2015 වසරේ එවකට මා සේවය කරමින් සිටි අවන්හලට උදේ කෝපි කෝප්පය බොන්නට දිනපතා පැමිණි මිනිසෙකි. මැදි වියට ලං වෙමින් සිටි ඔහු සාමාන්‍ය ඇදුමින් සැරසුණු නිතර දුම් උරන බැලූ බැල්මට ඉහල සමාජ තලයක පසු වන්නේ යැයි කිව නොහැකි අයෙකි.
මුල් කාලයේ සුබ දවසක්..යනුවෙන් පටන් ගත් අප දෙන්නාගේ වදන් හුවමාරුව මාස ඇවෑමෙන් දිගු විය. මේ මිනිසා එනම් රුඩොල්ෆ් ලෝපේස් පැරිසියේ ප්‍රකට , සම්භාවනීය රංගන ශාලාවක් වන Thâtre de la Ville හි ප්‍රධාන වේදිකා පරිපාලකයා බව මට දැන ගන්නට ලැබුණි. (මේ රැගුම් හලේ ඇතුලත ඡායාරෑපයක් පහත දැක්වෙයි.)කීප වතාවකදීම කතාවට වැටි තරමක් මිතුරු වුනු විට රැගුම් හලේ ඇතුලාන්තය , එහි ක්‍රියාකාරකම් දැක බලා ගන්නට හැකිදැයි මම විමසා සිටියෙමි. ඕන වෙලාවක් එන්න .....ඔහුගේ පිළිතුර විය. මේ අනුව එක් සිකුරාදා දිනක මේ ගාම්භීර රංගන ශාලාව ඉදිරියේ පෙනී සිටි විට රුඩොල්ෆ් පැමිණ පැය තුනක කාලයක් පුරා විවිධ වූ දේ පෙන්වා දුන්නේය. එය වනාහි හුදෙක්ම රැගුම් හලක් නොවේ. සහස් ආශ්චර්යන්ගෙන් පිරුණු නිධානයකි. කෙසේ හෝ වේවා අවසානයේදී පිටව යන මහා දොරටුව වෙත පැමිණි විට එහි නැගී සිටි විශාල ප්‍රමාණයේ ප්රචාරක දැන්වීමක් මගේ නෙත ගැටුණි. ඒ දිනවල එහි වේදිකා ගත වෙමින් තිබුණු ග්‍රීක නාට්‍යකරු Sophocle ගේ Antigone හි (ක්‍රි.පු.441) ඉංග්‍රීසි බසින් සිදු වුණු නව නිෂ්පාදනයකි. වඩා වැදගත් දේ වුයේ එහි Antigone ගේ චරිතයට පන පොවනු ලැබුවේ ප්‍රංශයේ පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ඉහල කිර්තිනාමයක් දිනා ඇති ප්‍රංශ නිළි ජුලියෙත් බිනෝෂ් (Juliette Binoche) වීමයි.
රුඩොල්ෆ් මා අසලට පැමිණ පිටට තට්ටුවක් දමා Anitigone බලන්නට කැමති නම් ප්‍රවේශ පතක් ලබා දිය හැකි බව කිවේය. මව්බිමේදීත්, පැරිසියේදීත් වාර දෙකකදී මේ නාට්‍ය බලා අපහසුවෙන් දිරවා ගත් මට තවත් වතාවක් ඒ දඩුවම ලබන්නට සිතුනේ නැත. ඒ මොහොතේ මගේ සිතට පැමිණි අදහස නම් ජුලියෙත් බිනෝෂ් හමුවීමයි. ඇය සමග විනාඩි කීපයක සාකච්චාවක් කර එය ලංකාවේ පුවත් පතක පල කර ගැනීම මගේ උවමනාව විය. රුඩොල්ෆ් රංගන ශාලාවේ මුල් පෙලේ තනතුරක් දරයි නම් මෙවැනි අවස්ථාවක් ලබා ගත හැකි නොවේද...එහෙත් ප්‍රංශයේ නළු නිලියෝ සහ පුවත්පත් කලාවේදීන් අතර සබදතා ඇති වන්නේ ඒජන්තවරු මාර්ගයෙනි. අනෙක් අතට මම පුවත් පත් කලාවේදියෙකු නොවෙමි. ප්‍රංශ රජය විසින් ලබා දෙන CARTE DE PRESS (Press Card ) එකක් මට නැත. ජුලියෙත් බිනෝෂ් ලොව පිළිගත් නිළියකි. කෙසේ හෝ වේවා මගේ උවමනාව මිතුරාට කියා සිටියෙමි. සැම දර්ශන වාරයකටම පෙර ජුලියෙත් බිනෝෂ් තමාට මුණ ගැසෙනා බවත් මගේ ඉල්ලීම් ඇයට ඉදිරිපත් කරන්නට ඔහු පොරොන්දු විය.
