ධර්මසේන පතිරාජ සිනමා ලොවට බිහිවූයේ ඩොනල්ඩ් කරුණාරත්න නම් අතිදක්ෂ කැමරා ශිල්පියා සමඟ ය.ඒ පතී ගේ”සතුරෝ”කෙටි චිත්‍රපටයෙනි.
ෆුල්බ්රයිට් ශිෂ්‍යත්වය සඳහා සම්මුඛ පරීක්ෂණයකට සජීවීව සහභාගි වූ පතී ඉන් අසමත් උවත් “සතුරෝ” (ධාවන කාලය විනාඩි 9)උපන්නේය.සුදුකලු නෙගටිව් පටි අඩි 1000 සහ මි.මි.35 කැමරාව පමණක් තාක්ෂණය විය. රූපගතකිරීම් කෘතීම ආලෝකය නො මැතිව ස්වභාවික එළියෙන් පමණකි.
මුඩුක්කු තට්ටු ගෙදරක පඩිපෙළ බසින තරුණයෙකුට මුලින්ම ඇස ගැසෙන්නේ තඩි මීකුණකි.තරුණයා (විමල් කුමාර ද කොස්තා)යන්නේ සම්මුඛ පරීක්ෂණයකට.වෙනත් දවසක,ඔහුට ප්‍රසිද්ධ උද්‍යානයක ලී ලොවිබංකුවක විවේක සුවය විඳින, සම්මුඛ පරීක්ෂණ මන්ඩලයේ ලොක්කා ඇසගැටේ. තරුණයා ඒ ලොවිබංකුවේම කොනක වාඩිවෙන්නේ ලොක්කා අසලින් තිබෙන ඉංග්‍රීසි තොප්පියට කිට්ටුවෙන් ය.සිය දුණුපිහිය තොප්පිය ළඟම ලෑල්ලට දමා ගසන්නේ,ප්‍රාණවත් පුරුෂ ලිංගයක් වගේ ලෙලදෙන්නටය.ඊළඟ මොහොතේ ලොක්කාට පේනමානයේ ගහක මුලට චොර !චොර හඬින් වේගවත් සුලුදිය පහරක් විදින තරුණයා මහහඬින් සිනාවෙයි.එය තොප්පියක් අතැ’ති මහත්මයෙක් හා පිහියක් අතැ’ති තරුණයෙකු ගේ කතාවයි.(JBL ගුණසේකර ලොක්කා නිරූපණය කලේය).
පතී රූපගතකිරීම් සඳහා ස්වභාවික දර්ශනතල සොයාගැනීමට රුසියෙකි.ලංකා සිතියමේ පුත්තලම ලඟින් ඉන්දියානු සාගරයට ඇදුනු ඇඟිල්ලේ කොනට.....,නියපොත්තට, ඩොනල්ඩ් සමඟ ගිය පතී කල්පිටිය සොයාගත්තේ ය.”අහස්ගවුව”මිතුරෝ විනෝද සවාරිය යන්නේ එහාටය.”බඹරුඇවිත්”කතාසංකල්පය පතී ගේ දෑසට හා මසැසට නාභිගත වෙන්නේ මේ විනෝද සවාරිය රූගත කිරීමේදි ය.එහෙත් එය සාක්ෂාත් වෙන්නේ “එයා දැන් ලොකුලමයෙක්”නිම කිරීමෙන් පසුවය.
රත්නපුරේ,රත්නාදීප මුදලාලි මුණසිංහ අප්පුහාමි “එයා දැන් ලොකුලමයෙක්” පටන් ගන්නේ වෙනත් අධ්‍යක්ෂක කෙනෙක් සමඟ ය.(විජය අබේදේව) අභ්‍යන්තර ගැටලුවක් නිසා අතර මග නැවතුන එය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ විජය කුමාරතුංග ගේ මැදිහත්වීමෙන් නැවත ඇරඹුනේ අධ්‍යක්ෂක ලෙස පතීට වගකීම භාරදෙමිනි.පතී තිරනාටකය අලුතින් ලීවේය.කැමරාව හා සංගීතය කලින් කොන්ත්‍රාත් අත්සන් කර සිටි කේ.ඩී.දයානන්දට හා සරත් දසනායකට භාර විය.විජය අබේදේව තෝරා ගත් විජය/මාලිනී හා එඩී ජයමාන්න,වින්සන්ට් වාස් සමඟ දයා තෙන්නකෝන,විමල් කුමාර ද කොස්තා,සෝමසිරි දෙහිපිටිය,සිරිල් වික්‍රම ගේ සමග යූ.ආරියවිමල් හා මම ද විය.අප රඟපෑවේ සුලු චරිතය.නිශ්ශංක දිද්දෙනිය,මාලිනී ගේ බාල සොහොයුරා වූ ආනන්ද ෆොන්සේකා හා සරච්චන්ද්‍ර සමරක්කොඩි ද රඟපෑවේ ය.
සිංහල චිත්‍රපටයේ ගතානුගතික ගම වෙනුවට පතී අපිට පෙන්වූයේ යථාර්ථවාදී ගමකි.කරුණාරත්න සපුතන්ත්‍රි එනමින්ම ලියූ නවකතාවක් චිත්‍රපටයේ නිදාන කතාව විය.මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාට,(එතෙක් එම් උලෙළේදී සොෆියා ලොරේන්ට පමණක් හිමිවූ)විශිෂ්ඨ චරිත නිරූපණයට පිරිනමන ඩිප්ලෝමා සහතිකය හිමිවිය. චිත්‍රපටයේ නිෂ්පාදන හිමිකාරිත්වය පිලිබඳ උසාවියේ නඩුවක් විභාගවෙමින් තිබූ හෙයින් චිත්‍රපටය ප්‍රදර්ශනය කල නොහැකි තත්වයක් උද්ගතව තිබුනත් එවකට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.බී. නිහාල්සිංහ උන්නැහේ “එයාදැන් ලොකුලමයෙක්” රජයට පවරා ගෙන ප්‍රදර්ශනය කලේ උසාවියෙන් හිමිකාරිත්වය තින්දුකල පසු,ආදායම ඔහුට ලබාගැනීමට පුලුවන් ලෙස බැංකු ගිනුමක තැන්පත් කිරීමෙනි.
-උපුටාගත්තේ ඩබ්ලිව් ජයසිරිගේ( Wjcolumn)ෆේස්බුක් පිටුවෙනි