`උතුරා යන්න ගඟ මම කැමති පොකුණට` තුෂාරිකා පුදන්නෙ සංජීවට. ``මේ මෙතන කවුරුත් නැද්ද?`` අහපු, උත්තරයක් දෙන්න කළින්, 140 බස් එකේ තුෂාරිකා හිටපු සීට් එකේ අනික් පැත්තෙන් වාඩි වුණු, ``දිගටම මෙහෙමම යමුද?`` කියලා අහපු, උසස් පෙළ පන්තියේ සිටි සංජීවට.
ඒ ඔක්කොට ම කළින් කියන්නට ඕන, මම මගේ කතාව ලියාගෙන ආවේ. මේ පොතේ කවි, මගේ නිසොල්ලාස සිතුවිලි එක්ක හාමු කරලා, එයින් ටිකක් අරන් ඔබට පිරිනමන්නට, සභාවෙන් අවසරයි. මං දැන් ෆුට්බෝඩ් එකට ගොඩ වෙන්න කැමැතියි. 140 බස් එකේ නෙමෙයි, කවිපොතේ.
``මා සහ මා අවට අවකාශයේ නිතර පාවුන, නමක් දිය නොහැකි ඒ සුසුම්, හැඟුම්,වේදනාව හා සිනහව පිටකරගන්න මගක් හොයන වෙලාවක කවිය මට මුණ ගැසුනා වෙන්න ඇති.``
එහෙම කියන්නෙ Thusharika Anthony. ඒ, මේ පොතේ වදනක් යන නමින් ඇති සටහනේ මුළින් ම ඇය ලියපු වාක්‍යය. තුෂාරිකාව මට භෞතිකව මුණගැහෙන්නෙ අද. ඊට කළින් අපි කතාකරල තිබුනේ ටෙලිෆෝන් එකෙන් විතරයි. ටෙලිෆෝන් එකෙන් විතරක් කතාකරපු - භෞතිකව මුණනොගැහුණු තුෂාරිකාව, මට නිශ්චිතව මුණගැහෙන තැන තමයි, අන්න ඒ කළින් කියපු වාක්‍යය. මම ඒ වාක්‍යය ආයෙමත් කියන්න ද ? එතකොට ඔබට පහසු වේවි අපේ මුණගැසීම තේරුම් ගන්න.
``මා සහ මා අවට අවකාශයේ නිතර පාවුන, නමක් දිය නොහැකි ඒ සුසුම්, හැඟුම්,වේදනාව හා සිනහව පිටකරගන්න මගක් හොයන වෙලාවක කවිය මට මුණ ගැසුනා වෙන්න ඇති.``
මනුෂ්‍ය ජීවිතයේ සාමුහික සහ කේවල සංවේදනාවන් හකුළුවා කැටි කොට ඉක්මනින් මුදාහළ හැකි පොහොසත් ම විදිහ, කවිය යැයි සිතන මමත්, ``උතුරා යන්න ගඟ මම කැමති පොකුණට`` කියා කියන තුෂාරිකාත් මුළින් ම මුණගැහෙන තැන අන්න එතැන.
මේ පොත කියවන්න කළින්, කිසිදා නොදුටු, එහෙත් මුණගැසී තිබෙන Rasika Gunawardana විසින් පොතේ පසුපිට වෙනුවෙන් සම්පාදනය කරනු ලබන සටහනේ එක තැනෙක, මෙන්න මෙහෙම තිබෙනවා.
``ඇය ගැහැණියකි. ඇගේ කවි ද ගැහැණු කවිය. මෘදුය. තියුණුය. ශෝකයක් තැවරී ඇත.``
ඉතින් මෙන්න මේ සටහන් කියැවීමෙන් පසු, මම පොත කියවන්න පටන් ගත්තා. මේ පෙරවදන් පසුවදන් සත්‍යදැයි සොයා බැලීමේ ලෝභයක් - උවමනාවක් මා තුළ උපන්නා. ඒ උවමනාව - ඒ ලෝභය උපන්නේ, එතරම් සාමකාමී ලෙස නොවෙයි. ඇත්ත ම කියනවානම්, රසිකා ගුණවර්ධනගේ වචන එක්ක පොඩි රණ්ඩුවක් කර කර මම හිටියේ.
