බටහිර සිනමාවේ මහා සිනමාකරුවෙකු වන ඇල්ෆර්ඩ් හිච්කොක් වරක් ප්‍රකාශ කළේ, නළු නිළියන් යනු 'පණ ඇති රූකඩ' බවත්, එම රූකඩ නිර්මාණාත්මකව හැසිරවීම, සිනමාකරුවන්ගේ කාර්යභාරය බවත්ය...
එහෙත් අපේ නළු නිළියන් අධිනිශ්චය වී, රූකඩ රාමුවෙන් එළියට පැමිණ වීර සෙයියාවෙන් අභිෂේක ලබනවා පමණක් නොවේ; මේ වීරකම් උඩ දමා පාර්ලිමේන්තුවට පවා ගොස් ව්‍යාවස්ථාදායක වැඩ වලට පවා හොට දමන්නෝය...!
මේ අතර රූකඩයාගේ කාර්යභාරය අඩුවක් නැතිව, නිවැරදිව සිදු කළ සැබෑ නළුවෙක් පසුගිය දා ජිවිතයෙන් සමුගත්තා. ඔහු ජේ. එච්. ජයවර්ධන. මිය යන විටත් සැබෑ රූකඩයෙක් යන අයිඩෙන්ටිටිය පමණක් ඔහුට තිබුණ නිසා ඔහුගේ මරණය මාධ්‍ය කාලගෝට්ටියක් බවට පත් වුණේ නෑ. මාධ්‍ය කිහිපයක පළ වූ පුංචි මුද්දර ප්‍රමාණයේ හුදකලා පුවත් කිහිපයකින් අනතුරුව අපි ජේ.එච්.ව වළලා දමා අත්දෙක පිහිදා ගත්තා.
සිංහල සිනමාවේ චිත්‍රපට විසි හයකට ජේ. එච්. දායක වෙනවා. ඔහු කැමරාව ඉස්සරහා මුලින්ම රූකඩයෙක් බවට පත් වෙන්නේ 1953 වසරේ "එදා රෑ" චිත්‍රපටියෙන්. ඉන් පසුව ධර්මසිරි බණ්ඩාරනායකගේ, පතිරාජගේ, එච්.ඩී. ප්‍රේමරත්නගේ, ටයිටස් තොටවත්තගේ චිත්‍රපටි වල නිත්‍ය සාමාජිකයෙක් වෙනවා.
ජේ. එච්. යනු නළුවෙක් නොහොත් රූකඩයෙක් නිසා ඔහුට අනන්‍යතා අර්බුද අදාළ වෙන්නේ නෑ. ඒක නිසා ඇගේ වෛරය, ජුරිය ඔබයි වගේ චිත්‍රපට වලත් ඔහු රගපානවා.
ආර්. ආර්. සමරකෝන් තමයි ජේ. එච්.ව නිවැරදිවම අල්ලගන්නේ. එහෙමත් නැතිනම් ආර්.ආර්.ගේ කැළණි පාලම වේදිකා නාට්‍යයේ මැම්බර් මහත්තයා ගේ චරිතය නිසා ජේ.එච්.ට නළුවෙක් කියන සිවිල් අයිඩෙන්ටිටිය හම්බවෙනවා. ජේ.එච්.ට තියන අමුතු උච්චාරණ විලාශය නිසා ඔහු විචාරකයින් ඔහුව හඳුන්වන්නේ අධි තාත්වික රංගන ශිල්පියෙක් විදිහට. ඒත් ජේ.එච්. ගේ මිතුරන් නම් කියා සිටින්නේ ඔහුගේ මේ අධි තාත්වික රංගනය සහ ඔහුගේ සැබෑ ජීවන විලාසය අතර ඇත්තේ ඉතා අල්ප වෙනසක් බවයි.
ජේ.එච්.ගේ අධි තාත්වික රංගන විලාසය සහ කටහඬට නිල නොවන පේටන්ට් බලපත්‍රයක් මේ කාලයේ ඔහුට ලැබෙනවා. ඒත් ජේ.එච්. යනු කැමරා ඉදිරිපිට රූකඩයෙක් වී, අඩියක් පුඩියක් ගසා ගෙදර යන සරල ප්‍රාණියෙක් නිසා ඔහුව වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ක්‍රමානුකුලව විකිණෙන්නේ නෑ. ඔහුගේ තරුණ කාලයේදී ඔහු රඟපාන චරිත ප්රතිනිෂ්පාදනය කොට වෙළෙන්ඳන් බඩු විකුණන අතර ඒ නිසා ඔහුගේ සාක්කුවට එබෙන අමතර මොණරු කොළ ඇසුරු සැනින් මිතුරන් අතර දියවෙන මධු සාද බවට පත් වෙනවා.
