විජය ධර්මශ්‍රී ගේ "දුහුළු මලක්" විනෝදාත්මක චිත්‍රපටයක්ද, කලාත්මක චිත්රපටයක්දැයි හරියටම තෝරා බේරා ගැන්මට නොහැක.
එහී විනෝද විය හැකි අංග රාශියක්ම තිබෙන අතරම, ලාවට කලාත්මක බවකුත් තිබුණි.
"වෙණ වයා, නැලවෙමු
නීරෝ වගෙ අපි" සිංහල රොක් සංගීතයෙන්ද
"රන් කෙන්දෙන් බැදි
අතැගිලි එක් කර ආදරයයි"
සිංහල ක්ලැසික් සංගීතයෙන්ද සමිශ්ර වී තිබීම තුලින් කලාත්මක බවක් මුසුවුනු විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස ගණනයට ගත්තාට වැරදි නැත. සංගීතය පැත්තෙන් මෙන්ම, නිර්මාණය තුළද එම දෙවර්ගය එයාකාරයෙන්ම ඉදිරිපත් වී තිබුනි.
හී.ලී.විජේතුංගගේ කෙටි කථාවකින් විජය ධර්මශ්‍රී ට මෙතරම් දෙයක් කරන්නට පුලුවන් වූයේ කොහොමදැයි එකල මට විශාල ප්‍රශ්නයක් විය. අන් අතකට හරි චරිතයක් නොලැබී, දෙකයි පනහේ චිත්‍රපටවල, දෙවැනි සහය චරිතවල, මෙන්ම, කසිකබල් චිත්‍රපටවල ප්‍රධාන චරිත රගපෑ නීටා ප්‍රනාන්දු වටිනාකම පැත්තෙන් රොකට් එකක් වගේ උඩ ගිය හැටි හිතන විටත් එකල මට හරි පුදුමය.
කථාව මූලිකව, නිලූපා හා ඇගේ ක්‍රියාකාරින් වටා ගෙතුනි. නිලූපා හා සුරවීර මධ්‍යම පාන්තීකයන්ය. සුරවීර බෑග් එකකුත් රැගෙන උදේ වැඩට යයි, හවසට ගෙදර එයි. මතක හැටියට ඔහු කථිකාචාර්ය වරයෙකි. එහෙයින් ඔවුන්ව ගණන් ගැනුනේ තරමක් ඉහළ මධ්‍යම පාන්තිකයන් ලෙසය.
නිලූපාට කුඩා දියණියක් සිටි අතර, ඇයගේ තනියට හා දියණිය බලා ගැන්මට, ලෙච්චමි නම් ආවතේව කාරියක් සිටියාය. නිලූපා ලෙච්චමීට සැලකුවේ, යෙහෙළියකට මෙනි. ඒවා විජය ධර්මශ්‍රී ගේ ට්රික්ස්ය. හොර වැඩ වලට සපෝටර් කෙනෙක් උවමනා හෙයින් ධර්මශ්‍රී ලෙච්චමිව ගෙන ආවේය.
නිලූපා තම කුඩා දියණිය හා ලෙච්චමි සමග මුහුදු වෙරළේ ඇවිදින විටය, ඇයට රොහාන්ව මුණ ගැසුනේ. එතැන් සිට රොහාන් නිලූපා වෙත ඇදුණේ පැණිරසයට ඇදෙන ඇඹලයෙක් මෙනි. රොහාන් මුලින්ම සෙට් කර ගත්තේ, පුංචි දෝණිවය. අම්මාව අල්ලා ගැන්මට මුලින්ම දැපෙන දා ගත යුත්තේ, පුංචි දියණියව යන ශාස්ත්‍රය නම් රොහාන් හොදටම තේරුම් ගෙන තිබූ අතර, අයිස්ක්‍රීම් ,චොක්ලට්, එයට සපෝට් වෙන හොදම ආයුධ බවද රොහාන් දැන සිටියේය.
කුකුළන්ව දැක තිබුණද, රොහාන් තරම් කුකුළෙක්ව නම් දැක තිබුනේ නැත. නිලූපාද රොහාන්ගේ 'ට්‍රයි' එකට දැක්වූයේ ආසයි බයයි තියරියය. නමුත් එයට උඩ ගෙඩි දුන්නේ ලෙච්චමිය. සුරවීර ගෙවන පඩියෙන් ජිවිතය ගෙන යන ලෙච්චමි සුරවීරට හොරෙන් නිලූපාට සපෝට් කරයි. මොවුන් පුදුම ගෑනුය.
