රටක සිනමාව යනු හුදෙක් ලාබ උපයන කර්මාන්තයක් පමණක් නොවේ. එය රටෙහි අනන්‍යතාව සහ අභිමානය පිළිබඳ සලකුණක් ද වෙයි. නොබෝදා 70 වයස් සැපිරූ සිංහල සිනමාව ද රටට ජනයාට බොහෝ දේවල් දිනා දී තිබේ.
එනමුත් වර්තමාන සිනමාව තිබෙන්නේ නම් බරපතළ අර්බුදයක ය. සිනමාපට නිෂ්පාදනයේ, බෙදාහැරීමේ, ප්‍රදර්ශනය ආදී සියලු ක්ෂේත්‍ර අවුල් වියවුල් ජාලයක වෙළී ඇත. මේ තත්වය විසඳීම මෙරට බලයට පත් වූ සියලුම ආණ්ඩු පාහේ මැතිවරණවල දී ජනතාව වෙත දුන් පොරොන්දුවකි. එය මෙතෙක් ඉටු නොවුණකි. එසේ ම සිනමාව ගැන දන්නා කියන අය පවා අදාළ තැන්වල වගකීම් දැරුවද සිනමාව මේ වැටී ඇති ආගාධයෙන් ගොඩ ගන්නට කළ දෙයක් නැත. සිනමාව වැටී තිබෙන මේ ජරාජීර්ණ තත්වය නිසා මෙරට සිනමාකරුවන් සිනමාපට නිර්මාණය කිරීමෙහිලා සිටින්නේ පසුබාන තත්වයක ය. විදෙස් සිනමා උළෙලවල සම්මාන ලැබූ සිනමාපට පවා මෙරට ප්‍රදර්ශනය කරන්නට ඉඩහසර නැත්තේ ප්‍රදර්ශනයේ පවතින වියවුල්සහගත තත්වය නිසා ය. අප දන්නා පරිදි සමහර සිනමාපට ප්‍රදර්ශනය කෙරුණේ නිපදවා දශකයකට වඩා කල් ගත වූ පසුය.
මේ තත්වයට විසඳුම් ගෙනා යුත්තේ ජනතා බදු මුදලින් නඩත්තුවෙන ආයතනයක් වන ජාතික චිත්‍රපට සංස්ථාවයි. නමුත් මේ කිසිදු ගැටලුවක් විසඳීමට ඔවුන් උත්සාහයක් හෝ ගන්නවා පෙනෙන්නට නැත.
අනෙක් අතට මේ ගැටලුව අරභයා විවිධ ආයතන, පුද්ගලයින්, සංවිධානය මැදිහත් ව තිබුණ ද වැඩක් වී නැත. පසුගිය කාලයේ පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිවරයා වෙත භාර දී තිබුණ ද සිදුවුණු කිසිවක් නැත.
තත්වය මෙසේ තිබිය දී මෑතක දී පත් වූ සංස්කෘතික ඇමැතිවරයා සිය නිෂ්පාදනයක් වන ‘නිදහසේ පියා-ඞී.එස්.’ නම් සිනමාපටය ඉක්මනින් ප්‍රදර්ශනය කිරීමට වැඩකටයුතු සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ. දැනට ප්‍රදර්ශනය කෙරෙන ‘ගෝල්’ සිනාමපටය ප්‍රදර්ශනයෙන් ඉවත් වුණු පසුව එකී සිනමාපටය ප්‍රදර්ශනය කරන බව කියැවේ.
මතුවන ප්‍රශ්න කිහිපයකි. මේ සිනමාපටය විජේදාස රාජපක්ෂ සංස්කෘතික ඇමැතිධුරය ලබන්නට පෙර මෙරට ක්‍රියාත්මක වන ප්‍රදර්ශන මණ්ඩල 4ටම ප්‍රදර්ශනය කළ ද එවක දී එය ප්‍රතික්ෂේප වී තිබුණේ ය. දැන් ඒ සියලු මණ්ඩලවලට ඔහුගේ සිනමාපටය හොඳ වී ඇත්තේ ඔහුගේ සංස්කෘතික ඇමැති පට්ටම නිසා ද?
එසේ ම, ඉතා මෑතක දී නිෂ්පාදනය කෙරුණු ඇමැතිවරයාගේ මේ සිනමාපටය ප්‍රදර්ශනය කරන්නට සූදානම් වන්නේ කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව ය. මෙයට පෙර නිෂ්පාදනය කෙරුණු සිනමාපට අතිබහුතර සංඛ්‍යාවක් තිබේ. ඒ අතර විදෙස් සම්මානලාභී සිනමාපට ද කිහිපයක් ඇති බව දැනගන්නට තිබේ.
‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව?’ නම් සිංහල ජන කියමන සිහිගැන්වෙන පරිදි වැඩකි සිදුවෙමින් ඇත්තේ. සිනමාවේ අර්බුදය විසඳීමේ වගකීම ගත යුතු ඇමැතිවරයාම ඒ සියල්ල පසෙක ලා කිසිදු ආචාරධාර්මිකබවකින් තොරව සිය සිනමාපටය පමණක් ප්‍රදර්ශනයට කැසකැවීම අලජ්ජි කි්රයාවක් බව නොකිවමනාය.
සිය වගකීම පසෙකලා ආත්මමූලිකව තමාගේ ගොඩ සරිකරගන්නට වෑයම් කරන සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ මේ වෑයම පරාජය කළ යුතුවා සේ ම ශ්‍රී ලාංකේය සිනමාවට ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම වෙනුවෙන් ඔහුට බල කළ යුතු ය.
සිනමාවේ සහෘදයෝ