අමරබන්දු රුපසිංහලා ගුවන්විදුලියේ රජ කරන කාලයේ ජේ.එච්. ගුවන්විදුලියට ගොඩවදිනවා. ඊට පස්සේ මොණර තැන්න ගුවන් විදුලි නාට්‍යයේ රජ්ජුරුවෝ චරිතයට හඬ කවනවා. ඊට පස්සේ ජේ.එච්.ගේ අමුතු උච්චාරණය ගම්දනවු වල ආයෙත් රැව් පිළිරැව් දෙන්න පටන් ගන්නවා. මේ අසූව දශකයේ. ඒත් ජේ.ආර්.ගේ දේශපාලනය විසින් හදිස්සියේම අමරබන්දුව ගුවන්විදුලියෙන් එළියට දැම්මම ජේ.එච්.ගේ ගුවන්විදුලියේ රජකම නැතිවෙලා යනවා.
නිහාල් සිල්වා වගේ අය ප්‍රේමදාස දේශපාලනයත් එක්ක ඒ කාලයේ නාට්‍ය කලාවේ අයිතිකාරයෝ වෙනවා. එතකොට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්නේ සුගතපාල ද සිල්වා වගේ අය. සුගත්ලා, රන්ජිත් ධර්මකීර්තිලා, ජේ.එච්. ගේ මීවිත - හිත මිත්‍ර සගයන්. ඒත් සුගත්ලා කලාවෙන් දේශපාලනය කරන කොට ජේ.එච්.ලා උදාසීනව ඉන්නවා. එහෙමත් නැතිනම් වේලාසනින් ගෙදර ගොස් නිදිය ගන්නවා. ඒ තමයි ජේ. එච්.
එක දවසක ජේ.එච්.ගේ ගෝලයෙක් වගේ යාළුවෙක් රතුපාට දේශපාලනයේ පන්ති පහටම සහභාගී වෙලා ඔලුගෙඩිය පුරවාගෙන ජේ.එච්. හම්බ වෙන්න එනවා. ගෝල යාලුවා තෙල බෙදන්න පටන්ගන්නවා. පිළිතුරු විදිහට ශුද්ධ සිංහල වචන අහුරක් ජේ.එච්.ගෙන් හම්බ වෙනවා.
"මං හොද ලිබරල් මිනිහෙක් බං..." ජේ. එච්. විහිළුවට වගේ කියනවා.
ඒත් ඒ විහිළු අස්සේ සුන්දර, නොකිලිටි මිනිහෙක් ඉන්නවා. ඒ තමයි හරිම නිදහස් ඇසකින් ලෝකය දකින ජේ.එච්...!
ඒත් ඒ නිදහස් ඇස වසර 1997 දී නොපෙනී යනව. එහෙමත් නැතිනම් ග්ලුකෝමා රෝගය හැදිල ජේ.එච්. ගේ ඇස් දෙකම අන්ධ වෙනවා. ඒ එක්කම මේ දක්ෂ රූකඩයා රඟහලෙන් බැහැල යනවා. එතැන් සිට ඔහු ලෝකය දකින්නේ තම දයාබර බිරිඳ සහ දරුවන්ගේ ඇස් වලින්.
ජේ.එච්.ගේ සමකාලීනයින් බොහෝ දෙනෙක් මේ වෙනකොට ජිවිතයෙන් සමුඅරගෙන. එහෙමත් නැතිනම් ජේ.එච්. දෑස පියාගෙන ඉන්න කාලේදී වීරයෝ වෙලා එක එක අයිඩෙන්ටිටි වලට මාරු වෙලා. එහෙමත් නැතිනම් විවිධ කඳවුරු වල දේශපාලකයින්ගේ දෑත ශක්තිමත් කරන්න ගොස් හිකනල්ලු වගේ දැපනේ වැටිලා. මේ සියළු විසුක දස්සනයන් නොබලන්නට දැස පියාගෙන ඉන්න තරම් එක අතකට ජේ. එච්. වාසනාවන්ත වුනා.
ඔහු දෑස පියාගෙන ඉන්න අවදියේදී ඇස් අරගෙන සිටි මිනිසුන් බොහෝ දේවල් කරන්න පුරුදු වෙලා ඉන්නවා. වේදිකාවෙන් බැස යන්න සුදානම් වෙලා ඉන්න සැදෑ සමයේ කලාකරුවන් කල්ලිවාදින් හෝ දේශපාලකයින් විසින් උපහාර උත්සව නාමයෙන් වේදිකා මතට දක්කාගෙන විත් කයිවාරු ගසා අනතුරුව අධෝමුඛයට පයින් දෙකක් ඇන පැත්තකට කරවීමේ "පාපයට" හසු නොවීමට ඇස් වසාගෙන සිටිය ජේ.එච්.ට පුළුවන් වෙනවා.
දක්ෂ රූකඩයෙක් ලෙස කැමරාව ඉස්සරහට ආපු ජේ.එච්. ජිවිතයෙන් සමුගෙන යන විට තම අයිඩෙන්ටිටිය විතරක් නෙමෙයි ආත්මය පවා රැකගෙන ආපසු යන්න යනවා.
ජේ.එච්. ජිවිතයෙන් පැරදුනත්, ඔබ දිනුම්!
Sarada Samarasinghe | සරද සමරසිංහ
(මුලාශ්‍ර තොරතුරු අරුණ පෙරේරා මහතාගෙනි.)