පියානො හැඹූ පියාපත් සහ නොපවතිනු වස් ප්‍රේමයට පවතිමි, නමින් කල්පනා ඇම්බ්‍රොස් විරචිත පද්‍ය කාව්‍ය සංග්‍රහ ද්වයක් පසුගිය සති අන්තයක, කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත විණ. 2011 දී මේ නිහඬ වෙරළට එන්න යැයි ආමන්ත්‍රණය කරමින් කාව්‍ය ක්ෂේත්රයට පිවිසි කල්පනා (මාලතී?) ඇම්බ්‍රෝස් කිවිඳිය විසින් අවසන් වරට තම පද්‍ය කාව්‍ය නිර්මාණ සමඟ අප වෙත එන්නී, 2016 දී පළ කරන ලද ඔබ ගැඹුරු නින්දක කාව්‍ය සංග්‍රහය සමගිනි.
නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි කෘතිය සමඟ සමගාමීව පළවූ පියා නොහැඹූ පියාපත් කෘතිය කෙටිකාව්ය සංග්‍රහයක් වන අතර, නො පවතිනු වස් ප්‍රේමයව කාව්‍ය සංග්‍රහය, ප්‍රේමයම, ප්‍රේමයේම විවිධ ඉසව්, විෂය කරගනිමින් නිර්මාණය වූ කාව්‍ය නිර්මාණ හතළිස් හයකින් සුසැදි කාව්‍ය සංග්‍රහයක් වේ. නව කිවිඳියක හෝ ආධුනික කිවිඳියකැයි හැඳින්වීමට සුදුසුකම් නොලබනා කල්පනා ගේ මේ නිහඬ වෙරළට එන්න යැයි කෘතියේ කවි සිට ඔබ ගැඹුරු නින්දක කවි සමඟින් පරිපාකයට පත් වෙමින් නිහඬ ගමනක පැමිණි කිවිඳියකගේ හැඩරුව ද ඇගේ කවියේ ගුණ රුව ද නොපවතිනු වස් ප්‍රේමයව කවි එකතුව තුළින් දැක ගැනීමට හැකිවේ.
නවීන සිංහල කවියේ එක් සාධනීය ප්‍රවණතාවක් සේ මා දකින්නේ විශාල කිවිඳියන් පිරිසකගේ ආගමනයයි. ඒ පිරිස අතරින් ද බොහෝ කිවිඳියන්ගේ නිර්මාණ ඉහළ කවි ගුණයකින් ජීවිතානුභූතීන්හි සංකීර්ණ අවස්ථා අලුත් දෘෂ්ටියකින් දකින්නට ගනු ලබන උත්සාහයන්ගෙන් යුතු බව සඳහන් කරනු කැමැත්තෙමි.
කල්පනා ඇගේ නවතම පද්‍ය සංග්‍රහයේ තේමාව ලෙස ප්‍රේමයට මුල් තැනක් දුන්න ද ප්‍රේමයෙන් පරිබාහිර රචනා ඇගේ පළමු කාව්‍ය සංග්‍රහ ද්වයෙහි මෙන් ම අලුත් කවි පොත් ද්වයෙහි ද අපි දකිමු. උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා නිර්මාණය ඇගේ නවතම කෘතියේ මා සිත් ගත් රචනා බොහොමයක් අතුරින් එක්, අපූරු නිර්මාණයක් පමණි.
කිවිඳියගේ ඇමතුම අනුත්තරාට ය. අද උත්තර නැති ප්‍රශ්න අසන්නී උත්තර නැත්තියකගෙන් ය. අනුත්තරා යයි කල්පනා ගේ ෆැන්ටසියේ හමුවන්නිය සතුව උත්තර නොමැති බව අප දන්නා බැවින් එවැන්නියකගෙන් කවියේ කතා නායිකාව ප්‍රශ්න ඇසීම නිරර්ථක උත්සාහයක් බව වැටහුණ ද අපි කිවිඳියගේ අතීතාවර්ජන ලොවට පිවිසෙන්නට කැමැත්තෙමු.
කල්පනා ගේ කවිය පසුගිය වසර කිහිපය තුළ, වැඩෙන්නේ කාව්‍යමය ආකෘතීන් තෝරා ගැනීමෙහි නව්‍ය වූ අනුභූතීන් ද සොයා ගැනීමෙහි පමණක් නොව, අපූරු කාව්‍යමය භාෂාවක් නිර්මාණය කිරීමෙහිලා ඈ සතු ප්‍රතිභාව ද මනාව විශද කරමිනි.