තුෂාරිකා ගැහැණියක් බව ඇත්තයි. ඒත් ගැහැණු කවි කියා ජාතියක් තියෙනව ද ? එතකොට පිරිමි කවි කියා ජාතියකුත් තියෙනව ද ? ඒවා මෘදු නැද්ද ? තියුණු නැද්ද ? ඔන්න ඔය වගේ මානසික රණ්ඩුවක් කර කර මම පොත කියවන්න පටන් ගත්තා.
ඔබ දන්නවද ? පොතේ පළමුවැනි කවිය කියවද්දි ම මගේ තර්කය ටිකක් සසල වුණා. කවියෙ නම, නිති පරීක්ෂණ. කවිය මෙන්න මේකයි.
කඩා වැටෙන විට අහසක හිස
නිති පරීක්ෂාවට
සිනහ වතකින්
පොළොව පිරිනමනවාදැයි තම උරහිස..
ඉතින් ඔන්න ඔහොම, තුෂාරිකා පරීක්ෂණය පටන් ගන්නවා. එතැනදී ඈ ඇගේ දැක්මේ පදනම නිරාවරණය කරනවා. අහස පොළොවට වාරුවෙන බව, පොළොව අහසට උරහිස පිරිනමන බව, ඇය විශ්වාස කරන බව පේනවා. පණ්ඩිතමානි න්‍යායන් වලින් ඇයව තලන්න මට උවමනා නැහැ. මිතුරියකගේ අවංක ආස්ථානයක් ලෙස මම එය පිළිගන්න කැමතියි.
හැබැයි, ආදරය කියන්නේ එක්තරා පරීක්ෂාවක් ද යන සැකය, පටන් ගැන්මේදී ම ඇය අපගේ අතමිට මොළවනවා. ඔහ්හ්.. එතකොට අපි මේ එකිනෙකා පරීක්ෂා කරමින් ද ඉන්නේ ? එහෙම නැත්නම් ගැහැණු කවි නිසා ද අපට මේ දුක ? රුපියල් සත නිසා ද අපට මේ දුක ? බස්වල එහෙමනෙ ගහල තියෙන්නෙ. හිතුවේ ලස්සන දවසක්. ඒත් සැමදා මහමග. ඒක ද ආදරයේ තේමා පාඨය ?
එහෙම හිතනකොට, පා පුවරුවෙ නොසිට ඔබ ඇතුළට යන්න කියල විල්බට් අඹතලාව කියල තියෙනවා කියල මට මතක් වුනා. අපි බස් එකේ යන ගමන් කවි පද හිතේ අලවගන්නවා. ඒත් විල්බට් අඹතලාවගෙ කවි බස් එකේ අලවල තියෙනව. හොඳයි, දැන් මම කැමැතියි, ෆුට්බෝඩ් එකෙන් පොත ඇතුළට රිංග ගන්න.
තුෂාරිකා ඇතුළේ ඉන්නවා. ``මේ, මෙතන කවුරුත් නැද්ද`` කියල අහල ළඟින් වාඩි වුනේ නම් නැහැ. මම තුෂාරිකාව පේන මානයේ ඉඳල පොත කියවන්න ගත්තා. තුෂාරිකා ලියපු කවි කියවන්න ගත්තා. කවි ලියපු තුෂාරිකාවත් කියවන්න ගත්තා.
පොතේ දාහතරවෙනි පිටුවේ, තුෂාරිකා ප්‍රශ්නයක් අහනවා, ``නැවත හමු වෙමුද ?`` කියල.