සිදුවුයේ පුදුමයකි. දින දෙකකින් මුණ ගැසුණු විට ජුලියෙත් මා හමු වන්නට කැමැත්ත දුන් බව රුඩොල්ෆ් කිවේය. ඔහුව වැළද ගැනීමේ උවමනාවක් මට ඇති විය. එහෙත් එසේ නොකලෙමි.
ජුලියෙත් බිනෝෂ් කවුරුන්දැයි හදුන්වා දීමට මෙහිදී මොහොතක් ගත කළ යුතු වන්නේ ඇය කවුදැයි ලංකික කියවන්නෝ නොදැන සිටින්නට ඉඩ ඇති හෙයිනි. වත්මන් සිනමා ලෝකයේ දක්ෂතම නිලියන් ලැයිස්තුවක් මා විසින් සකස් කරන්නේ නම් එහි මුල් තැනට මෙරිල් ස්ට්‍රිප් පත් කරමි. දෙවන තැන ජුලියේත් බිනෝෂ් හට ලබා දෙන්නට පසුබට නොවෙමි. ඇගේ සියළු ජීවන් තොරතුරු ලිවිම මෙහි අරමුණ නොවේ. බිනෝශ් ප්‍රංශයේ කලාත්මක සිනෙමාවේ අංක එකේ නිළියකි. වේදිකා නිළියකි. නෘත්යාංගනාවකි. ලේඛිකාවකි. වර්ෂ 1988 වසරේදී The unbearable Lightness of Being චිත්‍රපටයේ රගපෑමෙන් අන්තර්ජාතික සිනෙමාවට එක් වුණු ඇය වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ The English Patient වෙනුවෙන් හොදම සහය නිලියට හිමිවන ඔස්කාර් සම්මානය දිනා ගැනීමෙන් පසුවයි. ජූලියෙත් බිනෝශ් ගේ සුවිශේෂත්වය වන්නේ ලෝකයේ ප්‍රධානතම සිනෙමා සම්මාන උළෙල තුනකින් හොදම නිළියට සම්මානය දිනා ගත් ලොව එකම නිළිය ඇය වීමයි. වැනිස් උළෙලේදී (1993) Three Colors :Blue වෙනුවෙන්ද ,1997 බර්ලින් උළෙලේදී The English Patient වෙනුවෙන්ද, 2010 කාන් උළෙලේදී Certified Copy වෙනුවෙන්ද ය හොදම නිලි සම්මානය දිනා ගත්තාය.
තුන් වසකට පෙර එනම් 2015 වසරේ අප්‍රේල් 28 වැනිදා රාත්‍රී 10 ට THEATRE DE VILLE පිළිගැනීමේ ශාලාවට ඇතුළු වී මගේ උවමනාව කියා සිටි විට ( මේ මොහොතේ දර්ශනවාරය අවසන් වීම නිසා දහස් ගණනක් රසිකයෝ ශාලාවෙන පිටවෙමින් සිටියහ) අදාළ නිලධාරියා තවත් අයෙකුට දුරකතනයෙන් කතා කළේය. මගේ නම අපහසුවෙන් උච්චාරණය කරමින් "මැඩම් බිනෝශ්" හමුවීමට මා පැමිණි සිටින බව කි විට තෙවන මහලේ ඇගේ lodge එකට යන අකාරය දන්නේ දැයි ඔහු ඇසුවේය. මම දන්නා බව කිමි.