ප්‍රථම හමුවීමෙන් පසු රොහාන් නිලූපලාගේ නිවෙස ඉදිරියේ පාරේ තම ස්පෝට්ස් කාරයේ සංගීත නලාව ගසමින් සක්මන් කරයි. ඒ නලාවේ හඩට ඇවිස්සෙන්නෙ අර ගෑනු ඩබලය. පොඩි දෝනිද 'අන්න රොහාන් අංකල්ගේ කාර්එක' කියා උඩ පනියි. ඒ පොඩි කෙල්ල නම් අර අයිස් ක්‍රීම් වලට, චොක්ලට් වලට කියා හිතන්නට පුළුවන. ඒත් මේ ගැහැනුන් දෙදෙනා, දඟලන්නේ කුමකටද?
හී ලී විජේතුංගගේ කෙටිකථාවේ සැගවී තිබු ගැඹුරු අර්ථය, විජය ධර්මශ්‍රී උකහා ගෙන එය නිලූපා හා ලෙච්චමීට උවමනා ලෙස ගලා යෑමට ඉඩ හැරියේය. සුරවීර හා ලෙච්චමි අතර තිබුනේ හාම්පුතා හා සේවිකාව අතර ඇති පරතරයය. එහෙත් රොහාන් ලෙච්චමිට ලෙන්ගතු කමක් දැක්වූයේ හරියට නිලූපාගේ යහළුවෙකු ලෙස සලකාය. ඒ රොහාන්ගේ කපටිකමය. රොහාන්ගෙන් ලැබෙන ඒ හිතවත් කම නිසා, ලෙච්චමි රොහාන්ට උපකාර කළාය.
රොහාන් දිනක් වරායේ නවතා තිබූ නැවක් බැලීම සදහා නිලූපාට සහ සුරවීරට ආරාධනා කලේය. ඒ වන විට, රොහාන් සුරවීර සමගද කුළුපග වී සිටියේය. සුරවීර සමග යෑමට සිටි නිලූපාට, සුරවීරගේ කාර්ය බහුලත්වය නිසා, ඔහුට යෑමට නොහැකි වූ අතර, නිලූපාට හා දියණියට ලෙච්චමි සමග යෑමට අවසර දුනි. විජය ධර්මශ්‍රී ටත් කථාව නියම තැනින් පටන් ගන්නට, එම සිදුවීමම ප්‍රමාණවත් විය.
රොහාන්ටත්, නිලූපා ටත් ඉබ්බා දියේ දැම්මා වගේය. නැව බැලීමට යාම තුළින්, රොහාන් තමාට අවශ්‍ය ඉල්ලක්කය කරා පැමිණීය.
හොද ගුණවත්,බුද්ධිමත්සැමියෙක් හා දියණියක් සිටින, බාහිර සැප සම්පත් ඇති ගැහැනියක් කඩවසම් තරුණයෙක් සමග නැව් අස්සෙ, රබර් වතු අස්සේ "සමයං"නටන්නට යන්නේ, එම ගැහැනියගේ විසේ මට්ටුවී නැති නිසාය. අන් අතකට රොහාන් වැනි කඩවසම් තරුණයෙක්, දියණියක් සිටින විවාහක ගැහැනියක් පසු පස යන්නේ ඇයව විවාහ කරගැන්මට නොව, ඔහුගේ ඇගේ හිරිය ඇර ගැන්මටය. විජය ධර්මශ්‍රී මෙම රූපරාමු කීපය, මනා සංයමයකින්, මෙන්ම සිනමාත්මකව ඉදිරිපත් කරන්නට වූයෙන් ප්‍රේක්ෂකයාට රොහාන් ගැනවත්, නිලුපා ගැනවත් ද්වේශයක් හෝ, පිළිකුලක් ඇති නොවීය. ඒ විජය ධර්මශ්‍රී ගේ කපටි කමය.
සුලුවෙන් හෝ එසේ ඇති වන්නට යෑම වැලැක්වීමට විජය ධර්මශ්‍රී නියම "ජිමික්" එකක් කළේය. ඒ සරත් දසනායක, අබේවර්ධන බාලසූරිය හා සුජාතා අත්තනායක හරහාය. එයින් නිලූපා හා රොහාන් පමණක් නොව, විජය ධර්මශ්‍රී ද ජාමේ බේරාගති.
"බොද මීදුම් කඳුරැල්ලේ ,
සුරංගනා රජදහනේ
ඔබේ සිනා කදුලු බිදක්
මටත් වාසනා. මටත් වාසනාවන්"
සුරවීර වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත්වල ඇතිවෙන්නට තිබූ, සානුකම්පිතබව, සහසිකව, විජය ධර්මශ්‍රී විසින් නැතිකළේ, ඔය අබේවර්ධන හා සුජාතා ගැයූ ගීතය තුළිනි. එම ගීතය, තනුව, පදමාලාව,සංගීතය,හා ගායනය, ශ්‍රාවකයාගේ සවන් ඇද බැද ගන්නා විට, විජය ධර්මශ්‍රී එය සිනමාත්මකව මෙන්ම ආකාර්ෂණීය
සේ ඉදිරිපත් කලේ, ප්‍රේක්ෂකයන්ට රොහාන් හා නිලූපාට අබමල් රේණුවක තරමින් හෝ අප්‍රසාදයක් ඇති නොවෙන්නටය. තහනම් ගහේ ගෙඩිවල රස බලන්නේ නිලූපා හා රොහාන්ය. එහෙත් විජය ධර්මශ්‍රී එම ගීතය තුළින් ඔවුන්ව කදිමට ,හරි අපූරුවට, බේරාගනී.
"දුහුළු මලක්" හී සංවේදිනීය චරිතය වූයේ සුරවීරය. එහෙත් ධර්මශ්‍රී තම චිත්‍රපටය තුල නිලූපාව සංවේදී කරන්නට හැකි හැම උත්සහයක් ගනී. රොහාන් සමග රවුම් ගසා නිලූපා ගෙදර එන්නේ හොර පූසියක් මෙනි. කප්පරයක් තරම් බොරු කීමෙන් තම අවිහිංසක සැමියාව රවටන නිලූපාට උඩගෙඩිදී ඇයව ආරක්ෂා කරන්නට ලෙච්චමිද උත්සහා ගනී.
එහෙත් විජය ධර්මශ්‍රී ප්‍රධාන කාන්තා චරිතය වූ නිලූපාත්, පිරිමි චරිත යුගල වූ සුරවීර හා රොහාන්වත් සමතුලිත කිරීමට උත්සහා කර ඇත. නිලුපා වැරද්දක් කරන බව ප්‍රේක්ෂකයන් දැන සිටියද, එම වැරැද්ද සාධාරණීය කරන්නට ඔහු නන්දා මාලනීව එතැනට ඈදා ගති.
"රන් කෙන්දෙන් බැදී අතැගිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැදි සිතුම් වසඟ කල ආදරයයි"
ගැහැනියකගේ සිත මොනතරම් කපටිද කියා විජය ධර්මශ්‍රී ට පෙන්වන්නට උවමනා කමක් තිබුනාදැයි සිතන්නේ, ඇටි කෙහෙල් කෑවා නම් උඹම විදවපන් යන න්‍යායේ රැදෙන්නට ඔහු නිලූපාට ඉඩ හැරිය නිසාය.
"ඔබගෙන්දෝ, ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ."
යන යෙදුමෙන් නිලූපා ප්‍රේක්ෂකයන් ගෙන් අසන්නෙ, හරියට එයාට කසාද මිනිහා සිටින විට, වෙන මිනිහෙක් එක්ක යාළුවෙන්න කියා, ප්‍රේක්ෂකයන් කීවා වගේය.
කෙසේ වෙතත් , අවසානයේ නිලූපා තම අනියම් පෙම්වතා අතහැර තම සැමියා සමග සිටින්නට කීරණය කර, ඒ බව රොහාන්ට පවසා නැවත නිවසට පැමිනෙණ විට, මේ සියල්ල දැනගත් සුරවීර නිලුපා නිවස තුලට එන විටම වෙඩි තබා මරා දමයි.
