"දන්නා මෑත ඉතිහාසයක මූසිලගේ දෘෂ්ටි කෝණයෙන් නිර්මාණයක් කළේ මෑතකදී අප අතරින් වියෝ වූ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධනයන් ය.
1990 වසරේ දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය සිසුන් සමග "පන්සිළු වැස්ස" රඟ දැක්වුවද එය කතිකාවක් ඇති කිරීමට සමත් කාලයක් හෝ මාධ්‍යයක් නොවීය.
දෙදහසෙන් පසුව " මූසිලයන්ට පෙම් බඳින පරම්පරාව" යන තේමා පාඨය හඳුන්වා දෙන්නේ උසස් පෙළ සිංහල උපකාරක පංති කලාවේ නවමු ලක්ෂ්‍යයක් සනිටුහන් කළ උපුල් ශාන්ත සන්නස්ගල ය. හෙතෙම මූසිලගේ කැපවීම ඇගයීය. ගුත්තිලගේ ජය එදා මෙදා තුර ඉතිහාසයේ පළමු තහනම් උත්තේජක භාවිතය යැයි යෝජනා කළේය.
කලණ ගුණසේකර "මූසිලය" යනුවෙන් කවි පොතක් පළ කරන්නට සැරසෙන්නේ 2018 වසරේ දීය. කවි පොත එළි දකින්නටත් පළමුව ම මූසිල ව උත්කර්ෂයට නගන, ගුත්තිල ව වංචාකාරයෙක් බවට පත් කරවන පූර්ව නිගමන ඔස්සේ පෙනී යන්නේ අප තවමත් කැරෙකිමින් සිටින්නේ උපුල් සන්නස්ගල නම් සෙක්කුව වටා බවය. ඔහු පාසල් ගුරුවරුන්ගෙන් අම්මා මෝ නැති වෙන්නට අසා ගනිමින්, අසාදුගත වෙමින් වුවද නව දෘෂ්ටිවාදය උදෙසා ගුලි කීපයක් අප වෙත විසි කළේය. දසක දෙක හමාරක් ගත වූ අද වන විටත් අප ඒ හක්කෙන් මේ හක්කට මාරු කරමින් වමාරා කන්නේ සන්නස්ගල අප වෙත වරක් ප්‍රයෝජනයට ගන්නැයි විසි කළ ගුලි මය. එබැවින් කලණ ගේ "මූසිලය" අලුත් දැක්මක් සහිත කවි පොතක් වනු දකිනු රිසි මි.
නවකතාවක් ලියන්නට හිඳ එක්වරම කවි පොතක් එළි දක්වන කලණ ගුණසේකර ; ඒ තීරණය ගන්නේ අත්‍යාවශ්‍යම මොහොතක යැයි යෝජනා කරනු කැමැත්තෙමි. කලණ රංගන ශිල්පියෙකු ලෙස සමාජගත වන්නේ " කූඹියෝ" නාට්‍යයෙන් බව සැබෑවක් වුවද අද වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ එම චරිතය නැවත නැවත ඉස්මතු කරමින් , අවශ්‍ය - අනවශ්‍ය සෑම දෙයකටම ඈඳමින් එහි අපූර්ව බව පිළුණු කර ඇත. රස විහීන , ඒකාකාරී , ඕලාරික සයිබර් විහිළු උදෙසා කටගැස්මක් වී ඇති තුමිඳු - කලණ රූපකායන්ගෙන් ( ජෙහාන් - ප්‍රියන්ත ) මිදිය යුතු කාලය එළැඹ ඇති අතර එහි තදබල අවශ්‍යතාව තිබිය යුත්තේ තුමිඳුට නොව කලණට ය. චරිතාංග නිළියක වීමේ ශක්‍යතාවයෙන් කලා ලොවට පිවිසි මර්සි එදිරිසිංහ , මෙලොවින් සමුගන්නා විට ඇයව පත් කර සිටි ආස්ථානයත් සමග කලණ ගුණසේකර නම් කවියා නිදහසේ කියවීමට නම් සී.ටී.සී ඊගල් උකුස්සා මෙන් , යන එන තැන , දිවා රෑ නොබලා පසුපස හඹා එන ප්‍රියන්ත මහඋල්පතගම සෙවණැල්ලට නැවතීමේ තිත තැබිය යුතුය.
රූපවාහිනියට , සිනමාවට පිවිසි පසු බොහෝ කලාකරුවන් කවි , ගීත , නවකතා ලියන්නටද , සී.ඩී තැටි පිටින් ගීත ගයන්නට ද නිර්භීත සකල කලා වල්ල්භයන් වෙති. එය ලංකාවේ කලාවේ ස්වරූපය ය. නමුත් කලණ පවසන්නේ මේ කවි කලකට පෙර ලියා තිබූ කවි බවය. ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 1988 දී නීති පීඨ සිසුවියක ලෙස නෙවිල් රාජිත් සමග කාව්‍ය සංග්‍රහයක් එළි දැක් වූ අතර මගේ මතකය නිවැරදි නම් 1993 වැනි කාලයක දුලීකා මාරපන නම් සරසවි සිසුවිය තමා ඇඳි චිත්‍ර සහිත කවි පොතක් එළි දැක්වූවාය. නමුත් අද වන විට කවි ලියන ඉනෝකා හෝ දුලීකා කෙනෙක් නැත. ප්‍රධාන ධාරාව විසින් ඔවුන්ගේ කවිකම් ගිලගෙන ඇත.
බොහෝ වෙර වීරියෙන් ප්‍රධාන ධාරාවට ආ පසු , රිදී රැයක් වේදිකාවක ජ්‍යේෂ්ඨ පුරවැසි නිළියක් සමග "එ රන් කඳ පෙම් කඳ ගුම් දිදී" යනුවෙන් නැටීම ඊ ළඟ සිහිනය නොකර , පයක් පසුපසට තබා පෙර ලිවූ කවි මතකදැයි කල්පනා කරන කලණට ආදරයෙන් සුබ පතන්නේ එබැවිනි."
- සහන් කසීර වික්‍රමසිංහ -