“ගණිකාවක් කියන්නෙ එක අතකට හඩා වැළපෙන ආත්මයක්. මේ අඩන ආත්මයට බොහෝ දුරට ඒකෙන් මිදෙන්න පවතින සමාජය ඒකට ඉඩ දෙන්නෙ නෑ. මොකද ඒ ගැහැණියව හසුරවන්නෙ පවතින ක්රමය මිසක් එයාගෙ ආත්මය නෙවෙයි.”
Antoine Fuqua ගේ '' THE EQUALIZER '' සිනමාපටය
ඇය එලීනාය රුසියානු මාෆියා කල්ලි බලහත්කාරයෙන් එක්සත් ජනපදයට ගෙන ආ ඇය රුසියානු රූමතියකි. ඔවුහු ඇයව පාලනය කරති. ගැනුම්කරුවෝ තෝරන්නේද , සපයන්නේද මාෆියා කල්ලිය විසිණි.
ඔහු රොබට්ය. පොත් ගුල්ලෙකි. සෑම සවසකම ළග ඇති අවන්හලට වැද හේ කෝපි කෝප්පයක් තොල ගාමින් පොතක් කියවයි. එලිනා ද මේ අවන්හලට වැද ගැනුම්කරුවා එනතුරු රොබට්ගේ පොතක රස විදී. මේ සැදෑවේ ඔහු කියවන්නේ අර්නස්ට් හෙමිංවේගේ ‘‘මහල්ලා සහ මුහුදය ‘‘
‘‘ එයාට තවම මාලුවෙක් අහුවුනේ නැද්ද රොබට් ? ‘‘
‘‘ නෑ කෙල්ලේ . හැබැයි දැන් ලොකු මාලුවෙක් ඔරුව වටේ කැරකවෙනවා . මිනිහට අල්ලගන්න පුලුවන්වෙයි ද මන්ද ? ඒ තරමට මාලුවා ලොකුයි එලිනා ‘‘
‘‘ හරි ඉතිරි ටික ඔයා මට හෙට කියන්න රොබට්. මාව ගෙනියන්න මගේ ඌරා ඇවිල්ල ‘‘
-------
ඊ ළග දිනය
‘‘ ඊයෙ මහ අම්මගෙ දවසක් රොබට් . මට එපා වුනා අර ඌරත් එකක් ඉදල ‘‘ අරයව ඇල්ලුවද ?‘‘
‘‘ කාවද ? ‘‘
‘‘ මාලුවව අනේ මාලුවව ‘‘
‘‘ ඔවි එලිනා ඒ නාකි මිනිහ ඌව අල්ල ගත්තා ‘‘
‘‘ ෂා ... සතුටු හිතෙන අවසානයක් . එහෙම නේද රොබට් ‘‘
‘නෑ එලීනා ! ඒක එහෙම නෑ .මිනිහ මාලුව ඇල්ලුවට ඌ ලොකු වැඩියි ඔරුවට ගන්න
ඉතිං මාලුවා වතුරෙ ඉන්දැද්දිම මිනිහ ඌව ඔරුවට තියල ගැට ගැහුව වෙරළට එන්න. ඒත් මාලුවා වතුරෙ දගල දගල ඉන්න කොට එනව මෝරු, උන් මුලු මාලුවගෙම කෑල්ල කෑල්ල කඩා ගන්නව උගෙ ඇට කටුවලට වෙනකන්ම‘‘
‘‘ අපොයි දෙයියනේ අපේ නාකි මිනිහ. ඒක මහ අපරාධයක්නෙ රොබට් ‘‘
‘‘ ඒක තීරණය වෙන්නෙ ඔයා ඒක දිහා බලන විදිහටයි එලීනා . ඔහු මාලුවව ඔරුව ගාවට ගන්න මාර සටනක් කලා. මාලුව තමන්ගෙ ජීවිතේ බේරගන්න ඊටත් වඩා සටනක් කලා . ඒත් දෙන්නම සටන් කරද්දි ඒකෙ ජයග්රහනය වින්දෙ වෙන එවුන්. ඒ වෙනුවෙන් සටන් නොකරපු එවුන්. ඒත් නාකි මිනිහ මේ පුදුම විදිහට සටන් වැදුනු මාලුවට එයා අන්තිම මොහොත වෙනකන් සටන් කරපු ආකාරයට හරියට ගෞරව කළා. එයා ඒ මාලුවගෙන් දැක්කෙ තමන්වමයි එලිනා ‘‘
‘‘ ඉතින් රොබට් එහෙමනන් මිනිහට තිබුනනෙ මාලුවව අත ඇරල දාන්න ‘‘
‘‘ එලිනා සමහර දේවල් තියෙනව ඒව වෙනතුරු කාටවත් බෑ ඒක මොකක්ද කියල කියන්න. ඒ අවස්ථාව හැදිල තියෙන්නෙ මාලුවට මාලුව වෙන්න. නාකි මිනිහට නාකි මිනිහ වෙන්න. ඒ කියන්නෙ ඒ අවස්තාවට අනුව ලෝකෙට විය යුත්තා වෙන්න.‘‘
උපාලි ජයසිංහ