ඇය වටා සිටගෙන ඇගේ මුහුණේ රැගුම් ආලේප ඉවත් කරමින් සිටි තරුණියන් දෙදෙනා නිසා තත්පර කීපයක් යන තුරු ඇය මා දුටුවේ නැත. තරමක් ඇතින් තිබුණු සැප පහසු පුටුවක් පෙන්වමින් එහි වාඩි වන්නැයි මට කි මහා නිළිය තව විනාඩි කීපයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියාය. සත්‍ය වශයෙන්ම මේ සටහන මුහුණු පොතේ ලියන්නේ ලෝකයේ ප්‍රකට නිළියක සමග කතා බහට අවස්තාව ලැබීමේ උඩගු ආඩම්බරය ප්‍රදර්ශනය කිරීම සදහා නොවේ. මා ඉදිරියේ සිටි ඒ ලෝ ප්‍රකට නිළිය ගේ නිහතමානි බව, සුහද බව, සරළ බව ගැන කිව යුතු නිසාය. ඇය ප්‍රංශ සිනෙමාවේ පමණක් නොව ලෝක සිනෙමාවේ පවා බලවත් චරිතයකි. මහා සිනෙමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් තමන්ගේ චිත්‍රපටයක් වෙනුවෙන් කල ආරාධනය ප්‍රතික්ෂේප කළ එකම නිළිය ඇයයි. මා සමග කතා කිරීමෙන් හා මා හට සාකච්චාවක් ලබා දීමෙන් ඇය ට හිමිවන දෙයක් නොමැත. ලංකාවේ පුවත්පතක පළවන ලිපියක් නිසා අංශු මාත්‍රයක බලපෑමක් ඇගේ පැවැත්මට සිදු නොවෙයි. හුදෙක්ම සිදුවන්නේ ඇගේ කාලය නාස්ති වීම පමණි. එහෙත් ජූලියෙත් බිනෝශ් මේ කිසිවක් ගැන සිතුවේ නැත.
තරුණියන් දෙදෙනා පිටව ගිය පසු ඇය පැමිණ මා අසලින් වාඩි ගත්තාය. බොන්නට යමක් උවමනා දැයි අසු විට මම ස්තුතිය ප්‍රකාශ කර "එපා.." යැයි කිමි. කොපි එකක්..? වතුර වීදුරුවක්....? හොදයි එහෙනම වතුර වීදුරුවක්.... අනතුරුව ඇය නැගී සිට අසල තිබුණු ශීතකරණය විවර කර කුඩා වතුර බෝතල් දෙකක් රැගෙන විත් එකක් මට දුන්නාය. මා පැමිණියේ කුමන පුවත්පතින් දැයි ඇය ඇසුවේ නැත. ඇය මුලින්ම කළේ එදා සවස් යාමයේ දර්ශනයේදී සිදුවනු ඇතැම් දේ ගැන කියා සිටීමයි. මා සුදානම් කර ගත් ප්‍රශ්න කීපයට ඇය ඉතා කැමැත්තෙන් පිළිතුරු දුන්නාය. සිනා පාමින් පිළිතුරු දුන්නාය. විනාඩි 40 ක පමණ ගෙවී ගිය පසු මට උවමනාව වූයේ පිටව යාමයි. ඇගේ කාලය තවත් විනාශ කිරීමට මට සිත් නොවිණ. එහෙත් ජූලියෙත් බිනෝශ් කතාවට කැමති අයෙකි. ඇය මව්බිමේ විස්තර ඇසුවාය. අවාසනාවකට අපේ කිසිදු සිනෙමා නිර්මාණයක් ඇය දැක නැත. එහෙත් ඇය බොලිවුඩ් සිනෙමාවට ප්‍රිය කරයි. කලකට පෙර ඇය දුටු හින්දි චිත්‍රපටයක කතාව ඇය කියන්නට පටන් ගත්තාය. පැය එකහමාරකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබේ. විවිධ කාරණා සදහා අයෙක් කාමරයට ඇතුල් වුනත් ඇය කිසිවෙකුවත් ගණනකට නොගෙන මා සමග කතා බහේ යෙදුනාය. මා යෙදී සිටින්නේ අපරාධයකැයි මට සිතුණි. මේ මහා නිළියගේ කාලය විනාශ කිරීම අපරාධයකි. ඇගේ සුහද බැවින් මම මෝහනය වී සිටියෙමි.
