ශක්තිමත් ගැහැණු; ශක්තිමත් මව්වරු, ශක්තිමත් සහෝදරියන්, එතකොටයි ශක්තිමත් රටක් හැදෙන්නේ. ආක්ෂේ කුමාර් පෑඩ්මෑන් සිනමා පටයේ අවසාන ජවනිකාවේ එසේ කියයි.
පෑඩ්මෑන් (Padman) ඉංගිරිසි අක්ෂරයෙන් ලියා එකවර කියවූ විට එය පද්මන් ලෙස කියවෙයි. සූර-පද්මන් යනු ස්කන්ධ පුරාණයේ ප්‍රති වීරයාය. ඔහු කාශ්‍යප සෘෂි ගේ හා සුරසා අප්සරාවගේ පුත්‍රයෙකි. ශිව පිහිට පතා දීර්ඝ වෘතයක් පුරන ඔහු දෙවියන් හා සමාන බල ඇති අසුරයෙක් බවට පත්වෙයි. ඔහුව විනාශ කළ හැක්කේ කාන්තාවකගේ සමාගමයෙන් තොරව උපදින ශිව ගේ දරුවෙකුට පමණකි. ශිව ගේ තෙවැනි නෙතින් නිකුත් වූ පුලිඟු සයකින් උපන් දරුවන් පාර්වතිය අත ස්කන්ධ කුමරා බවට පත් වෙයි. උපන්ගෙයි රණශූරයෙකු වූ ඔහු අතින් පරදින සූර-පද්මන්, ස්කන්ධවාහනය වන මොණරා බවට පත්ව ඔහුට සේවය කරයි. ස්කන්ධ කුමරු, කාර්තිකේය ලෙසද, මුරුගන් (මුරුගනාදම්) ලෙසද හැඳින්වෙයි.
ආක්ෂේ කුමාර් පෑඩ්මෑන් සිනමා පටියේ අනුකරණය කරන්නේ අරුණාසලම් මුරුගනාදම් ගේ චරිතයයි. ඔහු තමිල්නාඩුවේ කොයිම්බතෝර් හි වැසියෙකි. වෘත්තියෙන් වෑල්ඩින් බාස් කෙනෙකි. විවාහ වූ අලුත සිය බිරිඳ ඔසප් දිනයන්හි භාවිතා කරන කඩමාලු රෙදි දුටු ඔහු වෙළඳ පොලේ ඇති සනීපාරක්ෂක තුවා මිළදී ගනී. තමන් දුප්පත් නිසා මසකට වරක් සනීපාරක්ෂක තුවා සඳහා වියදම් කළ නොහැකි බව ඇයගෙන් දැනගත් පසු, ඔහු විවිධ අයුරින් මිළ අඩු සනීපාරක්ෂක තුවා නිපදවීමට උත්සාහ දරයි. එනිසාම ගමේ ද පවුලේ ද අයගෙන් කොන්වීමට පත් වෙන නමුත්, ඔහු සිය උත්සාහය අත් නොහරියි. තමා හැදූ තුවා වල කාන්දුවීම් ආදිය පරික්ෂා කිරීම පිණිස ඔහුට ඒවා පැළඳ බැලීමට පවා සිදුවෙයි. අවසානයේ සිය බිරිඳ වෙනුවෙන් පියවර හතරක් අනුව නිපදවූ සරළ උපකරණ හතරකින් වෙළඳ පොළ තත්ත්වයේ සනීපාරක්ෂක තුවා නිපදවීමට ඔහු සමත් වෙයි. දුගී කාන්තාවන් උදෙසා එම යන්ත්‍ර නිපදවා විකුණන ඔහුගේ සමාජ ව්‍යාපාරය මේ වන විට රටවල් ගණනක පැතිර ඇත. එමගින් කාන්තා කණ්ඩායම් ආදායම් උපදවති. වැඩිවිය පැමිණීමේ සිට ආර්තවාභාවයට පත්වෙන තෙක් මාස 480ක් පමණ, බොහෝ කාන්තාවෝ ඔහුගේ නිෂ්පාදනය නිසා පහසුවෙන් කාලය ගෙවති.
