මේ අමන සම්බන්ධතා ඇති තාක් රටට ලැබෙන්නේ ගෝත්රවාදය මිස ප්රජාතන්ත්රවාදය නොවේ
අපේ රටේ අති බහුතරයක් එදා වේල පිරිමසා ගැනීමට මගක් නැති අසරණ දුප්පතුන්ය. ඒ බොහෝ දෙනෙකු සිතන්නේ දුප්පත් වී ඉපදුනේ පූරුවේ කරුමයකට බවය. රටක බහුතරයක් දුප්පතුන් වන්නේ සුළුතරයක් රටේ සම්පත් සූරා කන නිසා බව මේ අයට අවබෝධ නොවන්නේ ඔවුන් ආගම විසින් අන්ධභාවයට පත් කර ඇති බැවිනි. වර්තමානයේ නම් මේ සූරාකන සුළුතරය දේශපාලකයන්ය. මේ ආත්මයේ දුක් වින්දත් ලබන ආත්මයේ සැප විදින්නට නම් හැකි තරම් දාන මාන පිංකම් කළ යුතු යයි උගන්වන්නේ පන්සලයි. ඒ පන්සල බුදුන් වහන්සේ දෙසූ ධර්මය පහදා දෙන තැනක් නොව දුප්පතාගේ ඔළුව මිත්‍යාවෙන්, ජාතිවාදයෙන් පුරවන තැනයි. හැම පන්සලකම දේවාල හත අට හදාගෙන ඇත්තේ ඒ වෙනුවෙනි. තමාගේ ගැටලු විසදා ගන්නට මගක් නොමැති අසරණ දුප්පත් ජනයා බෝධිපූජාවෙන්, දේවාල කෝවිල් වන්දනාවෙන් බාරහාරවලින් පිළිසරණ සොයති. මේ අසරණ ජනයා රවටා ගත හැක්කේ ප්‍රසිද්ධියේ පන්සල් යාමෙනි. සුදු ඇදගෙන, පිරිත් කඹ අත්වල ගැට ගසාගෙන ඒවා ප්‍රදර්ශනය කරවීමෙනි. ඒ සියලු රැවටිලි මදි වූ විට ජාතිවාදය කුලවාදය ඇවිස්සීමෙනි. මේ රටේ පන්සල් වැඩි ගණනක් අසරණ දුප්පතුන් මිත්‍යාවෙන් රැවටීමේ මධ්‍යස්ථාන බවට පත්ව ඇත. කුලවාදය පටන් ගන්නේ අස්ගිරි - මල්වතු මහ පන්සල්වලිනි.
මැතිවරණවලදී මේ අවස්ථාවාදී සම්බන්ධය ඔස්සේ බහුතර දුප්පතුන් හොදහැටි රවටා ගත හැක්කේ එම දුප්පතුන්ද තම ගැටලු විසදා ගන්නට ව්‍යාජ ආගම ඔස්සේ එන මිත්‍යාවේම ගැලී සිටින බැවිනි. මහින්දගේ ඊනියා ජන පදනමේ යථාව එයයි. ඔක්ස්පර්ඩ් ඉගෙන ගත්තා යයි කියන රනිලුත් මහින්දානන්දලා ගානට වැටෙමින් දේවාල ගානේ ගොස් පලිගසන්නට පෙළඹීමේ යථාර්ථයද එයයි.
ආගම සහ දේශපාලනය අතරත් දුප්පත්කම සහ මිත්‍යාව අතරත් ඇති අමන සම්බන්ධය බිද දමන්නේ නැතිව අප සමාජයට සැබෑ ප්රජාතන්ත්රවාදය දිනාගන්නට හැකිවන්නේ නැත. ඒ සම්බන්ධතා දෙක පවතින තාක් කල් රටට ලැබෙන්නේ ගෝත්රවාදය මිස ප්රජාතන්ත්රවාදය නොවේ.
- ජයතිලක කම්මැල්ලවීර-