නිර්මාණකරුවා යනු තමන්ගේ වටපිටාවට වඩාත් සංවේදී හිතැත්තෙක්. එසේ නොවන්නෙකුට සැබෑ නිර්මාණකරුවෙක් වීම පහසු කටයුත්තක් නොවේ.
මානව සමාජයට මෙන්ම තමන්ගේ ස්වාභාවික වටපිටාවට සංවේදී වන විට ඒ ඇසුරෙන් නිර්මාණකරුවාට ස්වකීය නිර්මාණයන් සඳහා අප්‍රමාණ වස්තු විෂයන් සොයා ගත හැකිවේ ස්වාභාවිකව ඉපැදුන දිය දහරාවක්, විසල් ගසක්, දිරායන පත්‍රයක්, ඉපැරණි ගොඩනැගිල්ලක් දකින නිර්මාණකරුවා එහි ඇති මතුපිට දසුන නොව එහි යටිපෙළ අරුත සොයා ගනී. නිර්මාණකරුවාට අදාල වන්නේ ඒ යටිපෙළ අරුතයි. රසිකයාගේ ජීවන පරාසය පුළුල් කරන්නේ ඒ යටිපෙළ අරුත මතුකර දීමයි. බොහෝ දෙනා නිර්මාණයක ගැඹුර යැයි පවසන්නේ මෙයටයි. නිර්මාණයක ත්‍රිමාණ ස්වරූපය හදන්නේ ද මෙයයි.
ලසන්ත ද සිල්වා හෙවත් ලසා ගේ පළමු කාව්‍ය සංග්‍රහය වන “තුනී තුරුපත් මත ගැඹුරු ඉරි“ නිර්මාණ එකතුව කියවන විට පළමුවෙන් ඇතිවන හැඟීම වන්නේ තමන් ජීවත් වූ හැදී වැඩුන සමාජ පරිසරයට රචකයා කෙතරම් සංවේදී වී ඇත්දැයි යන්නයි. නිර්මාණකරුවාට මේ කාරණයෙන් සම්පූර්ණයවෙන්ම විනිර්මුක්ත විය නොහැකිය. එසේ වෙන සෑම විටම ඔහු වංචාකාරී පුද්ගලයෙකු බවට පත්වේ. එවැනි නිර්මාණ වලට අත්වන්නේ කෙටිකාලීන මරණයකි. “කිතුල්දෝවේ පිහිල්ල“, “නැග්රැක් හි ලයිම් කාමරයක නිවසන දරුවා“, “හතරවෙනි හරස් වීදියේ දී ය“, “හදබිම උමාවේ දියකර“,“දුම්බර නඩුව“ වැනි නිර්මාණ මෙයට අපූරු උදාහරණයෝ ය.
ලසන්ත ගේ කාව්‍ය නිර්මාණ වල දැකිය හැකි තවත් ලක්ෂණය වන්නේ ඔහු භාෂාවෙන් අත්දැකීම් සිත්තම් කිරීමට දක්වන සමත් කමයි. කවියාගේ සුවිශේෂ මාධ්‍ය භාෂාව වනවා සේම භාෂාව භාවිතා කරමින් රසිකයාගේ පරිකල්පනීය ලෝක පුළුල් කරන්නට ඔහු සමත් විය යුතුය. ලසන්ත ගේ බොහෝ නිර්මාණ වල මේ ගුණය දකින්නට ලැබේ. “මස්කඩේ ෆාතිමා“, “පැලවත්තේ දී ය.“, සන්ධ්‍යාවෙහි වර්ණ“, මේ ගුණය මනාව දකින්න ලැබේ.
ලසන්ත ගේ නිර්මාණකරනයේ අප දකින සුවිශේම ලක්ෂණය වන්නේ ඔහු සැබෑ සමාජ දේශපාලන හා ආර්ථික කාරණා මගහැර නොයෑමයි. ඔහු ඒවාට සංවේදී වේ. නමුත් හුදෙක් කඳුළු සලමින් නොසිටී.ඒවායේ ඇති සමාජ දේශපාලන ප්රතිවිරෝධතාවන් විනිවිද යයි. ඒවා සමග නිර්මාණාත්මකව ගැටෙයි. පොදු සමාජයට ද ඒවායේ අඳුර ආලොකවත් කර පෙන්නා දෙයි. “සියොත් අත්තටු සිඳුන තැන එතැන“, “දුම්බර නඩුව“, “දළු නෙලන ලිය“, “බර වැඩි මිරිවැඩි“, “හිමිසඳ අහිමි වූ ලඳ“ වැනි නිර්මාණයෝ මෙවැනි සමාජ දේශපාලන කාරණා කෙරෙහි ලසන්තගේ සංවේදී බව මොනවට කියාපායි.
ලසන්ත ගේ නිර්මාණයන් තුල අප දකින පොදු අඩු ලුහුඩු කම වන්නේ බොහෝ නිර්මාණ අවසනයේ රසිකයාගේ සිත තියුණු කම්පනයකට ලක් නොකිරීමයි. අප බොහෝ විට විශ්වාස කරන්නේ ඕනෑම නිර්මාණයක් අවසන් වන විට රසිකයා තුල තියුණු කම්පනයක් ජනිතවිය යුතු බවයි. ඒ අන් කිසිවක් නිසා නොව රසිකයා ජීවිත පරිඥානය ලබන්නේ මෙම කම්පනය මතින් සිය ජීවිතය සංස්කරණයට පෙළඹෙන බව විශ්වාස කරන බැවිනි. නිර්මාණය නිමා වුවද රසිකයා ඒ නිර්මාණය ඔස්සේ වඩා යහපත් සමාජ ජීවිතයක් යන කාරණය ලුහුබැඳ යන්නේ එවිටය.
කෙසේ වෙතත් ලසන්ත තම පළමු පද්‍ය නිර්මාණ එකතුවෙන්ම තමන් ස්ථාන ගත කරගන්නා තැන ගැන අපට උපදින්නේ ආදරයකි, ගෞරවයකි. ඒ අන් කිසිවක් නිසා නොව සාහිත්‍ය කලාව ඉටුකළ යුතු සමාජ කාර්ය අමතකව ගොස් එය හුදු විනෝදායන මාර්ගයක් බවට පමණක් ලඝු කොට එයම උත්කර්ෂයට නගන සමාජ වටපිටාවක අප සියලු දෙනා වර්තමානයේ ජීවත් වෙන බැවිනි.
# කපිල එම්. ගමගේ