ආර්තවය නිසා කාන්තා දිවිය විවිධ අයුරින් අපහසුවට පත්වෙයි. කායික, මානසික හා ඇඳුම් අපහසුතා කාන්තාවන් විසින් විඳ දරා ගත යුතුය. ඒ ඔවුන් මුහුණ දෙන අපහසුතා අතරින් එකක් පමණි. පිටිසර බංග්ලාදේශයේ සිසුවියන් පමණක් නොව ගුරුවරියන් පවා ඔසප් දින වල පාසල් පැමිණෙන්නේ නැත. ආර්තව දුගී බව නිසා බ්‍රිතාන්‍යයේ ද පාසල් සිසුවියන් ඔසප් දින වල පාසැල මගහරින බව ගාඩියන් පුවත්පත වාර්තා කර තිබුණි. ආර්තව දුගී බව යනු සනීපාරක්ෂක තුවා හෝ වෙනත් උපකාරක වල අධික මිළ නිසා කාන්තාවන්ට ඔසප් කාලය තුළ, සිය දිනපතා කටයුතු වලින් ඉවත් වීමට සිදුවීමයි. ඒ ඔස්සේ ඇරඹුණු ෆ්‍රී පීරියඩ් සමාජ ව්‍යාපාරය සනීපාරක්ෂක නිෂ්පාදන නොමිළේ නිකුත් කළ යුතු යයි උද්ඝෝෂණය කරයි. ඔසප් සෞඛ්‍ය ගැටළු නිසා අපේ රටේ දැරියන් කී දෙනෙක් පාසල මගහරින්නේද, කාන්තාවන් කී දෙනෙක් රැකියාවට නොයන්නේද, ජීවන වෘත්තීය අවුල් කරගන්නේද යන්න කිසිවෙකු නොදනී.
තමන් කළ තාක්ෂණ පහසුකරණය නිසා කෝටිපතියෙක් බවට පත්වීමට හැකියාව තිබූ මුරුගනාදම් ඒ වෙනුවට තෝරාගත් මාවත වූයේ සිය නිෂ්පාදනය සමාජ ව්‍යවසායක් බවට පත් කිරීමයි. ඔහු පවසන අන්දමට ‘ හැමෝම සල්ලි පස්සේ යන්නේ, මට සල්ලි ගොඩගහන්න එහෙම උවමනාවක් නෑ’ යන්න අති ප්‍රබල පණිවිඩයකි. එනයින් ඔහු ජීවමාන මුරුගන් කෙනෙකු බවට පත්වෙයි.
සිය සමීපතමයා මසකට වරක් ඔසප් වීම නම් ක්‍රියාවකට යටත් වන බව දැන ගැනීම බොහෝ පිරිමින්ට අත්වෙන අමුතු අත්දැකීමකි. මීට විසිඅට අවුරුද්දකට පෙර මම ද එම අත්දැකීමට මුහුණ දුන්නෙමි. එදින බම්බලපිටියේ ෆාමසියකින් අත තිබුණු මුදලට සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් මිළදී ගත් අපි දෙන්නා, බස් ගාස්තු පියවා ගැනීමට බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සිට පුරහල දක්වා පයින් ගියෙමු. දැන් සමහර විට මම බිරිඳට හා දුවට සනීපාරක්ෂක තුවා මිළදී ගනිමි. ඒ අවස්ථා වලදී වෙළඳසැල් සේවිකාවන් ගේ විවිධ ප්‍රතිචාර වලට මුහුණ දී ඇත්තෙමි. අරුණාසලම් මුරුගනාදම් මුහුණ දුන් ගැටළු අනුව ඒවා නොසළකා හැරිය හැකිය.
හෂිත අබේවර්ධන