාචික තනු කතෘ භාග නීතියට අදාල වෙන්නෙ නෑ. මෙලඩිය දාපු සංගීතඥයා තමයි ගීතයක හිමිකරුවන් දෙපළගෙන් එක් අයෙක් වෙන්නෙ. හැබැයි පවන් ඔයාලගේ සීයා යම් කිසි ගීතයක සංගීතය සිදු කරළා තිබෙනවා නම් ඒ ගීතයේ සියයට පනහක අයිතියක් සීයාට තියෙනවා. එවැනි ගීත තිබෙනවා නම් අන්න ඒ සිංදු ලිස්ට් එක මුලින්ම හදා ගන්න. ඊට පස්සෙ ඒ සිංදු ටිකට පමණක් බල පැවැත්වෙන පරිදි ඔයා තර්ජනාත්මක පෝස්ට් එකක් දාන්න ගීත රචකයාත් එක්කත් කතා බහ කරළා. ඊට අමතරව සීයා ගයපු ගීත ඔයාලා රචකයාගෙන් සහ සංගීතවේදියාගෙන් සල්ලි දීලා පවරගෙන තියෙනවා නම් ඔය තර්ජනය කරන්න.
එහෙම නැතුව අහිංසක ගීත රචකයො යි සංගීතවේදියොයි දුක් විදලා ගත්තු දැනුමෙන් කරපු බුද්ධිමය දේපල හෙවත් නිර්මාණ ඔයාටලට අවභාවිතා කරන්න දෙන්න බෑ.
මේ සටහන පොදු සටහනක්. තාත්තලාගේ සීයලාගේ කිරි අත්තලාගේ කට හඩ සල්ලි මැෂින් එකක් කරගෙන ඉන්න මහත්තුරු පුතාලා ලැස්ති වෙලා ඉන්න. බුද්ධිමය දේපල පනත ගැන ඒවායේ ඇත්ත හිමිකරුවො බුද්ධිමත් වෙන කාලය වැඩි ඈතක නෙමෙයි.”
-භාතිය ගුණසේන-