වසර ගණනකට පසුව
අපට අප හමුවිය හැකිද
දුරක ගොස් සිට නොව
එකම වහලක සෙවණේ වුව
මහාද්වීපයක් අභිමුඛව
අප වටව ඇති දූපත් සැමම
තරණය කර නිසැක
හමු විය හැකි වනු තිරය
පුස්තකාලෙදි දුටු මුල් දසුන
බස් එකේ දුර ගමන`තර
ඇදුන කාන්දම් කැල්ම
පන්තියේ කොනකදී
හදිසියේ දුටු හසරැල්ල
දවසම එක තැනය අප නමුදු ආගන්තුකය
දවසටම දෙපාරකට වඩා හිනා දීම පාපීය
බස් එකේ යනෙනා`තර අතින`ත වදිනු හැකිය
අත හනිකට අහකට ගැනුම උගත් හැදුණුකමය
තිරය මත නෙත දිය කෙරුම අනවැසිය
කෙටි පණිවිඩ දහයකටම එක පිළිතුර ඇතිය
එවිට,
මටසිලිටි සුසුමක වෙළී
සුව මතක මඳනලක ඇලී
මවයි සිහිනයන්
ළඟ නොමැති නිමේෂයකදී
හරිම අලුත් විදිහට
පුදුම නැවුම් ආරට
කිසිදා යළි නොබිඳෙන්න
අපට අප හමුවිය හැකි නොවෙද
වසර ගණනකට පසු වුවද
මේ දුරක ඉඳන් නෙමෙයි අහන්නේ. එක වහල යට ඉඳන් අහන්නේ. එක ගෙදර එක වහල යට ඉඳන් අහන්නේ. මේ තමයි පොතේ දෙවැනි කවිය. පළවෙනි කවියේ පරීක්ෂාවත් මේ කවියත් අතර සම්බන්ධයක් තියෙනවද ? නැද්ද ? මම මගෙන් ම අහනවා. ජීවිතය මහ පුදුම දෙයක්. කාලයක් යද්දි රිෆ්‍රෙශ් බට්න් එක වැඩකරන්නෙ නැතුව යනවා. එතකොට දුරස් වෙනවා.
එක පැත්තකින් පරීක්ෂාවන්. අනෙක් පැත්තෙන් දුරස් වීම්. දුරස්වීම් පිළිබඳ වේදනාවන්. වේදනාවන් නිසා නැවත හමුවෙන්න තියෙන ආශාවන්. නැවත හමුවෙද්දී යළි යළි කෙරෙන පරීක්ෂාවන්. අප මේ ගෙවන යුගයේ, ප්‍රේමය විෂයයෙහි සැබෑව, මේ කවි දෙකෙන් විතරක් ම වුනත් - මේ ගැහැණු කවි දෙකෙන් විතරක් ම වුනත් හඟවන්න පටන් ගන්නවා. රසිකාගේ පසුවදනේ ප්‍රකාශය ශක්තිමත් වෙනවා. මගේ තර්කය පසු බහිනවා. ඔව් මේ කවිවල ගැහැණුකම දැනෙන්න පටන් ගන්නවා.
මම ඊළඟට කියවන්න හදන තුන්වැනි කවිය, එක්තරා විදිහකින් පළමු කවි දෙකේ පරිපාකයක්.
මුහුදක වතුර ළඟ තියන්
රේල් පාරක් පිච්චෙන තරම්.
ඒ කවියෙන් අපට අපේ ලිපිනයන් අහිමි කරනවා. සිංහලෙන් ම කියනවනම් ඇඩ්රස් නැති වෙනවා. ඒකට පළමු හේතුව තමයි, අර පළමු කවි දෙකේ හැප්පිල්ල, පිපිරුමක් දක්වා ගේන එක. පරීක්ෂාවන් සහ දුරස්වීම් අපව පුච්චා දමනවා.
අනික, මේ රූපක දෙක, චිරාත් කාලයක් තිස්සේ ප්‍රේමය විමසන කවිවල යොදාගත්ත රූපක දෙකක්. හැබැයි වෙන වෙන ම.
මුහුද එක්ක ප්‍රේමය සම්බන්ධ කරලා මොනතරම් කවි ලියැවිලා ඇද්ද ? රේල්පාර එක්ක ප්‍රේමය ගැටගහලා මොන තරම් කවි ලියැවිලා ඇද්ද ? එකක් සොබා දහමේ නිර්මාණයක්. අනික මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ යාන්ත්‍රික නිෂ්පාදනයක්. මේ දෙක ම - මුහුදත් රේල් පාරත් වෙන වෙන ම සමෝසමව ඕන තරම් කවිවලට ගන්න ඇති. හැබැයි මේ හැප්පිල්ල රිදෙනවා. ඒ නිසා ම දැනෙනවා.
මුහුදක වතුර ළඟ තියන්
රේල් පාරක් පිච්චෙන තරම්.