"ඔබව හදුනා ගැනීම සතුටක්...යළි දවසක හමු වෙමු..." අන්තිමේදී ඇය කීවාය. ඇගෙන් සමු ගෙන දෙතුන් වාරයක් ස්තුති කර පැරිස් අහස යටට වන් මම දිගු සුසුමක් හෙළුවෙමි. ඒ මොහොත ජිවිතයේ සුන්දර මොහොතක් යැයි අද මට සිතේ.
තවත් සතියකට පසු ඇගේ කතාබහ ඇසුරින් ලිපියක් සුදානම් කර ගත් මම මගේ මිත්‍ර "සරසවිය" ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්නට කතා කලෙමි. ලිපිය වහාම එවන්න ඔහු කිවේය. ඒ ලිපියෙන් උපුටා ගත් කොටස් කීපයක් මෙසේ පළ කරමි.
චිත්‍රපට නිෂ්පාදකයන තමන්ගේ නිර්මාණ වෙනුවෙන් ඔබෙන් දින බලාපොරොත්තුවෙන් සිටිද්දී මෙසේ වේදිකා නාට්‍යක රගපාන්න තීරණය කලේ ඇයි ...?
මම හිතන්නේ ඇමරිකාවේ සහ යුරෝපයේ නළු නිළියනට ලැබෙන වරප්‍රසාදයක් තමයි සිනෙමාව සහ වේදිකාව විටින් විට තෝරා ගන්න අවස්ථාව ලැබීම. ඔබේ අවසන් චිත්‍රපටයෙන් ඔබට හොද වැටුපක් ලැබුනා නම් ඊලග අවස්ථාව ලැබෙන කල් ඔබට හැකියාව තිබෙනවා වේදිකා නාට්‍යයක රගපාන්න. මගේ පරපුරේ බොහෝ ප්රංස නිලියන් රංගනය පිළිබද හැරු අය .ඒත් අපි තවමත් ඉගෙන ගන්නවා.වේදිකාව තරම් වටිනා තැනක් නැහැ රගපෑම ගැන ඉගෙන ගන්න. වේදිකාව තමන්ගේ ආත්ම අභිමානයට අභියෝග කරනවා. ආත්ම විශ්වාසයට පදනම දමනවා. විශේෂයෙන් Antigone වගේ නිර්මාණයකට දායක වීම විශාල අභියෝඅගයක්. එය හැමදාම සවස් යාමයට සංග්‍රාමයට යනවා වගේ වැඩක්. අනෙක මේ නිර්මාණය ඉංග්‍රීසියෙන් බිහිවුණු එකක් .මා ඉංග්‍රීසි කතා කළත් එය මගේ මව් බස නොවෙයි. ඔබ දකින්නට ඇති පහුගිය සති දෙක පුරාම යුරෝපයේ හැම රටකින්ම රසිකයෝ පැමිණියා එය නරබන්න. එයින් සියයට අනුවක් දෙන Antigone කළින් නරඹපු අය . බොහෝ දෙනෙක් එය හදාරලා තියනවා. මගේ වගකීම ඔවුන්ව සතුටු කිරීමයි. මෙය බෙහෙවින්ම වෙහෙස වී හදාරළා සිදු කල යුතු කාර්යයක් .මෙවැනි අභියෝග ලැබෙන්නේ වේදිකාවේදී විතරයි.
ඔබ බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ ප්‍රතික්ෂේප කරපු අයෙක් . වරක් ස්ටීවන් ස්පිල්බර්ග් ගේ චිත්‍රපටයක් ඔබ ප්‍රතික්ෂේප කලා. ස්පිල්බර්ග් වගේ කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න යම් අයෙකුට හැකියාව ලැබෙන්නේ කොහොමද...?
