ශ්‍රී ලංකාවේ සරසවි පද්ධතිය තුළ ඉගෙනුම ලබන මාණවක මාණවිකාවන් සරසවි ජීවිත කාලයේ විඳිනු ලබන විවිධාකාර අත්දැකීම් කවියෙන් ප්‍රකාශිත වූ නිර්මාණ සරසවි කුරුටු ගී, කුරුටු කවි ලෙස හැඳින්වෙන බව අපි දනිමු.
අපගේ සාහිත්‍ය ඉතිහාසයේ අප කුරුටු ගී ලෙස රස විඳින්නේ සීගිරි කැටපත් පවුරේ ලියැවුණු කුරුටු ගී ය. සීගිරිය නැරඹූ, සීගිරි බිතු සිතුවම් දැකීමෙන් ආස්වාදයක් ලැබූ විවිධ තරාතිරමේ, නෙක පළාත්වලින් එහි ගිය ජනයාගේ සිතට නැගුණු හැඟීම් සීගිරි කැටපත් පවුරේ ලියැවිණ. මහැදුරු සෙනරත් පරණවිතානයන්ට පින් සිදුවන්නට අපි සීගිරි කුරුටු ගීයෙහි රසය විඳිමු. සීගිරි කවියක මිහිර කොපමණදැයි එක් කවියක් පමණක් රස විඳ බලමු.
දිග් නුයුන් සුනිල්
මහනෙල් කැලුම් ඉසුලූ
බෙයදැ හුන් මිලැසි මය්
දෙසෙ සැනැහින් නුයුන් ලූ
( බෙයදෙහි හුන් සුනිල් මහනෙල් කැලුම් ඉසිලූ දිගු නෙත් ඇති මියුලැසිය ස්නේහ සහිතව මා දෙස නුවන් ලූවා ය )
මියුලැස් නම් මුවඟනන්ට බඳු ඇස්ය.වනයෙන් පිටතට ආ මුවඟනගේ දිගු නෙත්වල දක්නට ලැබෙන ලලිත චලනය මේ යෙදුමින් යුවතියගේ දිගු ඇස්වලට ආරෝපණය වේ. ඇය එබඳු දිගු ඇසින් ස්නේහයෙන් බැලූ බව කවියා කියයි. ස්නේහය යනු වචනවලින් හෝ ක්‍රියාවලින් ප්‍රකාශ වන්නකි. එහෙත් හද තුළ තිබෙන ස්නේහය නෙත්වල පිළිබිඹු වෙයි. ඒ පිළිබිඹුව දුටු කල කවියා තුළ උපන් උද්දාමය සමස්ත ගීයෙන් කියැවෙයි. (සීගිරි කාව්‍ය සේවනය - සුචරිත ගම්ලත් )
දැන් අපි සීගිරි කුරුටු ගීයෙන් සරසවි කුරුටු ගීයට එමු. සරසවි කුරුටු ගී ඉතිහාසය ඉතා දිගුය. සරසවියෙන් සරසවියට ඒ ගී ලක්ෂණ වෙනස්ය. කොළඹ , පේරාදෙණිය සරසවි තුබූ සමයේ සිටම කුරුටු ගී ලියවුණු බව පෙනේ. පේරාදෙණි සරසවි කුරුටු ගී ඉතා අපූරු කවි ලෙස කියවා ඇත. විදුදය, විදුලකර මුල් කාලීන කුරුටු කවියේ විශේෂත්වය වන්නේ මෙකී සරසවි ආරම්භයේ ඒවායේ ඉගෙනුම ලබන්නට මාණවිකාවන් නොසිටීමයි. එනිසා ඔවුන්ගේ කුරුටු කවි තුළ අවට බාලිකා පාසල් සිසුවියන් පිළිබඳ ලියැවී තිබුණා මතකය. “විසාකාවෙ දොර මට අහිමිය - කවදා හෝ මා එහි ආවොත් - යකඩ ගේට්ටුවෙ එහා පැත්තෙ සිට - ඔබ මට කියාවි, මම තොප නොහඳුනමි, මට තොප මතක නැත“ මෙම අත්දැකීම් වෙනස් වී පුළුල් වී වෙනස් ගී ලියැවෙන්නට පටන් ගත්තේ මේ සරසවි ද්වයට මාණවිකාවන් ඇතුළු කර ගත් පසුය. කුරුටු ගී යනු කුමන ප්‍රභේදයකට ශානරයකට අයත් කවිද? මෙම රචනා Graffiti නම් ශානරයට අයත්ය. “Any design or scribbled motto etc.., drawn on a wall or other exposed surface“ එහි අරුත මෙසේය. බිත්තියක හෝ වෙනත් ආවරණය කරන ලද මතුපිටක අඳින ලද චිත්‍ර සටහන හෝ කුරුටු ගා ලියන ලද ආදර්ශ වාක්‍යය. මෙකී ශානරයට අයත් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිප් ලබන සිසු සිසුවියන් විසින් පසු ගිය කාලයේ ලියා ඇති අපූරු කුරුටු ගී රැසක් ඇතුළත් සංග්රහයක වූ කවි කීපයක් තුළින් මේ මාණවක මාණවිකාවන්ගේ ජීවිත දෙස දයාර්ද ඇසින් බැලිය යුතු යැයි මට සිතිණ. සරසවි කුරුටු ගී ( සාහිත්‍යමය හා සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ) දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ප්රකාශනයකි Center for poverty analysis ( CEPA )- 2016 නන්දන අජිත්, ප්‍රභාත් ජයසිංහ හා ඩබ්ලිව්.ඒ. අබේසිංහ එහි සම්පත්දායකයෝ වෙත්. ප්‍රභාත් ජයසිංහ විසින් දරිද්‍රතාව සහ විශ්වවිද්‍යාල ජීවිතය: සරසවි කුරුටු ගී ආශ්රයෙන් මතු කරගත හැකි ලක්ෂණ සමහරක් පිළිබඳ විමර්ශනයක යෙදෙන කල, අබේසිංහ සාහිත්‍යධරයා සරසවි කුරුටු ගීයෙහි කාව්‍යමය විමර්ශනයකට එක්වෙයි. නන්දන අජිත්ගේ විමසුමට ලක් වී ඇත්තේ සරසවි කුරුටු ගීයෙහි සමාජ වැදගත්කමයි. විශ්වවිද්‍යාල නඩත්තු ක්රියාවලියෙහි දී සරසවි කුරුටු ගී බොහොමයක් ඒවා තිබෙන මුල් ස්ථානවලින් මකා දැමෙන නිසා මේ කෘතිය සඳහා රැස් කරගත් කුරුටු ගී එකතුවේ සිත්ගන්නාසුලු බවක් හා පරිපූර්ණ බවක් ඇතැයි CEPA ආයතනයේ නිලක්ෂි ද සිල්වා හා නෙරංජලා ගුණතිලක පවසති.
මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ විසින් තම ලිපියෙන් උපුටා දක්වන කුරුටු ගී බහුතරයකින් සෘජුවම සරසවි මාණවක මාණවිකාවන්ගේ ජීවිත කෙරෙහි දරිද්‍රතාව බලපාන අයුරු සනාථ වේ. ඔවුන් ගේ ජීවිත ගෙවෙන බෝඩිම් නිවාස, සරසවි කැන්ටිම, දේශනශාලා හි ඇති අඩුපාඩුකම්, සරසවියෙන් නික්ම ගිය පසු ඔවුන්ට මුහුණ පෑමට සිදුවන රැකියා ප්රශ්නය, ඒ පිළිබඳ ඔවුන් සිත්හි වන බිය, අවිනිශ්චිතබව, දරිද්‍රතාව විෂය කොට ගත් බොහෝ කුරුටු ගී වල විෂය වී තිබේ. මෙම නිර්මාණ විමසීමේ දී කාව්‍ය විචාරය සඳහා භාවිත කරනු ලබන විචාර මූලධර්ම, හෝ, නිර්ණායක අමතක කොට විමසීම කළ යුතු බවයි අපගේ හැඟීම. මන්ද යත් මේ රචකයෝ කවීන් නොවන අතර, ඔවුන්ගේ සිතට ආ හැඟීමක්, වේදයිතයක් සැණෙකින් කුරුටු ගෑමක් පමණක් ඔවුන් විසින් සිදු කොට ඇති බැවිනි. එසේ වූවත් මේ නිර්මාණ අතර කවි ලකුණ පෙන්වන නිර්මාණ ද වන බව පෙනේ.
ඉන්නේ බෝඩිමක මහ ලොකු ළිඳක් ළඟ
කන්නේ ජිම් එකෙන් රුපියල් 20 කට
බොන්නේ ප්ලේන් ටී එහි කිසි රහක් නැත
ඩිග්‍රිය නිසා මා විඳිනා දුක ( ජ'පුර )
ඇතැම් මානවකයෙක් තම විරෝධය මෙලෙස කුරුටු ගීයකින් පවසයි.
වාසිටියේ පචගහ බිම වැටීයන්
කැන්ටින් එක කරන නෝනා මැරීයන්
ගුණෙ අය්යගේ දෙසුම අදවත් ඉවර වෙයන්
බූට් දුන්නු කෙල්ලම මට වැටීයන් ( කොළඹ )
අක්ෂර වින්‍යාස, කවිබසෙහි කලාත්මකබව, ආදිය ඔවුනට වැදගත් නොවේ. ඔවුන් බොහෝ අවස්ථාවල ජනකවියේ සිව්පද ආකෘතිය මෙන්ම අත්දැකීම්වල සෘජු ආභාසය ද ලබා ගනී.
කෑමෙන් හොඳ කෑම කැන්ටින් බත් කෑම
බීමෙන් හොඳ බීම ඇල්වතුරම බීම
දීමෙන් හොඳ දීම අනුනට ලනු දීම
නෑමෙන් හොඳ නෑම සරසවියේ නෑම ( කොළඹ )
ඇතැම් මානවකයකු නිදහස් සම්ප්රදාය ද තම කවියට තෝරා ගනී. මොහු අනාගතය පිළිබඳ සුබවාදීව සිතන්නෙකි.
කැරට්, අල, බෝංචි, බිත්තර
හීටරයෙන් තම්බලා කන මේ සොඳුරු
වසන්තයේ හෙට මල් පිපේවි
ලස්සනම ලස්සන ( කැලණිය )
ඇතැම් සිසුවකු තම කුරුටු ගීය රචනයේ දී භාවිත කර ගත් රූපකාර්ථ පිරි භාෂාව නිර්මාණශීලීය.
සඳ රොටිය
හිරු ළිපේ ලා පුළුස්සා
මැද තබා
තරු ලුනු මිරිස්
කන්නද අම්මේ මං
බඩගින්නට ( සබරගමුව )
දරිද්‍රතාවට වර්ණයක් යෝජනා කරන මේ නිර්මාණය අග්නිදිග සරසවියෙනි.
කුසගින්නේ පීඩාවෙන්
ඇස් අන්ධ වී අගුළු වැටුණු කන්
දිව ගිලී ක්ලාන්තව වැටුණු විට
හැඟුනි මට
ඇති බව වර්ණයක් දිළිඳුකමට ද
එය කාල වර්ණයයි...
සරසවියට පැමිණ අපේක්ෂා භංගත්වයට පත් සිසුවකු තම කුරුටු ගීය රචනයට අසා පුරුදු ගීතයක් යොදාගන්නේ මෙලෙසය. ගීතය අතීතය සිහිනයක් පමණයි යන්නයි.