අහිංසක සැමියන්ට එවැනි වැරදි කරන ගැහැනුන්ට ඔහොම වෙලා මදියයි සිතන විට, දෙවනි වරටත් නිලූපා නිවසට පැමිණෙයි. මේ අප්‍රබංසය ලිහා ගැන්මට ප්‍රේක්ෂකයන්ට සුළු වේලාවක් ගත වේ. ඒවා විජය ධර්මශ්‍රී ගේ ගැටය. නිලූපාගේ මුල් පැමිණීම හා චෙඩි තැබීම, සුරවීරගේ චින්තනයේ රැදී තිබූ විකාරානු හැගීම් එලෙස ගෙන හැර පෑමය. යථාර්තය වූ කලී, සියල්ල සමථයකට පත්වූ බවකී, අවසානයේ දකින්නේ. 'වැරදි කිරීම ගැහැනු ගතියකි. සමාව දීම මිනිස් ගතියකි' ලෙස වෙනස් කෙරූ විජය ධර්මශ්‍රී , සුරවීර විසින් නිලූපාට සමාව දීමට සැලැස්වීමෙන් "දුහුළු මලක්" අවසන් කළේ්ය. සුරවීරල වගේ සැමියනුත්, විජය ධර්මශ්‍රී ලා වගේ අධ්‍යක්ෂක වරුත් සිටීමෙන්, නිලූපලා වගේ ගැහැනුන්ට, ඕනෑම නෙයියාඩකමක් නටා, යලි නිවසට පැමිණ සමාව ගත හැක.
මේ කුඩා තේමාව විජය ධර්මශ්‍රී මනා ලෙස හසුරුවා තිබුනි. එය සිනමාත්මක මෙන්ම වින්දනීය ලෙස ධර්මශ්‍රී ගේ භාෂාවෙන් සිත්තමක් සේ ගොතා තිබුනි. නීටා ප්‍රනාන්දු, නිලුපා ලෙසත්, ටෝනි රණසිංහ සුරවීර ලෙසත් රවින්ද්‍ර රන්දෙනිය රොහාන් ලෙසත් විශිෂ්ට ලෙසත්, මනා සංයමයකිනුත් එම චරිත වලට අවතීර්ණ වී තිබුනි. ඒ දැවැන්තයන් අතර තවත් කැපී පෙනෙන රංගනයක නියැළුණේ සමන්ති ලැනරෝල්ය. ඒ ලෙච්චමිගේ චරිතයටය. සමන්ති තම සිනමා ගමන ස්ථීර කරගත්තේ මේ ලෙච්චමි ගේ චරිතය තුලිනි. ළමා චරිතය රගපෑ ඉනෝකා වීරසිංහ චිත්‍රපටය තුල ප්රවිණයන් සමග හරි හරියට විශිෂ්ට ලෙස රගපෑවාය. ජී.බී.එල් ගුණසේකර, ඇග්නස් සිරිසේන, ප්‍රීති රන්දෙනිය අතුරු චරිත අඩුවක් නොකර රගපා තිබුණි. සිංහල සිනමාවට, ප්‍රථම වතාවට, රවින්ද්‍ර හා නීටාව යොදවමින් රුම්බා හා පැසොඩබල් යන ලතින් ඇමරිකන් නැටුමක් ආකර්ෂණීය ලෙස ධර්මශ්‍රී ඉදිරිපත් කිරීම අගය කළ යුතුය. එලෙසම විජය ධර්මශ්‍රී ද "දුහුළු මලක්" හරහා, තමාට අනන්‍ය වූ අද්විතීය සිනමාවකට අවතීර්ණ විය.
ලාංකේය සිනමාවට නිතරම එන සරල තේමාවක් තරමක් ගැඹුරෙන් විශ්ලේෂණය කර, වෙනස් කෝණයන් තුලින් සිනමාත්මකව හා වින්දනීය ලෙස විශිෂ්ටව නිර්මාණය කළ විජය ධර්මශ්‍රී "දුහුළු මලක්" හරහා එම විශිෂ්ටත්වය තහවුරු කළේ ප්‍රේක්ෂක හා චිචාරක ප්‍රශංසා මැදය.
ශෝන් මැක්ස්මස් දිසානායක