(සිනහසෙමින්) ස්පිල්බර්ග් ලොව පාලන දෙවි කෙනෙක් නොවෙයි. ඔබ දන්නවා යුරෝපයේ බොහෝ රටවල විශේෂයෙන්ම ප්‍රංශයේ සිනෙමා තරු නැහැයි කියලා. සිටින්නේ නළු නිලියන් පමණයි. මම මගේ දවසට මුහුණ දෙන්නේ සාමාන්‍ය ආකාරයට . මම ඔස්කාර් දිනා ගත්ත නිලියක් වෙන්න පුළුවන්. ඒත් මම සුපිරි වෙළද සැලට යන්නේ තනිවම. මම බයිසිකලෙන් තමයි පැරිසියේ හැම තැනම යන්නේ. මිනිස්සු මාව හදුනා ගන්නවා. සිනා වෙනවා. ඇතැම් විටක කතා කරනවා. ඒත් සමරු සටහන් ඉල්ලන්නේ නැහැ. මම තරුවක් නොවෙයි. ස්පිල්බර්ග් ගේ චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්න මට හැකිවුණේ ඒ නිසයි.
තරුවක් වීමේ උවමනාව කිසි දිනක ඔබ තුළ තිබුනේ නැද්ද...?
නැහැ . මම රගපෑම හැදෑරුවේ රගපාන්න. මගේ ගුරුවරු මට කියා දුන්නේ රගපමේ පදනම මිස තරුවක් වෙන හැටි නොවෙයි. පෞද්ගලිකව මා වාසනාවන්තයි මුල් කාලයේදී මුදල් හොයන්නට රගපමේ උවමනාවක් මට තිබුනේ නැති නිසා. මුල් චිත්‍රපට කීපයෙන් ලැබුණු ආර්ථික පහසුව සහ කිර්තිනාමය නිසා ස්පිල්බර්ග් Jurrasic Park චිත්‍රපටයේ චරිතය මට ලබා දුන්නාම තෝරා ගැනීමේ අවස්තාවක් මට තිබුණා . මේ චිත්‍රපටය තෝරා ගත්තා නම් Krzystof Kieslowski ගේ Three Colors : Blue චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්නට සිදු වෙනවා. එහි චරිතය බොහොම ගැබුරු සංකීර්ණ එකක්. මම හිතන්නේ මගේ තෝරා ගැනීම හොදයි.
ඔබ සිනමා පටයක් තෝරා ගන්නා විට එහි තිර රචනයට අමතරව අධ්‍යක්ෂක ගැන විශේෂ සොයා බැලීමක් කරනා බව දැන ගන්නට ලැබෙනවා. මේ සොයා යාමේ තේරුම කුමක්ද...?
මම අධ්‍යක්ෂකගේ පෞද්ගලික ජීවිතය ගැන සොයන්නේ නැහැ. එහෙත් මගේ දිවිය කාර්ය බහුලයි. නිලියක් මෙන්ම අනෙක් කලා කටයුතු වල යෙදෙනා අතරම මගේ පෞද්ගලික දිවිය ගැනත් සැලකිලිමත් විය යුතුයි. මගේ දරුවන් දෙදෙනා ( ඇය දියණියන් දෙදෙනෙකුගේ මවකි) ගැන සොයා බැලිය යුතුයි. කිසි කෙනෙක් කැමති නැහැ තමන්ගේ කාලය නිරපරාදේ විනාශ වෙනවා දකින්න. විශේෂයෙන් මම කැමති නැහැ. මේ නිසා මම මුලින්ම සොයා බලන්නේ අධ්යක්ෂවරයාගේ අනෙක් නිර්මාණ මොනවාද කියායි . අඩුම තරමින් නවක අධ්යක්ෂ වරයෙක් ගේ කෙටි චිත්‍රපටයක් වත් බලන්න මම ඉල්ලා සිටිනවා . තිර රචනයට මා කැමති නම් අධ්යක්ෂවරයා සමග දිගින් දිගට මම කතා කරනවා නිළිය වශයෙන් ඔහු මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියා. මේ ආකරයෙන් පැය ගණනාවක් කතා කරද්දී මට තීරණය කරන්න පුළුවන් ඔහු සමග වැඩ කරනවාද නැද්ද කියා.