මේ පිච්චෙන්නෙ ගින්දරෙන්. ඒ ගින්දර උපදින්නේ ආදරෙන්. ජීවිතේ ගින්දර උපද්දන්නේ ආදරේ. ආදරය රත්නපුර වගේ කියල Chamal Akalanka Polwaththage කිව්වට, මට හිතෙන්නෙ, ආදරය යාපනය පුස්තකාලය වගේ. පිච්චුනොත් ප්‍රතිසංස්කරණය කරන්න කාලයක් යනවා. ප්‍රතිසංස්කරණය කළත් අර පරණ පොත් කොහෙන් හොයන්න ද ? දශක ගාණකට පස්සේ, හිත හදාගන්න විතරයි වෙන්නේ. පිච්චුවා නේද කියන මතකය, කාලයක් යනකං හදවත රිද්දනවා.
එතකොට ජීවිතය ? ජීවිතය මොකක් වගේ ද ? ජීවිතය හරියට බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ කෞතුකාගාරය වගේ. පිච්චුනොත් පිච්චුනාමයි. මොකද, කෞතුක භාණ්ඩ කියන ඒවා හදන්න බෑ. ලංකාවෙ නම්, අලුතෙන් හදන ඇන්ටික් බඩු තියෙනවා. ඒවා හොඳයි පරණ බඩු ගැන නොදන්න අයව රවට්ටන්න. හැත්තෑව දශකයේ ඉපදිච්ච අපිව රවට්ටන්න ටිකක් අමාරුයි. මොකද අපි පරණ බඩු ගැන දන්නවා.
ඔව්. ඉතින් අපි කතාකරමින් හිටියේ ගින්දර ගැන. දහසයවෙනි කවියෙන් තුෂාරිකා කියනවා, `එවිටත් ලැව්ගිනි පැතිරීම පටන් අරගෙන තිබුණා` කියල. ගූගල් ඉන්පුට්ස් ටූල්වල ලැව්ගිනි කියල ටයිප් කරනකොට ලව්ගිනි කියල ඔප්ෂන් එකකුත් එනවා. හරි එක සිලෙක්ට් කරගන්න ඕන, නැත්නම් ඔය දෙක මාරුවෙන්න පුළුවන්. හරි එක කියල මං කිව්වේ, නිවැරදි ඔප්ෂන් එක. හොඳයි, මම ඒ කවිය පොඩ්ඩක් කියවන්න ද ?
පටන් ගන්නා විටම එ`දවස
ලැව්ගිනි පැතිරීම
පටන් අරගෙන තිබුණා...
හිරු අතට පෙරළි පෙරළී සිනා දුන්
නෙලුම් මල් පිපි පොකුණු සීසා
වැසි නියඟ ගොඩ කර
නැඟෙන තුරු කන්දක් පාසා
පුංචි පැළ උන්නෙ ඉවසා
අලුතෙන්ම වැඩෙන විට දැනෙන
සිනිඳු පත්වල මුදු බවක සහන
හෙට ඇවිත් `මුදු බවට` අද තිබෙන
ආයුබෝවන් කියන බව නොදැනෙන
ඉදින්
තව තවත් මෘදු සිසිලසට නතු විණ
ගිනි අරන් දැවිලාම ගියොත් මිස
අර්ධයක් දැවි දැවී දැවෙනු කිම
අළු වෙලා පාවෙලා යන්නැයි
ඇතිතරම් ළය පැළෙන දුක් හඬ
කඳු සිසාරා පතන්නට විණ
කවියකින් ලියා දුන් හඬමින්
කාගෙදෝ ඒ පුරුදු හඬකින්
යළි යළිත් එ`හඬ ඇසී නෑසෙන
කඳු පන්තියම පසුකර ඇවිත් එකින් එක
ඉගිළ ගොස් එය බොහෝ ඈතක
කවදත් `රඳවා` ගන්න කන්දක්
`සුළං හින්දා` ගනී බොහො වෙහෙසක්
හව්හරණ නැති මේ මහා කඳු උඩ
හිතුමනාපෙට වැඩුණ දලුවල
ළපටි සිතුවිලි අන්දා
ගින්න එනු ඇති පණිවිඩය
නොඇසෙන්න
කන් වසාගන්නැයි කිව්වා
එනමුදු
පටන් ගන්නා විටම එ`දවස
ලැව්ගිනි පැතිරීම
පටන් අරගෙන තිබුණා
නිති පරීක්ෂාවෙන් පටන් අරගෙන, නැවත හමු වෙමුද කියා අහන්නට සිද්දවෙන දුරස් වීම ළඟ, මුහුද ළඟ තියාගෙන රේල් පාර පිච්චෙන්න පටන් ගන්නවා. හව්හරණ නැති මේ මහා කඳු උඩ - පටන් ගන්නා විටම එ`දවස ලැව්ගිනි පැතිරීම පටන් අරගෙන තිබුණා.