මේ නිර්මාණය තුළ ඈ විසින් භාවිත, භාෂාවෙහි අර්ථ පූර්ණ ගුණය මෙන් ම භාව පූර්ණ ගුණය ද විප්රලම්භ ශෘංගාරයක දුක තැවරුණු වේදනාව අව්‍යාජව අප සිත තවරණු දැනේ. කිවිඳිය අත් විඳින ප්‍රේමයේ, දුක් වේදනාව වෙනුවෙන් හැඬීමෙහි නිමාවක් වේද? ඇගේ උපමා බලන්න. සළු ටික දියවෙන කං, අඬන්නට, අඟුරු අළු වෙනකං මතක දවන්නට, කළුවර වූ හිතක් එළිෙවන කං, චිත්තරූපාවලියක් මවයි.
මල් පාරේ කුර ගාගෙන දුක එන්යුරු එන’යුරු අපි දකිමු. සංසාරය නම් යහන සැදී ඇත්තේ පරමල් උඩය. සසර දිගුය. පරමල් අතුළ දිගු සසර ගමන දුක ගෙනෙන බව යථාර්ථයයි. ඉන් මිදෙන්නට ගත් වෙර වීරිය හැර එහි වූයේ ගිලිහුණු කඳුළ පමණි.
‘කුර ගාගෙන දුක ආවේ මල් පාරේ
පර මල් උඩ සැදි යහනකි සංසාරේ
වෙර වීරිය මිස මොනවද එහි වූයේ
අර ගිලිහුණු කඳුළ ද අපි ගෙන ආවේ
එහෙත් මොහොතට පෙර, කිවිඳිය ඇගේ දුක දරා ගන්නට හැකි බැව් පැවසූ’යුරු මතකයට නගන්න.
සළුපිළි ටික දිය වෙනකං අඬන්න හැකි
අළු වෙනකං අඟුරු මතක දවන්න හැකි
දලු දමනා දුකට බණක් කියන්න හැකි
කළුවර හිත එළි වෙනකං ඉඳින්න හැකි
බිඳුණු ආදරයක අතිශය පෞද්ගලික සංවේදී වේදයිත තුළින් කිවිඳිය මවන නිර්මාණයෙහි කූට ප්‍රාප්ත අවස්ථාව වන්නේ, උත්තරයක් නොමැති ප්‍රශ්න කොහි වෙද කියා නගන ප්රශ්නයයි. ඒ ප්රශ්නය යොමු කරන්නේ කාටද? ඊට පිළිතුරු දිය යුත්තේ කවුරුන් ද? අනුත්තරාගෙන් ප්‍රශ්න අසා උත්තර නැති ප්‍රශ්න කොහි වෙද කියා ඇසීමෙහි හැඟැවෙන උත්ප්රාසය ප්රබලය.
හිත් අග පිපි මල් සේරම ගිලන් වෙලා
ඇත්ත ම නම් මුල් ඇත තව අලුත් වෙලා
සක්වළ ගල හෙල වුණ දෙන් වරින් වරා
උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා
කිවිඳිය ගේ ප්රස්තූතයෙහි ප්‍රබල ජීවන අත්දැකීමක් අපට නොපෙනේ. එහෙත් ඇගේ විඳීම් ලොව ඔස්සේ අතීත ස්මරණ අතරට ගොස් ප්‍රතිනිර්මාණය කරනු ලබන, ස්පර්ශ කරනු ලබන ඉසියුම් වේදනා සහානුභූතියක් ලෙස විඳීමට හැකි කවි බසකින්, චිත්තරූපාවලියකින්, සංකල්ප රූප මඟින් කල්පනා අසන්නීය. අනුත්තරා මෙන් ම කල්පනාගේ ප්‍රශ්න හමුවේ අප ද ගොළු වන්නෝ වම්හයි සිතේ.
සළු පිළි ටික දිය වෙනකං අඬන්න හැකි
අළු වෙනකං අඟුරු මතක දවන්න හැකි
දලු දමනා දුක බණක් කියන්න හැකි
කළුවර හිත එළිවෙනකං ඉඳින්න හැකි
කුර ගාගෙන දුක ආවේ මල් පාරේ
පර මල් උඩ සැදි යහනකි සංසාරේ
වෙර වීරිය මිස මොනවද එහි වූයේ
අර ගිලිහුණු කඳුළ ද අපි ගෙන ආවේ
හිත් අග පිපි මල් සේරම ගිලන් වෙලා
ඇත්ත ම නම් මුල් ඇත තව අලුත් වෙලා
සක්වළ ගල හෙළ වුණදෙන් වරින් වරා
උත්තර නැති ප්‍රශ්න කොහෙද අනුත්තරා?
අර්ථවත් කාව්‍යොක්ති මඟින් සංකල්ප රූප ජනනයෙහි ලා කල්පනාගේ ප්‍රතිභාව අපූරු ය. හිත් අග පිපි මල් ගිලන් වීම සෙලවෙන සක්වළ ගල, නිදසුන් කීපයක් පමණි. කල්පනාගේ කවිය, සිංහල කවිය එළිය කරනු ලබන පහන් තාරකාවක් වැන්න.
බුද්ධදාස ගලප්පත්ති
පුන්කලස