උපාධිය සිහිනයක් පමණයි
ලැබෙන දිනයක් නෑ
එදා දිනමිණ නො බැලුවා නම්
මෙදා මේ දුක නෑ ( සබරගමුව )
දිනමිණ පුවත්පත් දැන්වීම බලා සරසවියට අයදුම් කළ බවයි කවියා පවසන්නේ.
ගෙදරදොර, අම්මා, සොයුරු සොයුරියන් සිහිවීම, ඔවුන් තමන් වෙනුවෙන් සියල්ල පරිත්‍යාග කොට දුක් විඳීම, පෙරළා ඔවුනට කෙසේ උදව් කළ යුතු ද යන්න පිළිබඳ සිතමින් දුක්වීම මේ කවියා හද පෙළන වේදනාවයි. මෙහිදීද ඔහුට අසා පුරුදු ගීයක් සිහි වේ.
අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ.. ( වික්ටර් රත්නායක / ලූෂන් බුලත්සිංහල )
ශ්‍රී ජයවර්ධනපුරින් හමු වූ නිර්මාණයෙහි රචකයා ඉහත ගීතයම තම නිර්මාණයක් බවට ප්‍රතිනිර්මාණය කරන්නේ මුල් සංකල්පනාවෙහි අනූකාරකයෙක් නොවෙමිනි.
ඇඳුම් මැසූවේ අක්කා සත් වසරක් තිස්සේ
ඒ පිහිටෙන් තමයි අද මේ පුටුවේ ඉන්නේ
හොරොව්පතානේ ඇය අද ජීවත්වන්නේ
මගේ පැතුම ඇය පණ මෙන් රැක ගන්නේ..(ශ්‍රී ජයවර්ධනපුර )
සරසවි කුරුටු ගීතයෙහි කාව්‍යාත්මක ලක්ෂණ සොයන ප්‍රවීණ සාහිත්‍යධර ඩබ්ලිව්.ඒ. අබේසිංහ පවසන්නේ, මා මුලින් සඳහන් කළ පරිදි, මේ රචනා කවිය පිළිබඳ භාරතීය හෝ සම්භාව්‍ය ග්‍රීක නිර්වචනවලින් විමසීමට නොහැකි බවයි. සරසවි කුරුටු කවියේ විෂය, ආකෘති, නිර්මාණශීලීත්වය , විමසන්නට ඔහු උත්සාහ ගනී. දරිද්‍රතාව මතු නොව, ඔවුන් ජීවත්වන සමාජයේ, දකින්නට ලබෙන සමාජ විෂමතා, දේශපාලනික සිදුවීම්, යුද්ධය, සරසවි අධ්‍යාපනය, ආදරය, මිත්‍රත්වය, විරහව ආදී සංසිද්ධීන් ද සරසවි කුරුටු කවියෙහි පිළිබිඹු වනු පෙනේ. ප්‍රේමය පිළිබඳ ලියැවුණු අපූරු කවි කිහිපයක්ම සරසවි කුරුටු ගී අතර මට හමු විණ. ඒවා සැබැවින්ම අපූරුය.
කළුවර රෑක වැස්ස වී වහින්නම්
තෙමෙන්නට එනවාද අතින් අත
අල්ලාන හුඟක් දුර ඇවිදින්න නෙමෙයි
ළං වෙලා මට
අඬන්නට එනවාද ? ( මොරටුව )
ආදරය පිළිබඳ උත්ප්රාසාත්මක කවි සංකල්පනාවක් රචනා කරන මේ කවියා ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවාරච්චි ගැයූ සිහිනෙන් මට ඔබ පෙනෙනව නම් ගීතය උඩුයටිකුරු කරන්නේ මෙසේය.