ඊළඟට, පොඩි සප්‍රයිස් එකක්. ගිනි අරන් දැවිලාම ගියොත් මිස අර්ධයක් දැවි දැවී දැවෙනු කිම කියන තුෂාරිකා, විසි එක්වැනි කවියෙන් කියනවා, `ගිනි බැහැ ඕන නම් සීතල` කියල. ලැව්ගිනි පැතිරීම පටන් අරගෙන තිබුණා කිව්වට, දැන් කියන්නෙ `ගිනි බැහැ ඕන නම් සීතල` කියලයි.
ඉතාම දෛවෝපගත විදිහට මේ පොකුණ යටින් ගිනි සීරාවක් එනවා. මම කැමැති පොකුණට ගඟ උතුරා යනකොට, ඒ දිය යටින් තුෂාරිකා ගින්දර ගෙනියන හැටි හරි අපූරුයි. දිය යටින් ගින්දර ගෙන යාම සාධාරණීකරණය කළ හැක්කේ, සාහිත්‍යයේදී සහ දේශපාලනයේදී පමණයි මම හිතන විදිහට. ඔව් ඉතින් මේවා ගැහැණු කවි නොවෙන්නෙ කොහොමද ?
අපි ඒ කවියත් පොඩ්ඩක් කියවමු. දැන් මම බස් එකෙන් බහින්න ළඟයි.
ඒ ගින්න තැබුමට කම්මැලියි මට
නිනව්වක් නැතිවම ඔබ ඉල්ලුවට
ඔබට ඕනෑම නම්,
සීතල කවියකින් එය මඳ ගින්දරක් කර
අල්පෙනෙති අකුරක් එවන්නම් ඉඳහිට
ගින්දරම ඉල්ලා
මා නොපෙළනු මැන දිගින් දිගටම
කවුළුවෙන් කඳුළු පළා ගොස් හිමිසඳ
සිනහවක් නිසොල්මන් මුදු සුළඟ ඉස ඉස
බුර බුරා එන මතක ඉන්ධන මැදද
විකල් වූ නව දැවීමක කැළැල්
නැවත කිසිදා ඔබ දකිනු නැත
ඉදින් අතෑරපු යමක් දවනට
දිනෙක තව යළි සිතුම් ඒවිද
ගින්දරම ඉල්ලා
මා නොපෙළනු මැන දිගින් දිගටම
ඒ ගින්න තැබුමට කම්මැලියි මට
මිනිස්සු මුළින් ම හොයාගත්තේ ගින්දර හින්ද ද මන්දා, භෞතිකවත් අධ්‍යාත්මිකවත් ගිනි අවුලන්න මිනිස්සු හරි දක්ෂයි. මෙන්න මේ ජීවිතේ ගින්දර, තුෂාරිකා පොකුණේ තැන්පත් කරන හැටි කදිමයි.
කෙසේ වෙතත්, මා නිදසුන් ලෙස යොදාගත්තේ මේ පොතෙන් කවි පහයි. මා කම්පනය කළ ඒ කවි පහ දිගේ තුෂාරිකා කැමැති පොකුණට ගඟ ගලන බව මගේ විශ්වාසයයි. ඔව් මට දැන් තේරෙනවා, ඒ වගේම මම පිළිගන්නවා, ඒ තමයි, ගැහැණු කවි. ගැහෙන කවි. රසිකා හරි. මට නැවත හිතන්න වෙනවා. එහෙම හිතන ගමන් මම බස් එකෙන් බහින්න හදන්නේ.
ඊට කළින්, ෆුට් බෝඩ් එකේ ඉඳන් කියන්න දෙයක් තියෙනවා, ගැහැණු කවි මෘදුයි. තියුණුයි. ශෝකයක් තැවරී තිබෙනවා. පිරිමි කවි මෘදු නැතිව ඇති. තියුණු නැතිව ඇති. ඒත් කාටද කියන්න පුළුවන් ඒවායේ ශෝකයක් තැවරිලා නැහැයි කියල.
ස්තුතියි. මම කිව්වේ මට දැනෙන දේ. උතුරා යන්න ගඟ, ඔබ කැමති පොකුණට !
විමල් කැටිපේආරච්චි