බේබි හෙල්ඩර් රමණිය කාෂ්මීරයේ ඉපදුනද, ඇගේ පියා කාෂ්මීරය අතෑර සිය පවුල සමග බොහෝ දුර ගෙවා බටහිර බෙංගාලයේ කර්කශ දුර්ගාපුර් වෙත ආවෝය.
එහිදී රෝගීවු සිය මව පියා විසින් නොතකාහල හෙයින් බේබි හෙල්ඩර්ට වයස අවුරුදු 4 දීම සිය මව අහිමිවිය. කෘර පියා නිතර ඇයට පහර දුන් අතර සමහරවිටක ඔහු ඇයව නිරාහාරව තැබුවේය. එහෙත් ඇය පාසැල් ගියාය. ඒ 6 වසර වෙනතෙක් පමණි. ඇගේ අක්කාව කසාද බන්දා දුන් පියා වයස 13 වනවිටම ඇගේ පාසැල් ගමන නවතා ඇයට වඩා වසර 14 ක් වැඩිමල් මිනිහෙකුට ඇයව ද විවාහ කර දුන්නේය. 1994 දී ඇගේ අක්කා සුසිලාව ඇගේ මිනිහා බීමතින් විත් මරා දැමීය.
බේබි හෙල්ඩර් කසාදයක් කරගත්ත ද තවමත් බොහෝ පුංචි ගැහැනියකි. ඉතින් ඇයට කිසිවක් කළ නොහැක. ඇය අන්ත අසරණය. වයස 14 දි බේබි සිය පළමු දරුවාද අනතුරුව තවත් දරුවන් දෙදෙනෙක් ද බිහි කළාය. ගෙදර වියදමට මුදල් නොදුන් ඇගේ පුරුෂයා බීමතින් විත් දිනපතා ඇයට පහර දුන්නේය. කෘර ලෙස ලිංගිකව හැසිරුනේය. තම පොඩි දරුවා ඇකයට ගත් ඇය අසල්වැසි නිවාසවල බැලමෙහෙවරකම් කළේ ඉන් අනතුරුවය. නමුත් හිංසාවේ කෙලවරක් නොවු තැන සිය දරුවන් කිහිලි ගන්නා ගත් හෙල්ඩා දුම්රියක නැගී දිල්ලිය වෙත ළගාවිය.
දිල්ලියේදී ඇය සිය දරුවන් ජිවත් කරවීමට ධනවත් නිවෙස්වල මෙහෙකාර රැකියාව තෝරාගත් නමුදු ඒ හැම විටකම නිවෙස් හිමියා ලද අවස්ථාවේ ඇයව දුෂණය කළේය. අහිංසක බේබි නිවෙසින් නිවසට ගියාය. ඇය බැලමෙහවර කළ අවසාන ගෙදර මේ කතාවේ පටන් ගැන්මයැයි මම සිතමි.
එය 56 හැවිරිදි මහාචාර්ය සුබෝද් කුමාර්ගේ නිවෙසයි. ටික දිනක් ගතවු පසුව සුබෝද් කුමාර් තම අලුත් මෙහෙකාරිය බොහෝ වෙලාවක් සිය පොත් රාක්කය අසල ගැවෙසෙමින් පොත් පිහදාමින් ඒ දෙස ආශාවෙන් බලාසිටිනායුරු නිරීක්ෂණය කළේය. ඉන් පසු මහාචාර්යවරයා ඇය අතට බෙංගාලි බසට පරිවර්තනය කරන ලද තස්ලිමා නස්රීන්ගේ My Girlhood දුන්නේය. සමහර දිනවල ඔහු ඇගේ යටගිය වේදනාත්මක කතා අසා සිටියේය. ඔහු නොහැඩුවා පමණි. එක් දිනක් ඔහු ඇය අතට පෑනක් සහ පොතක් දී සිය වේදනාව ඇගේ බස වන බෙංගාලි භාෂාවෙන් එහි සටහන් කරන ලෙස ඉල්ලා සිටියේය. ඉතිං දැන් බීබීට වැඩක් තිබේ. ඇය ගෙබිම අතුගාන අතර කොස්ස පැත්තකට තබා මතක් වෙනදෑ ලියා තැබුවාය. ලුනු කපන අතරේ රෙදි සෝදන අතරේ ඇය ඒවා මතක් කළාය. අමිහිරි මතකය අත පසිදා වහ වහා සටහන් කළාය. රාත්‍රි නින්දට යනවිට ඇය මේ සියල්ල මුතුහරකට මුතු අමුනන්නාක් මෙන් එකිනෙක පෙල