හීනෙන් මට ඔබ පෙනෙනව නම්
කොට්ට පුලුන් කන්නම්
කිසිදා ඔබ අත නොලැබේ නම්
මෙට්ටෙ කොහුත් කන්නම්...
සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතර ජනප්‍රිය ගායකයන් වන මිල්ටන් මල්ලවාරච්චි, වික්ටර් රත්නායක ආදීන්ගේ ගීත ප්‍රතිනිර්මාණය කරමින් නව අරුත් මැවීමට ඔවුන් සමත් වී ඇති බව ද පෙනේ. වික්ටර් ගායනා කරන සඳ කැන් වැසිලා, අඳුරේ එතිලා ගීයෙන් කියවෙන්නේ ආදරය තේමා කොට ගත් අත්දැකීමක් වූව ද, සබරගමුවේ මාණවකයා, තම කුරුටු කවියෙන් ඊට හාත්පසින්ම වෙනස් වූ විෂයයක් ස්පර්ෂ කරයි.
රඹ කැන් ඉදිලා
සුවඳේ බැරුවා
බඩගිනි දා
බඩගිනි නෑ
මගේ කෑම
අද මෙය පමනී..
සරසවි මාණවක මාණවිකාවන් අතර ගොඩනැගෙන මිත්‍රත්වය පිළිබඳ ලියූ කුරුටු ගී හමුවන්නේ ජනප්‍රිය ගීත ද සිහියට නගමිනි.
පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැණි පොදක් තොල ගෑවෙත් අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට ( වසන්තකුමාර කොබවක/සුනිල් එදිරිසිංහ/එඩ්වඩ් ජයකොඩි )
සරසවි කුරුටු ගීයෙන් නිරූපණයවන අත්දැකීම වෙනස්ය. එහෙත් ඔහු සිහි කරන්නේද මිතුරන් හා ගෙවුණු අතීතයේ මතකයි.
කැම්පස් එකේ බත් කෑවේ අපි එකට
ලයිබ්රියේ නිදි කිරුවේ අපි එකට
අවුරුදු තුනක් කුප්පි දැම්මෙ අපි එකට
අපි යහළුවේ මෙහි ආවේ පෙර පවට..
කුරුටු කවියක් ලියන්නට නොහැකි වූ බොහෝ මාණවක මාණවිකාවන් විසින් මහාචාර්ය සරච්චන්ද්‍ර ගේ නිර්මාණයක එන ප්‍රේමය පිළිබඳ වූ අපූරු අර්ථ කථනය, උපුටා දක්වා තිබෙණු පෙනෙන බව පැවසේ. සරසවි පද්ධතිය පුරාම එතුමන්ගේ කවියේ සෙවණැල්ල පතිත වී ඇති බවට අපූරු නිදසුන වන්නේ පෙමතො ජායති සොකො නාට්‍යයෙහි එන මේ ගීතය සෑම සරසවියකම පාහේ උපුටා දක්වා තිබෙනු දක්නට ලැබීමය.
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කෙරුමට
ලෝබ සිතින් තොර පිදුව මනා වේ
පෙරළා ලබනට නොසිතා කිසිවක්...
සරසවි කුරුටු ගීය සරසවියෙන් සරසවියට යුගයෙන් යුගයට අලුත්වෙමින්, කාලීන නව අත්දැකීම් එකතුවෙමින්, පෝෂණය වන, ගලා යන සංවේදනා ධාරාවකි. එලෙස ගලා යන කුරුටු ගීයේ මේ මාණවක මාණවිකාවන්ගේ සොම්නස ද දොම්නස ද මුසූවී තිබෙනු පෙනේ. වීදි බැස සටන් වදින ශිෂ්‍ය ප්‍රජාව අතරෙහි සංවේදී හදැත්තන් හදැත්තියන් සිටිනා බව දකින්නට ලැබෙන අපූරු කැඩපතයි ඔවුන්ගේ කුරුටු ගීය.
බුද්ධදාස ගලප්පත්ති