සුනේත්රා රාජකරුණානායක මෙවර "මියුරු හඬ" ලෙස කළ විස්කම කුමක්ද?
ඇය "බොහීමියානු ලක්ෂණ පළ කරන" බවට සමන් වික්රමාරච්චි විසින් හඳුන්වනු ලැබූ නවකතාකාරිය සුනේත්රා රාජකරුණානායක ය.
1989 ඩී.ආර් විජේවර්ධන සම්මානයට නිර්දේශ වූ "සඳුන් ගිර ගිනි ගනී" පොත ලියන්නී සුනේත්රා ය. අදටත් එය මතකයට නැගෙන්නේ 2002 වසරේ රත්නපුර කිරිඇල්ල පාසල් භූමිය තුළ තවත් සහෝදර සිසුවෙක් අතින් පිහි ඇණුම් කා මියගිය සිසුවිය , දුල්මිණි ඉරෝෂිකා තම අවසාන මොහොතේ කියවමින් සිටි පොත ලෙසිනි. සබරගමුවේ කෙල්ලක ගැන සබරගමු - මොරටු හයිබ්රිඩ් ලේඛිකාවක ලියූ පොත සම්පූර්ණයෙන් කියවන්නට පෙර සබරගමුවේ දැරිය මෙලොව හැර ගියා ය.
කළවම් සස්කෘතිය තුළ අච්චාරු වන්නට අකැමති මොරටුව රේන්ද ජීවිත ය. දිවිඇති තුරාවට බෙන්හර් , ක්රිස්තු චරිතය පමණක් බයිස්කෝප් ලෙස නරඹා ඇති නිමල පිළිසිඳගැනීම් ද ; සෙල්ලමට වේස මාර්තාගේ මළ ගෙදර රඟ දක්වන ළමා ළපටි ද ; සුනාමියට පවා කුරුසවල පැටලී දිවි ගලවාගන්නා ථාකූර්ය දේවාදිත්යලාය.
කළවම් නොවන සංස්කෘතියක අච්චාරු වන්නට කැමතිව බලා සිටින ගම්බද ජීවිත ය.මැණික් කටුව ළඟින් ඔරලෝසු බැඳ ; පිරිමින් අතට යාවියැයි බය සැක ඇතිව ෆොටෝ ඇල්ලූ වැඩිහිටි ගැහැණුන් ද; හොංකොං වල චීනුන්ගේ සිට අරාබිය දක්වා රෙද්ද උස්සා ලංකාවට පැමිණ සඳකිඳුරිට අඳින ස්ත්රී පරාණ ද ; මාළුමිරිස් කරල් මාළු හැඩයට පුරවා ගම්මිරිස් වලින් ඇස් තබන ගෘහණියන්ද ය.
සක් දෙවිඳුන් නමින් පැමිණ පිරිමියෙකු වන්නට තවත් එක් වරයක් ඉල්වන සුජම්පතිලා ද ; මෝල්ගහෙන් ගසා සැමියා මරා දමන හැටේවත්තේ සුසිලා ද; තඹලේරු වල වතුර බොන වන්දනා ගමන් ද ; ඉදිරියෙන් ගමන් කළ බස් රථය පසු කළ විට ඔල්වරසන් නගන සංචාරක චාරිකා ය.
ඒ එදා මෙදා තුර සුනේත්රා ලියූ සමහරක් දෑය. තිරංජනී සුනේත්රා රාජකරුණානායක යන සම්පූර්ණ නමින් මෙවර "මියුරු හඬ" ලෙස කළ විස්කම කුමක්දැයි කුහුලෙන් පසුවන බව ඇයට පවසනු කැමැත්තෙමි.
- සහන් කසීර වික්රමසිංහ -