ගස්වා අර පොතමත කඳුලින් ගෙත්තම් කළාය. එය අවසානයේ කදුලු කතාවක් විය. එක් දිනක් ඇය සිය සටහන් පොත මහාචාර්යවරයාගේ අතට දුන්විට එය කියවා හේ විශ්මයට පත්විය. ඒ අකුරු සහ වචන පරිනත රචිකාවියකගේ සටහන් මෙන්විය. එහි ආකෘතිය මෙන්ම අන්තර්ගතයද සිත් ඇදගන්නා සුලුවිය. එය ඔහුට සිහිපත් කළේ ඈන් ෆ්රෑන්ක් ගේ දිනපොතයි. තමා සිතටනැගුනු මේ අදහස් විශ්වාස නොකළ ඔහු සිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මේ සටහන් පෙන්වා සිටියේය. එය අනර්ඝයි ඔවුහු කීවෝය. ඉතින් ඔහු ඇගේ බෙංගාලි සටහන් හිංදිබසට පර්වර්තනය කර ඊට මෙසේ නමි තැබීය. “අදුර සහ ආලෝකය” එවිට බේබි හෙල්ඩර්ගේ වයස 25 කි. ඒ පොතේ තිබුනේ ඇයට මෘගයෙකුට මෙන් සැළකු පියා ගැනත් දුෂ්ට කාමාතුර බේබදු සිය ස්වාමිපුරුෂයා ගැනත් අන්ත අසරනවූවිට ඇයව පෙරළා දූෂණය කළ විවිධ හාමිපුතුන් ගැනත් ශෝකාකුලවුත් වෙහෙසකර වුත් ඇගේ ජිවන අත්දැකීම් ගැන සටහන් පෙලකි.
දැන් ඇගේ වයස අවුරුදු 40 කි. මහාචාර්යවරයාට 70 කි. ඇගේ “අදුර සහ ආලෝකය” මේ වනවිට භාෂා 23 කට පර්වර්තනය කර ඇති අතර ලෝක ප්‍රසිද්ධ පෙන්ගුවින් පොත් සමාගම එහි ඉංග්‍රීසි පරිවර්තනයට දී ඇත්තේ
“A Life Less Ordinary” යනුවෙනි. මේ වනවිට බේබි හෙල්ඩර් ඉන්දියානු සාහිත්‍ය සංගමයේ හොදම ලේඛිකාව සම්මානයද රොටරි ජාත්‍යන්තර සම්මානයටද හිමිකම් කියන්නී ආරාධනා ලැබ සිය පොත රැගෙන පැරීසිය, ෆැන්ක්ෆර්ටි හා හොංකොන් වෙතද ගොස් අහවරය. ඉන්දියාවේ බොහෝ විශ්වවිද්‍යලවල සාහිත්‍ය සම්මානවල ඇය ආරාධිත දේශිකාවක් ද වන්නීය. මේ සියලු කීර්තිය හා යසස් මැද ඇය තවමත් මහාචාර්යවරයාගේ නිවසේ මෙහෙකාරියයි.
‘‘ඇයි ඔබ තවමත් මෙහේ වැඩකාරියක් විදිහට ඉන්නෙ ?” පුවත්පත් කලාවේදියෝ නිතර ඇසූහ.
ඒ හැමවිටම එකම පිලිතුරකි.
‘‘ ඒ මගේ ගේ මේක නිසා. මට වෙන ගෙදරක වැඩ කරන්න බැරි නිසා. මම මේ ගෙදර වැඩ නොකෙරුවොත් මට ලියන්න වචන ගලාගෙන එන්නෙ නැති නිසා ..”
ඇය මේ වනවිට තවත් නවකතා ත්‍රිත්වයක් ප්‍රකාශයට පත්කොට ඇත්තීය.
අවසාන වශයෙන් ඇගේ මේ අදහසට මා බොහෝ කැමැතිය.
‘‘ඔබ නුගත්වුවත් හොද බුද්ධිමත් මිනිසුන් ගේ ඇසුර ඔබට බොහෝ දුර යාහැකිබව කියාදෙයි”
(ඇයගේ මානසික වේදනාවන් කුණු අහුලමින් සිය දිනපොත ලියා සුප්‍රකට ලේඛිකාවක වු මාරියා කැරොලින් ඡිසස්ගේ මානසික වේදනාවෝ පැරයු බවත් ඇය විතර ශාරිරික වේදනා ලොව කිසිදු ජනප්‍රිය ලේඛිකාවක් විද නොමැති බවත් මට සහතිකය.)
සටහන - උපාලි ජයසිංහ