චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදය පෞද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය වෙත මීට ප්‍රථම පරිවර්තනය වී ඇත්තේ 70 දශකය මුල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදය යටතේ,
නිහාල්සිංහ මහතාගේ චිත්‍රපට සංස්ථා විධායක බලයෙනි. එකල සිදු වූ ක්‍රමවේදය සංවෘත ආරම්භක ප්‍රතිපත්තියට අනුකූලව ඉතාම ක්‍රමවත්ව පවත්වාගෙන යාමට හැකි වූයේ දේශීය සිනමාවට ප්රමුඛත්වයක් ද දෙමිනි.
ඒ ක්‍රියාවලිය විවෘත ආර්ථිකයත් සමග, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ බලයට පත් වීමත් සමගම වෙනස් විය. එලෙස වෙනස් වීම සිදුවීම ආර්ථික ප්‍රතිපත්තිය යටතේ සාධාරණීකරණය වුවත් සිදු වූ ක්‍රමවේදය දේශීය සිනමාවට හානිකර ලෙස සිදු වූ බව ප්‍රසිද්ධ කාරණයකි. මේ විකෘති ක්‍රමවේදය ප්‍රකෘති කර ගැනීමට සිනමා ශිල්පීන් විවිධ අවස්ථාවල උත්සාහ කළත් රාජ්‍ය පාක්ෂික බව, ගැතිබව, පෞද්ගලික වාසිය සහ නායකත්වයට ඇති බිය යන කරුණු මත එය සිදු නොවිය. එයට පසු පැමිණි ප්‍රේමදාස යුගය කරුණු පහදා දීමෙන් පසුව දේශීය සිනමාවේ උන්නතිය උදෙසා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළත් එතුමන්ගේ අභාවයත් සමගම වැඩපිළිවෙළ අහෝසි විය. විජේතුංග ජනාධිපතිතුමාගේ යුගයේදී මෙය තවදුරටත් වැඩි දියුණු වූයේ එතුමා නොදැනුවත්වය. චිත්‍රපට සංස්ථා ගොඩනැගිල්ල (224, බෞද්ධාලෝක මාවත) ඉරාන රජයට විකිණීමට පවා පිඹුරුපත් සකසා තිබූ අවස්ථාවක එතුමා දැනගත් පසු එම කැබිනට් තීරණය නැවත අහෝසි කළේය. (ඒ සඳහා එවකට සංස්කෘතික ඇමැති වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇමැතිතුමා දැක් වූ අනුග්‍රහය ප්‍රශංසනාත්මකය.)
ක්‍රම ක්‍රමයෙන් පරාජික වූ සිනමා කර්මාන්තයේ නායකත්වයට (අපගේ ඉල්ලීම මත) සුමිත්ත අමරසිංහ මහතා පත් කිරීමට චන්ද්‍රිකා ජනාධිපතිනිය කාරුණික වුවත් සිනමා කර්මාන්තය පිළිබඳ ඇතැඹුලක් සේ කරුණු කාරණා දත් සුමිත්ත අමරසිංහයන්ටවත්, අප වැටී සිටි වළෙන් ගොඩ ගැනීම සෑහෙන අසීරු කරුණක් විය. පැය, දින, සුමාන පිළිබඳව නොතකා මේ ක්‍රියාවලියට මැදි වූ සුමිත්ත අමරසිංහයන් ඒ වෙහෙස මතම සිනමාව වෙනුවෙන් දිවි පිදූ බව නොරහසකි.
එයට සමගාමීව චන්ද්‍රිකා මැතිනිය සේනක බණ්ඩාරනායක චිත්‍රපට කොමිෂන් සභාව පත් කළේ සද් භාවයෙන් බව කිව යුතුය. (මීට ප්‍රථම තිබූ ඉතා වැදගත් කොමිෂන් සභාවල වාර්තා කිසිම දිනක ක්‍රියාත්මක වූයේ නැත. ක්‍රියාත්මක නොවීම පිළිබඳ හඬක් නැගීමට තරම් එඩිතර වූවෝ සිටියේද නැත.) සේනක බණ්ඩාරනායක වාර්තාව ඇසුරු කර ගනිමින් ජනපතිනිය සෑදූ, සිනමාව පිළිබඳ මාර්ගෝපදේශක පත්‍රිකාව හෝ ඒ ආශ්‍රිතව ගොඩනැඟුණ ඩික්සන් නිලවීර කමිටු වාර්තාව ක්‍රියාත්මක වූයේ උඩු යටිකුරු වීය. ඒ විපර්යාසයේදී දේශීය සිනමාව තවදුරටත් වළපල්ලට ගිය බව යමෙක් පැවැසුවොත් එයට විරුද්ධ වීම සාධාරණ නොවන බව මගේ මතයයි. මෙලෙස සිදු වූයේ වාර්තාවේ ඇති දෝෂයන්ට වඩා එය ක්‍රියාත්මක වීමේදී සිදු වූ අතපසුවීම් සහ වැරදි නිසාය. එකල සභාපති තිස්ස අබේසේකරයන් එලෙස ක්‍රියා කළේ මන්දැයි අදටත් මට ගැටලුවකි. සිදු වූ ව්‍යසනය නිවැරදි කර ගැනීමට අවුරුදු 16කට වැඩි කාලයක් අප නිහඬව සිටියේ මන්දැයි යන්න ඊටත් වඩා ගැටලුවකි. මගේ පෞද්ගලික මතය නම් පසු කාලීනව රටේ නායකත්වයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව නියම වෙලාවට, නියම අන්දමට සුදුසු අවස්ථාවක් බලා දැනුවත් කළේ නම් ඒ වකවානුව තුළ අපට යම් අන්දමක සහනයක් ලබා ගැනීමට හැකියාව තිබුණි. අප කළේ විවිධ මත වපුරවමින් බකන් නිලා සිටීමය. උදාහරණයක් ලෙස තර්ස්ටන් පිටියට යාබදව තිබූ චිත්‍රපට සංස්ථාවේ දිරාපත් වී තිබුණු ගොඩනැගිල්ල වෙනුවට ආරුක්කුවල හැඩය ගත් සුවිශේෂී ගොඩනැගිල්ලක් ගෝඨාභය මහතා විසින් ගොඩනගන අවස්ථාවේදී අපේ පිරිස කියා සිටියේ ඒ සාදන්නේ තර්ස්ටන් විදුහලේ කැන්ටිම කියාය. ඊට වඩා පැවැති රජය ගැන නායකයන් සමග කරුණු සහ අඩුපාඩු පෙන්වා දෙමින් කටයුතු කළේ නම් ව්‍යසනය මේ තරම් දරුණු වන්නේ නැත.