බොහෝ සිතා මතා තීරණය කලත් රුපගත කිරීම් අතරතුරේදී සිතිලා තියනවද ඔබ ගත්තේ වැරදි තීරණයක් කියලා.
එවැනි අවස්ථාවකට මම මුහුණ දීලා තියෙන්නේ එක් අවස්ථාවකදී පමණයි. මා වටා සිටි හැමදෙනාම කිවා Abel Frarra ගේ Mary චිත්‍රපටයේ රගපාන්න එපා කියලා. නමුත් ඔහු තරමක මතභේදකාරී අයෙක් නිසා මට හිතුනා ඔහු සමග වැඩ කරන්න. ඒත් රූගත කිරීම් ආරම්භ වී සතියක් යන විට මට තේරුණා මම ගත්තේ වැරදි තිරණයක් කියලා. සත්‍ය වශයෙන්ම ඔහු සමග වැඩ කිරීම අපහසුයි.(සිනහසෙමින්) මා මෙය ප්‍රකාශ කරන්නේ Abel ඔබේ පුවත් පත් කියවන්නේ නැහැයි කියලා දන්න නිසා.
ඇතැම් ප්‍රංශ අධ්‍යක්ෂකවරුන් හොලිවුඩ්පුරයෙන් ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කරනවා එහිදී තමන්ට ලැබෙන නිදහස අඩුයි කියමින්. මේ තත්වය ඔබ දකින්නේ කොහොමද...?
ප්‍රංශය හා ඇමරිකාව එකිනෙකට වෙනස් රටවල් දෙකක්. සිතුම් පැතුම් පමණක් නොවෙයි සිනෙමා ක්ෂේත්රය ක්‍රියාත්මක වන ආකාරය එකිනෙකට වෙනස්. හොලිවුඩ්පුරයේ බහුතරය සිනමාව ගැන හිතන්නේ හුදෙක්ම මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙසින්. සිනමාවේ නාමයෙන් චිත්‍රපට නිපදවීමේ උවමනාවක් ඔවුන්ට නැහැ. මෙයට වරදක් කියන්න බැහැ. සිනෙමා කර්මාන්තය ආරක්ෂා විය යුතුයි. ලාභයක් නොබලා කලා නිර්මානයක යෙදෙන්න හැකියාව තියෙන්නේ රජයට විතරයි. ප්‍රංශ රජය මේ කාරණය බොහෝ කාලයක පටන් වටහා ගෙන තියනවා. ප්‍රංශයේදී අපිට ලැබෙන නිදහස හොලිවුඩ් පුරයේදී ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් චිත්‍රපටයේ අවසන් පිටපතේ (Final Cut ) වගකීම අධ්‍යක්ෂවරයට ලැබෙන්නේ නැහැ. ප්‍රංශයේ තත්වය වෙනස්; මේ නිසයි අපේ වැඩි දෙනෙක් හොලිවුඩ් යන්න අකමැති.
මගේ රටේ එනම් ශ්‍රී ලාංකික අධ්යක්ෂවරයෙක් ගෙන් චිත්‍රපටයක රගපාන්න ආරාධනාවක ලැබුනොත් ඔබ එය භාර ගන්නවද...
මට වැදගත් වන්නේ අධ්යක්ෂවරයාගේ ජාතිය හෝ ආගම නොවෙයි. තිර රචනය පමණයි වැදගත් වන්නේ. ඒ වගේම මම කලින් කිවා වගේ ඔහුගේ පෙර නිර්මාණ ගන්ත දැන ගත යුතුයි. එහෙම අවස්ථාවක් ආවොත් ඔබලාගේ මව් භාෂාව ඉගෙන ගන්න උනත් මම සුදානම්.
මංජුල සේනාරත්න
16/08/2018
පැරිසියේ සිට
(උපුටා ගැන්මකි)