වර්තමානයේ වුවද ව්‍යසනයක් පවතින බව හරියාකාරව තේරුම් ගැනීමේ අවශ්‍යතාවය තිබූ දේශපාලනඥයා විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා බව මා ප්‍රකාශ කරන්නේ ඉතාම සද්භාවයෙනි. වෙන කිසිවකු අවතක්සේරු කිරීමට හෝ පක්ෂ, පාට බැබළවීමට හෝ මට කිසිම අව්‍යතාවක් නැතිබවද මා මෙම ප්‍රකාශය කරන්නේ පුද්ගලවාදීව නොව සිනමාවට ඇති සැබෑ ළැදිකම මත බව තේරුම් ගන්නා පිරිස ඉතා අල්පය.
සිනමාව විනාශ කිරීමට එසේත් නැත්නම් අද පවතින දුබල තත්ත්වයට වගකිව යුත්තා වෙන කිසිවකු නොව මා බව ප්‍රකාශ කරන තැනැත්තන් කෙරෙහි අදටත් මගේ කිසිම උරණතාවක් නැත. මා එක පුද්ගලයෙකු පමණි. සිනමාවේ සිටින අනෙක් පිරිසට මෙම එක පුද්ගලයෙක් කළ, ඔවුන් කියන්නා වූ පාවාදීම පසුව හෝ නිවැරදි කරගැනීමට බැරි වීමට තරම් ආත්ම ශක්තියක් හෝ ඕනෑකමක් නොතිබිම විමතියට කරුණක් නොවන්නේද?
මා අදටත් ඇත්ත නැත්ත හොයනවාට වඩා උත්සාහ දරන්නේ සිනමාවේ උන්නතියට යමක් එකතු කිරීමටය. වර්තමානයේ සිදුවී ඇති දෙය ඉදිරියේදී ගැටුමක් නොවන පරිදි සකසා ගැනීමට ඒකරාශි නොවී එකිනෙකාට විරුද්ධව මත පළ කරමින් සිටින තැනැත්තන් පිළිබඳව මම ඉතා කනගාටු වෙමි. ඔවුන්ට දිය හැකි බෙහෙත් නැත. (පශු වෛද්‍යවරු මිනිසුන්ට වෙදකම් නොකරති) කෙසේ වෙතත් මා මේ අවස්ථාවේ කරන්නේ වර්තමානයේ මේ ගෙන ඇති තීරණය අනාගත සිනමාවට වැඩදායක අන්දමට වඩාත් ඵලදායි ලෙසට, වැඩි දෙනාගේ කැමැත්තට වැඩි දෙනාගේ සුබසිද්ධියට හේතුදායක වන ලෙස සකස් කිරීමට උදව් වීම පමණකි එවැනි කාර්ය භාරයක් සහෘද කලාකරුවන් විසින්ද සිදු කරන්නේ නම් තරමක් කල්ගත වී හෝ සාර්ථක තත්ත්වයකට සිනමා කර්මාන්තය ළඟා වෙනු ඇත. එසේ නොමැතිව අප විසින් කරනු ලබන මේ සණ්ඩු සරුවල් කාලය විනාශ කිරීමකට වඩා අපගේ කර්මාන්තය විනාශ කරගැනීමකට මග පාදනු ඇත. රටේ පාලකයන් හෝ දේශපාලකයන් හෝ අපගේ ගැටුම් නැවැත්වීමට උත්සුක වන්නේ නැත. මාධ්‍යයටද එවැන්නක් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැත. ඒ ඔවුන් බලාපොරොත්තු වන දේ අප බලාපොරොත්තු වන දේට වඩා වෙනස් බැවිනි. අප කල්පනාකාරී නොවුණොත් ඉදිරියේදී අප සියල්ල ඔවුන් අතට ලණුවදී එයට අනුකූලව නැටවෙන රූකඩ බවට පත් වනු ඇත. එවැන්නක් නොවන ලෙස මම හුදෙක්ම අපේක්ෂා කරමි. මීට වඩා දීර්ඝ විස්තරයක්, පුද්ගල නම් සහ දින වකවානු සහිතව ඉදිරිපත් කිරීමේ හැකියාවක් මා වෙත ඇති අතර, එය අපගේ වෘත්තීය තව තවත් පහළට හෙළීමකට
ඉඩ සැලසෙන බැවින් සියලුම වැරදි දේ, නරක දේ කළේ සනත්.... සනත් යැයි කියමින් කෑ මොර ගසන්නන්ට සුවපත් වේවා හැර මට වෙන කීමට දෙයක් නැත.
සනත් ගුණතිලක